Published On:
Posted by gossip lanka live

Chat With anjalin gunathilaka - Gossip Lanka News



- ඇන්ජලීන් ද ලැනරෝල් ගුණතිලක
දුප්පත් මිනිසුන්ට දුක් පීඩා ඇති වෙද්දී මගේ හිතට වේදනා දැනෙනවා. එහෙම වෙලාවට කොහොම හරි ඒ දුකට පත්වුණු අයට උපකාර කරන්න මට ඕනේ. බරපතළ අසනීප නිසා අසරණ වුණු සහ ආහාරපාන ඇඳුම් පැලඳුම් හෝ පදිංචියට නිවෙසක් නැතුව දුක් විඳින මේ රටේ අපේම වැඩිහිටියන්, දරුවන් මොන තරම් ඉන්නවද. ඒ වගේ අයට පිහිට වෙන්න පුළුවන් නම් මට වෙන සතුටක් ඕනේ නැහැ. ඇත්තෙන් ම තවත් මදර් තෙරේසාකෙනකු වෙන්න මං ආසයි.
එලෙස සිය මිහිරි ස්වරයට මානව දයාවෙන් පිරි අරුත්බර වදන් අමුණමින් මෙවර ස්වර වර්ණවර්ණ ගන්වන්නට එක් වන්නේ ගී ලොවේ මිහිරාවිය ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක ය. වෙනදා අප හා සමඟ සැහැල්ලුවෙන් මිහිරි වදන් තෙපලන ඇන්ජි අක්කාතවත් තෙරේසා මව් කෙනකු වෙලා, සංවේදී වී හැඟුම්බර වෙලා. ඇය කවදත් නිශ්ශබ්දව ප්‍රජා සත්කාර කටයුතු සඳහා සිය පෞද්ගලික ජීවිතයේ මුල්තැන දී ක්‍රියා කළත් තවදුරටත් වඩා පුළුල් මෙහෙවරක් ඉන් ඉටු කරලනු පිණිස එම කටයුතු මෙලෙස සමාජගත කරන්නට ඇයට දැන් සිදුවෙලා. එම හේතුවෙන් අප සමඟ වෙනස් කතාබහකටයි අද ඇය සූදානම්. අපි ඇයට ඉඩ දෙමු.
කලා ලෝකයේ වැඩි දෙනකුගේ උත්සාහය තම තමා හැදෙන්න පමණයි. නැති බැරි කෙනකුට උපකාර කරන්න පිහිට වෙන්න එකතු වෙන්න, කතා කළාට වැඩිය කවුරුත් එන්නේ නැහැ. මම ඔවුන්ට දොස් කියනවා නෙමේ. ඒත් කලාකරුවන් වශයෙන් අපි පතන යහපත් සුන්දර ලෝකය තනන්න නම් මේ සමාජයේ නැති බැරි මිනිසුන්ගේ දුක් කරදර වලදී අපිත් පරිත්‍යාගශීලිව කටයුතු කරන්න ඕනෑ බවයි මගේ හැඟීම. මෙතෙක් මං සින්දු කියලා හම්බ කරගත්ත මුදලින් පුළුවන් තරමට දුකට පත්වෙන නැති බැරි අයට මම පිහිට වුණා.
ඒත් ඇතැම් අයගේ ගැටලුවලදී ඔවුන්ට පිහිට වෙන්න මට තනියම බැරි හින්දයි මම මේ විදිහට නැති බැරි දුකට පත්වන අය හට උදව් කරන්න කැමැති මගේ රසික රසිකාවියන්ටත් අවස්ථාව ලැබෙන පරිදි මේ කරුණු හෙළිදරව් කිරීමට හිතුවේ. දැන් මේ නිසා දුකට පත් අයට වැඩි දෙනකුගෙන් ආධාර ලැබෙයි කියා මා හිතනවා. නැත්නම් සද්ද නොකර මං විතරක් ගිහිල්ලා එවැනි කෙනකුට උපකාර කරලා ආවාට මදි.
පසුගිය දිනෙක ඔබ දුකට පත් දරුවන් තිදෙනකු සොයා දුර ගමනක් ගියා නේද?
