Published On:
Posted by gossip lanka live
Chat With sanath gunathilaka
අරවින්ද, බතී, සරෝජිනී තවමත් සිනමා ප්‍රේක්ෂක හදවතේ සියුම් තැන් රිදවමින්, නැවත සෙනෙහසින් පිරිමදිමින් නොමැකෙන මතක සටහන් තැබූ චරිතය. පුරා වසර ගණනාවක් ගතවූවත් අදටත් මේ චරිත අපේ සිනමා ඉතිහාසයේ ජීවමානය. ආචාර්ය තිස්ස අබේසේකරයන් මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ ‘විරාගය’ නවකතාව රිදී තිරයට නොගෙනාවා නම්, ‘විරාගය’ නවකතාව කියවමින් තමන් තුළ තමන්ටම ආවේණික වූ අරවින්දලා, බතීලා සහ සරෝජිනීලා අපේ සමාජයේ බොහෝ පාඨකයින් මවා ගන්නවා ඇත. එහෙත් ‘විරාගය’ සිනමා සිත්තම අපි හැමෝටම පොදු ‘අරවින්ද’ කෙනකු මැවුවේය. අප හදවතින් බැඳෙන ‘විරාගයේ’ ‘අරවින්ද’ මේ යැයි මනසේ මැවෙන අපූරු රූපයක් මැවුවේය. අරවින්දගේ චිත්ත සන්තානය සසල කළ ‘බතී’ කෙනෙකුගේ රූපය මැවුවේය.
පෙරදා, අදමෙන් හෙටත් ආදරණීයව සිහිපත් කරන මේ චරිත අපට සමීප කළ ‘විරාගය’ චිත්‍රපටය ගැන නැවත නැවතත් අප සිහිපත් කරන්නේ ඒ නිසාය. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ‘විරාගය’ චිත්‍රපටයේ සංයුක්ත තැටි (DVD) නිකුත්වීම මීට නිමිත්ත විය. අසූව දශකයෙන් පසු පරම්පරාවට මේ අග්‍රගණ්‍ය සිනමා කෘතිය නැරඹීමේ අවස්ථාව අහිමි වූ බව සත්‍යයකි. දේශීය සිනමාවට ආදරය කරන, සිංහල සිනමාව ගැන උනන්දුවක් දක්වන්නෙකුට ‘විරාගය’ යනු හදවතික් ආදරයෙන් වැලඳගත හැකි, වැලඳගත යුතු සිනමා සිත්තමකි.
අනාගත පරපුරට මේ ආදරණීයත්වය බෙදා හදා දෙන්නට ‘විරාගය’ (DVD) නිකුත් කරමින් ටොරානා වීඩියෝ මූවිස් අධිපති කුමාර් කොතලාවල ඉදිරිපත්ව සිටියි. මේ නිමිතිකොටගෙන ‘විරාගයේ’ අති ප්‍රබලම භූමිකාව වූ ‘අරවින්ද’ගේ චරිතය මැවූ ප්‍රවීණ නළු සනත් ගුණතිලක සිය අතීත මතක මෙසේ රැගෙන එනු ලබයි. ‘විරාගය’ සහ අරවින්ද ඔහුගේ ජීවිතයට කෙසේ බලපෑවේදැයි මා නැඟූ පැනයට ලැබුණු පිළිතුර ඇතුළත මගේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු රැඳී තිබුණෙන් මම ඔහුට බාධා නොකළෙමි.
’විරාගයට’ මා තෝරා ගැනීමේදී විශේෂයෙන් ම ‘විරාගය’ නවකතාවට ඇලුම් කළ, එය කියවපු එය හදාරපු බොහෝ දෙනා මෙය චිත්‍රපටයක් වීම පිළිබඳ අතිශයින් සතුටට පත් වූ නමුත් සනත් ගුණතිලක ‘අරවින්ද’ චරිතය රඟපෑම ගැන ඔවුන් තුළ තිබුණේ සාධාරණ විරෝධයක් බව මට වැටහුණා. ඒ විරෝධය මේ සාහිත්‍ය කෘතියටත් එයින් නිර්මාණය වන චිත්‍රපටයත් මගේ රඟපෑමෙන් සිදුවිය හැකි අගතිය නිසා සත්භාවයෙන් කළ විරෝධයක් බව තේරුම් ගැනීමට මට අපහසු වූයේ නැහැ. ඒ වගේම මා මෙය කළ යුතු බවත් චරිතයට සාධාරණය ඉෂ්ට කිරීමට මට හැකි බවත් පුන පුනා මගේ මනසට ඇතුළු කළේ ආචාර්ය තිස්ස අබේසේකරයන්. එමෙන්ම ඔහු වටා සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගුණදාස අමරසේකර සහ දොස්තර රංග වික්‍රමසිංහ යන උපදේශක කමිටුවත් මේ මතයේම සිටියා. ඔවුන් සියලුදෙනාම මා ඒ කඳු මුදුනට යැවීමට විශාල තල්ලුවක් දුන්නා. ඒ තුළින් මා යම් ක්‍රමවේදයක් මේ චරිතය නිරූපණය කිරීමට ප්‍රථම චරිතය තේරුම් ගැනීමට සකස්කර ගත්තා. මුලින්ම මා රංග වික්‍රමසිංහයන් හමු වී ඔහුගේ පියාවන ඒ අමරණීය ග්‍රන්ථ කර්තෘවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ ‘අරවින්ද’ පිළිබඳ සිතූ අන්දම දැන ගැනීමට උත්සාහ කළා. ඒ මඟින් අරවින්ද යනු කිසිම විටෙක ජීවිතය පරාජය කර නොගත් ජීවිතය තේරුම් ගෙන එය ජයගත්තු බව මට වටහා දීමට රංග වික්‍රමසිංහයන්ට හැකි වුණා. ඔහු මට විස්තර කළා, අරවින්ද කියලා කියන්නේ ‘ගොළු හදවතේ’ දම්මි අහිමි වූ නිසා තම ජීවිතය කාලකන්නි කරගත් තවත් සුගත් කෙනෙක් නොවන බව.
