Published On:
Posted by gossip lanka live

Chat With jayantha atapattu චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා - Gossip Lanka News


රූපවාහිනියේ ඉන්නේ සැබෑ ජයන්ත නෙවෙයි

හත්දින්නත් තරු පොකුරේ මිහිර ගෙනෙන ජයන්ත අතපත්තු

ඔබ කවුරුත් ආදරය කරන තරු සමඟින්, ඔබ නොදන්නා රසමුසු දේ ඔබ වෙත ගෙන එමින්, හත්දින්නත් තරු හැඩ කරනා ඒ හිතවතා ඔබට හැමදාමත් ලෙංගතුයි.

ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ හාට් බීට්, මුතු පලස, ගී ටී වී වැනි විවිධ වැඩසටහන් රැසක් සමඟින් ඔබේ ආලින්දයට පැමිණි ඒ රසවතා ජයන්ත අතපත්තු. ස්වර්ණවාහිනි නාලිකාවේ විධායක නිවේදකයෙක් වගේම ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් ලෙස කාර්යබහුල ඔහු තමයි අද සරසවිය නිවේදක පිටුවට අපි කැඳවාගෙන ආවේ.

ජයන්ත මොනවද මේ දවස්වල අලුත්ම විස්තර ?

මේ දවස්වල හත්දින්නත් තරු වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදියටත් කාර්යබහුලයි. රූපවාහිනිය තුළ සාමාන්‍ය වැඩසටහනකට වඩා අලුත් යමක් කරන්නට සූදානම් වෙනවා.

මේ ගමනේ ආරම්භය ගැන මතකය අවදි කළොත් ?

පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව ජාතික තරුණ සේවා සභාවේ රූපවාහිනිකරණය පිළිබඳ පාඨමාලාව හදාරමින් සිටින කාලයේදීම ජාතික රූපවාහිනියේ සංචාරය වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පසුව එම සියලු අත්දැකීම් සමඟ 2001 වසරේදී ස්වර්ණවාහිනි නාලිකාවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එහිදී මුලින්ම හාට් බීට් වැඩසටහන තමයි ඉදිරිපත් කළේ. ඊට අමතරව පොහෝ දින වැඩසටහන්, අලුත් අවුරුදු වැනි විශේෂ වැඩසටහන් වගේම සතියේ දිනවල විවිධ වැඩසටහන් රැසක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා.

මුලින්ම කැමරාවක් ඉදිරියට ගියාම මොකද හිතුණේ ?

ඇත්තටම බය හිතුණා. කියන්න වචන ආවේ නැහැ. මොන තරම් අදහස් තිබුණත් එක පාරටම කියා ගන්න බැරි වුණා. ඒ පළමු දවසේ විතරයි.

නිවේදන කටයුතු අතරෙදි අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද ?

ඔව්. 2012 වසර උදා වෙලා ගොඩක් කල් යන තෙක් මම වැඩසටහන්වලදී කිව්වේ 2011 කියල තමයි. ඒක මට නිතරම කියවුණා. තව දවසක් සංගීත වැඩසටහනට වඩුගේ නම් ගිටාර් වාදන ශිල්පියෙක් සහභාගි වුණා. ඒ වැඩසටහන පුරාවටම මම ඔහුට කතා කළේ අර්නස්ට් වඩුගේ කියල. මට ඒ නම් දෙක පැටළුණා. ඒ අවස්ථාවට සහභාගි වුණ ගායන ශිල්පී සොහාන් වීරසිංහ එම සජීවී වැඩසටහනේදීම මගෙන් ඇහුවා ඇයි එහෙම කළේ කියලා.

ඔබ ඉදිරිපත් කළ වැඩසටහන් අතර විශේෂ කැමැත්තක් දැක් වූ වැඩසටහන් තියෙනවාද ?