ඔව්. මං මෙවැනි කටයුත්තක් සඳහා ගිය දුරම ගමන තමයි එය. අපි ගියේ දෙහිඅත්තකණ්ඩියට. මේ ගමනේදී මට සෙත්සිරි මියුසික් සෙන්ටර්අධිපති සම්පත් ජයවික්‍රම සහයෝගය දුන්නා. ලෙස් (සැමියා වන ලෙස්ලිව අන්ජි අක්කා හඳුන්වන්නේ එසේය) මගේ දුව, බෑණා අනිල්, මුනුපුරා ජූඩ් සහ සම්පත් සමඟ මම පොත්පත්, ඇඳුම්, කෑමබීම ආදිය අරගෙන මේ ගමන ගියේ රූපවාහිනියෙන් දැක්ක අර තාත්තා කෙනකුගෙන් හිරිහැර ලබපු දරු තුන්දෙනා වෙනුවෙනුයි.
දරුවන්ගේ අම්මා රැකියාවක් සඳහා විදේශ ගත වෙලා සිටියදී තමයි තාත්තාගෙන් ඒ දරුවන්ට හිරිහැර වෙලා තිබුණේ. පිරිමි දරුවකුයි ගැහැනු දරුවන් දෙන්නකුයි මේ අපි ජීවත් වෙන රටේ එහෙම දරුණු පීඩාවකට මුහුණ දීලා ඉන්නවා දැකලා කොහොම නම් ඉවසා ගෙන ඉන්නද, පිරිමි දරුවාගේ පිටේ තාත්තා ගහපු කොහු පහර තිබුණා. ඇහැක් නරක් වෙලා. තවත් දරුවකුගේ අතක් කඩලා. පුදුමාකාර කෲර හිංසා තමයි තාත්තා ඒ දරුවන්ට දීලා තිබුණේ.” “අලි ඇත්තු වල් ඌරෝ ඉන්න කැලෑවේ ගෙදරක තනියම ඒ දරුවෝ රෑ ගත කරලා තියෙන්නේ.
අනවසර ඉඩමක හදාගත්ත නිවෙසක් තමයි ඒකත්. වියළි කර්කශ පරිසරයක හරිහැටි කෑමක් බීමක් නැතුව තමන්ගේම තාත්තාගෙන් හිරිහැර දුක් විඳ විඳ ඒ දරුවෝ මොනතරම් අසරණ ජීවිතයක් ද ගෙවා තිබුණේ කියලා දැක්කම මගේ පපුව පිච්චිලා ගියා. මේ රටේ ධනවත් ඇතැම් ලොකු ලොක්කෝ රාත්‍රි සමාජ ශාලාවලට වෙලා කාන්තාවන්ගේ අඩ නිරුවත් සිරුරු දිහා බල බලා ඉන්නවා විනා නිකමටවත් දකිනවාද මෙවැනි දුක් හිංසා විඳවන අසරණයින්ව. නැහැ. කවුරු කොයි ආකාර වුවත් කලාකරුවන් වශයෙන් අපිවත් සංවේදී වෙන්න ඕනේ මෙවැනි අසරණයින් ගැන දැනගත්තාම. රූපවාහිනියෙන් හෝ පුවත්පත් වලින් හෝ මේවා පළ කරන්නේ පුවත්ලෙස පමණක් වුණාට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඉන් එහාට මානව දයාවෙන් ඒ පුවත් සමාජයට වැඩදායක ඒවා කරවන්න.
ඔබ කරන්නේ ඉතා හරවත් යෝජනාවක්. එහෙත් එය ක්‍රියාවට නඟන්නේ කෙසේද?
මේ රටේ ගුණ යහපත් පරිත්‍යාගශීලී මිනිස්සු අතළොස්සක් හෝ තවම ජීවත්වෙනවා. මම ඔවුන්ට ආරාධනා කරනවා. අපි මේ අසරණ දරු තුන්දෙනාට ඔවුන්ගේ මව සමඟ ජීවත් වෙන්න ඉඩමක් ලබා දෙමුකියලා. (දරුවන්ගේ මව නන්දා සෝමාවතී මේ වනවිට ලංකාවට පැමිණ සිටිනවා) ඔවුන්ගේ ඥාතියෙක් කිව්වා අසල්වැසි ඉඩම් කැබැල්ලක් තිබෙනවා. එය ලක්ෂ තුනකට පමණ ලබා ගන්න පුළුවන් බව. ඔහු කැමැත්තෙන් ඉන්නවා. ඉඩම ලබා දුන්නොත් දරුවන්ටයි මවටයි හිසට වහලක් වෙන ගෙපැලක් හෝ එහි සාදා දෙන්නත්. අපි එකතු වෙලා එම ඉඩම ලබා දුන්නොතින් ඒ දරුවන්ටයි මවටයි සහනයක් වේවි.
පරිත්‍යාගශීලීන් විසින් ආධාර යැවිය යුතු බැංකු ගිණුම් අංකයක් කියමු ද?