මෙවැනි උදව් කිරීම් අනුබල දීම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා ගුණදාස අමරසේකර අතින් ද සිදුවුණා. නමුත් මා වටා සිටි දැවැන්තම බලවේගය වුණේ තිස්ස අබේසේකරයි. ඔහු දැවැන්ත වෘක්ෂයක් සේ මා වසාගෙන පැතිරී සිටියා. ඒ වෘක්ෂය පාමුල සිටි මා මාවම මෙහෙයවා ගත්තා. මුලින් මා ‘විරාගය’ පොත කිහිපවතාවක් කියවද්දී ‘අරවින්ද’ තේරුම් ගැනීමට උත්සාහ කළා. සමහර ස්ථානවලදී කියවීම නවතා මේ මනුස්සයා මේ කියන්නේ මොනවාදැයි කියා මා ගොඩාක් කල්පනා කළා. එසේ කල්පනා කොට මා ලියූ බොහෝ සටහන් පවා තාමත් මගේ ළඟ ඇති. ‘විරාග‘යෙන් කියවෙන්නේ අරවින්දගේ කතාවට වඩා අපේ මනුස්සකම නේද යන්න පැහැදිලිව ඉස්මතුව ආවේ එවිටයි. ඒ මනුස්සකම යට කිසියම් බෝධිසත්ව ගුණයක් විද්‍යමාන වන බව පසුව මා තිස්ස අයියා සමඟ කළ සාකච්ඡාවලදී අවබෝධ කර ගත්තා.
මේ සරල, චාම්, අල්පේච්ඡ ජීවිතය පිළිබඳ මා මෙලෙස තේරුම්ගෙන චිත්‍රපට චරිතයට පමණක් සීමා කිරීමට උත්සාහ කළා නම් ඒ රංගනය සාර්ථක වෙන එකක් නෑ. මා දැනුවත්වම වඩා නොදැනුවත්වම ඒ බොහෝ ගතිගුණ මා තුළ ක්‍රමක්‍රමයෙන් තැන්පත් වූ බව මා අද කියන්නේ ඉතාම අවංක සිතින්.
එයට ප්‍රධාන හේතු දෙකක් තිබුණ. එකක් අරවින්ද කියන්නේ ජීවිතය ජයගත්ත යම් උත්තුංග ගතිගුණ පිහිටි තැනැත්තෙක් යැයි මා දැඩි ලෙස විශ්වාස කිරීම. දෙවැන්න නම් එවකට මා සමඟ ජීවත් වූ මගේ පියා සත්‍ය වශයෙන් මෙවැනි සරල ජීවිතයක් දැඩි ලෙස අගය කරන්නකු වීම.
මා කුඩා කල සිටම මවට වඩා දැඩි ලෙස පියාට ලොල් කළා. මගේ පියා ධනවතෙක් නොවේ. නමුත් දැනුම අතින්, ඉගෙනුම අතින් බොහෝ දේවල් කියවීම අතින් ඔහු ඉතා ඉහළ ස්ථානයක වැජඹුණු බව ඔහු සමඟ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුන් පවා මට පසු කලෙක කියා සිටියා. ඒ වගේම ඔහු පිරිසුදුව ඇන්දත් ඇඳුම්වලට, සුපිරි ආහාරවලට, මත්පැන්වලට කවදාවත් ගිජු බවක් දැක්වූ තැනැත්තෙක් නොවෙයි. මට මේවා මතක් වුණේ ‘විරාගය’ කියවත්දී. ඒ වෙනකොට පියා ලෙඩ ඇඳේ. නමුත් අද ඔහු ජීවතුන් අතර නැතත් ඔහු ආදර්ශයෙන්, පැවැත්මෙන් මට කියාදුන් බොහෝ දේ මා අනුගමනය කරන්නේ දැන්. මට ඒවා තේරුම් ගැනීමට පුළුවන් වුණේ, මට ඒවා වැදගත් වුණේ මා ‘විරාගයට’ නැතිනම් අරවින්ද චරිතයට අනුගත වූ නිසයි.