හැම වැඩසටහනක්ම ඉතාම කැමැත්තෙන් තමයි ඉදිරිපත් කළේ. ඒවා අතරේ හාට් බීට් වැඩසටහන වගේම හත්දින්නත් තරු වැඩසටහන් විශේෂ වුණා. හාට් බීට් වැඩසටහන අලුත් වගේම නිදහස් බවින් යුතු වැඩසටහනක් වුණා. හත්දින්නත් තරු වැඩසටහන තමන්ට රිසි සේ වචන හසුරවන්න පරිසරය තියෙනවා. එහිදී වැඩසටහනේ නිදහස තමයි මට සුවිශේෂ වුණේ.

හිරිපොද වැස්සෙන් රිදී තිරයටත් පා තැබූ ඔබ නළුවෙක් විදියට ඉදිරියට යන්න අදහසක් එහෙම නැද්ද?

පොඩි කාලේ හීනයක් තිබුණා නළුවෙක් වෙන්න. පසුගිය කාලයේ ඒ සඳහා සුදුසු පරිසරයක් තිබුණේ නැහැ. හාට් බීට් වැඩසටහන කරන කාලයේදී තමයි උදයකාන්ත වර්ණසූරිය මහතාගේ හිරිපොද වැස්ස චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ගැන හරිම සතුටුයි. ඊට පසුව ආරාධනා ලැබුණත් ආයතනික හේතුª නිසා මට ඒවාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අනුව මට ලැබුණ නිර්මාණ 12 ක් විතර ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. පසුව මට සනත් අබේසේකරගේ සිරි දළදාගමනය චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. දැන් මට රංගනය සඳහා සම්බන්ධ වෙන්න සුදුසු පරිසරයක් තියෙනවා. ඉදිරියේදී ඒ වෙනුවෙන් ලැබෙන ආරාධනා භාර ගන්නවා.

ආයෙමත් අතීතයට ගිහින් කියමුද ඔබේ පාසල් කාලය ගැනත් ?

මම අධ්‍යාපනය ලැබුවේ ඇරැව්වල ධර්මපාල විද්‍යාලයෙන්. ඒ කාලේ මම බොහොම නිශ්ශබ්ද ලැජ්ජාශීලී ළමයෙක්. දවසක් ඉස්කෝලේ කලා උළෙලක් සඳහා නාට්‍යයක් නිර්මාණය කළා. එහිදී චිත්‍ර ගුරුතුමා විසින් මා එහි චරිතයක් සඳහා යෝජනා කළා. ඒ අනුව ගල් පිළිම නෙළන්නෙක්ගේ චරිතය තමයි මට ලැබුණේ. එදා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. පාසලේදී නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. නමුත් සාර්ථක ලෙස ඒ සඳහා යොමුවෙලා හිටියේ නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පසුව මාධ්‍ය සමඟ සම්බන්ධ වෙලා ලොකු වැඩක් කරන්න වුවමනාවක් තිබුණා. හැබැයි ගොඩක් අය මට කියනවා නිවේදනයට වඩා රඟපෑමට යොමු වුණා නම් හොඳයි කියලා.

පවුලේ විස්තරත් කියමුද?

මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි ඉන්නේ. බිරිඳ දුෂාන්ති අතපත්තු. අපට දියණියක් සහ පුතෙක් ඉන්නවා.

අනාගත බලාපොරොත්තු ?

මාධ්‍ය ක්ෂේත්‍රයේ අලුත් නිර්මාණ කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම සිනමාව ගැන හදාරලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කවදා හරි රූපවාහිනියෙන් ඈත්වුණ දවසටලොකු ඉඩමක වගා කටයුතු කරන්න කැමැතියි.

ජයන්ත අතපත්තු කියන්නේ?

කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න කැමැති කෙනෙක්. සැබෑ ජයන්ත රූපවාහිනි තිරයේ ඉන්න කෙනා නෙවෙයි. එයා එළියට එන දවසට අනිත් අය එයා පිළිගනියි ද කියල දන්නේ නැහැ.

යතේජා ඥානරත්න

ඡායාරූප – මාලන් කරුණාරත්න

About the Author

Posted by gossip lanka live on 6:51 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 6:51 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With jayantha atapattu චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා - Gossip Lanka News "

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.