මම මගේ ගීත රසික රසිකාවියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. අපි මේ අසරණ දරු තිදෙනාටයි අම්මාටයි ඉඩම ගන්න ආධාර කරමුකියලා. දෙහිඅත්තකණ්ඩිය, මහජන බැංකුවේ නන්දා සෝමාවතී නමින් තිබෙන අංක - 330200290017701 ගිණුමට ඔබේ ආධාර මුදල යවන්න ඔබට පුළුවන්.
නැති බැරි මිනිසුන්ට ආධාර කරන්න මුදල් ඔබට කොහෙන්ද ලැබෙන්නේ?
වෙන කොහෙන් ද ඉතින්, මං සින්දු කියලා හම්බ කරන මුදල් වලින් ඉතුරු කරගන්න මුදල්ම තමයි. මං අඩු මුදලට ගී ගයන්න යන්නේ නැහැ. ජීවත්වෙන්න මුදල් නැතුව බැහැ. ඒත් අපි විතරක් ජීවත් වෙලා වැඩක් නැහැ. මගේ ගීත අහන නැති බැරි මිනිස්සුන් ජීවත් කරවන්න ඕනේ. මං ගී ගයා හම්බ කරන මුදලින් විතරක් නෙමේ, මගේ ගෙදර බතට හාල් ටික ළිපේ තියද්දීත් මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා.
මේ උයන බතෙන් කාට හෝ බත් කටක් දෙන්න ලැබෙන්නකියලත්. මමත් දුප්පත්. ඒත් මගේ හිත පොහොසත්. මට තියෙන්නේ මේ ගේ දොර විතරයි. හැබැයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ ගෙදර කිසි අඩුපාඩුවක් නැහැ. මගේ කටහඬින් ගයන ගීතවලට ලැබෙන මුදලින් තමයි මම මේ සියලුම දේ කරන්නේ.
එහෙත් දැන් ඔබ ගී ගයන ප්‍රසංග අඩුයි නේද?
ඒ මං වැඩි මුදලක් අය කරන නිසානේ. මේ දේ පැහැදිලිව කියන්නම ඕනේ. මං වැඩි මුදලක් අය කරනවා නෙමේ. මගේ මුදල එයයි. මගේ ගීත අඩු මුදලකට ගයන අය කරන්නේ ගසා කෑමක්. මා ජීවත්ව සිටිද්දී මගේ ගීත ගායනා කරලා හම්බ කරගෙන කන්න ඔවුන්ට කිසි ලැජ්ජාවක් නැහැ. අපේ මේ කලාව දැන් පවතින්නේ සුදුස්සාට මුදල් උපයාගන්න හැකි අයුරු නෙමේ. කිසිවකුගේ දුකක් නොදකින හොරු, තක්කඩි මේ ක්ෂේත්‍රයේ අද පිරිලා. ඒත් දෙවියන් වහන්සේගේ කරුණාව නිසා මං අනුන්ගෙන් යැපෙන්නේ නැහැ, කාටවත්ම ණය වෙන්නේ නැහැ, අනුන්ගේ ගීත ගයන්නේ නැහැ, පාවාදීම් කරන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තිය දන්නා කවුරුත් මාව අගය කරනවා. ඔවුන් සමඟ ජීවත් වනතුරු මං මගේ වැඩ කටයුතු සතුටින් කරගෙන යනවා.
වර්තමානයේ දී ඔබෙන් ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ගීතලෝලින් බලාපොරොත්තු වෙනවා. තවමත් ඔබ ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන්නේ ඇයි?
උනන්දුවක් නොදක්වනවාම නොවේ, එවැනි ප්‍රසංගයක් හරියාකාරව කරන්න මා තුළ තිබෙන ඕනෑකම නිසයි ප්‍රසංගයකට පමා වෙන්නේ. පවත්වන්නන් වාලේ ප්‍රසංගයක් පවත්වන්න මට බැහැ.
හැබැයි මේ දිනවල මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමේ අදහසින් මූලික කතාබහ කරගෙන යනවා. ඉදිරියේදී ඒ පිළිබඳව තොරතුරු පවසන්නම්කෝ. මගේ ගීත රසික රසිකාවියන්ට කිසිදා අමතක නොවන මිහිරිම මිහිරි අත්දැකීමක් ලබා දීමට හැකි ගීත ප්‍රසංගයක් පවත්වන්න මං බලාපොරොත්තු වෙනවා. බලමු, දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබුණොත් ළඟදීම එම බලාපොරොත්තුව ඉටු වේවි.
ජෝජ් රොබ්සන් ද සිල්වා

Sithum Pathum Sanda - Anjalin Gunathilaka

About the Author

Posted by gossip lanka live on 6:46 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 6:46 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With anjalin gunathilaka - Gossip Lanka News"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.