අරවින්ද කුමන බලවේග ආවත් ඔහු කළේ ඔහුට හරියැයි සිතුණ දේ. ඔහු නිවැරදි යැයි හිතපු දේ. එය තම හිතවතුන්ගේ, එය තම වංශවත් නෑදෑ පරපුරේ හිතවතුන්ගේ දෝෂාරෝපණයට හේතු වුණත් ඔහු ඒවාට නැමුණේ නැහැ. ඔහු සිටියේ අහිංසකයින්ගේ, පොඩි මිනිසුන්ගේ පැත්තේ කිවුවොත් වැරදි නෑ. ඔහු තමාට වඩා අන්‍යයන් ගැන, අන්‍යයන්ගේ සුඛ විහරණය ගැන උනන්දු වුණා කිවුවොත් එයත් නිවැරදියි. ඔහු තුළ ආත්මාර්ථකාමිත්වය තිබුණේ ඉතාමත් අඩුවෙන්. ඔහු පොදු සේවය සඳහා එළියට බැහැල වැඩ කළේ නැති වුණාට ඔහුගේ චින්තනය තිබුණේ ඊට සමාන අදහස්. පසුගිය දශක එකහමාරක් වැනි කාලයක් තුළ මා ලියූ ජීවිතය පිළිබඳ, මා මටම නැවත සමාලෝචනයක, විග්‍රහයක, විමර්ශනයක යෙදුණොත් මම මටම ඉතාම අපක්ෂපාති තීරණයකට එළඹුණොත් ඉහත කී ගතිගුණ අඩුවැඩි වශයෙන් මා තුළත් පිහිටා ඇති බව මා කියන්නේ ඉමහත් ආඩම්බරයෙන්.
මා මීට ප්‍රථම කිසිම අවස්ථාවක මෙලෙස මා පිළිබඳ විග්‍රහයක යෙදී නැහැ. නමුත් අරවින්දගේ චරිත නිරූපණය ඔබගේ පෞද්ගලික ජීවිතයට බලපෑවේ කෙලෙසදැයි ඔබ මගෙන් විමසූ විට ඒ පිළිබඳ වඩ වඩාත් සංවේදී වූ මා මේ කරුණු ටික සොයාගත් බව සතුටින් කිව යුතුය. කුමාර් කොතලාවල අද කළ මේ වැඩෙන් විශාල ප්‍රතිඵලයක් මගේ ජීවිතයට ද ලබාගත් බව කිව යුතුය.
මම විවිධ ක්ෂේත්‍රවලට දැනුවත්ව හෝ අහම්බෙන් හෝ, කැමැත්තෙන් හෝ, අකැමැත්තෙන් හෝ සම්බන්ධ වූ කෙනෙක් බව ඔබ හොඳින්ම දන්නවා. මේ මෑත භාගයේදී මගේ ‘එකමත් එක රටෙ’ක චිත්‍රපටය හදන්නට පෙර මා මගෙන්ම විමසා සිටියා මේ ක්ෂේත්‍ර වලින් ඔබ තෘප්තිමත් වන්නේ, ඔබ අවංකව තෘප්තිමත් වන්නේ කුමකින්ද කියා. ඉතා ඉක්මනින්ම මට පැහැදිලි පිළිතුරක් ආවා. ඒ පිළිතුර තමයි ‘රංගන’ ය.
බලය, තත්වය, මුදල්, යාන වාහන, අනිකුත් යස ඉසුරු සියල්ලට වඩා සැබෑ සිනමා රංගනය මගේ හදවතේ දඟලන ප්‍රධාන ආශාව බව මට හොඳින් ප්‍රත්‍යක්ෂ වුණා. ඒකටත් ප්‍රධානම හේතුව ‘අරවින්ද’ මැවීම තුළින් මා ලබාගත්ත නිහතමානි ගෞරවය නොවේද? මා මුලින් කී අනෙකුත් කරුණු නැතුව මිනිහෙකුට ජීවත්වෙන්න බැහැ. නමුත් මගේ ජීවත්වීම සහ චරිත නිරූපණය අනිකුත් කරුණුවලට වඩා එකට බද්ධ වී තිබෙන බව මට වැටහෙනවා.
අරවින්ද චරිතය මැවීමේදී තිස්ස අයියා මුලින් පටන් ගත්තේ සරල ජවනිකාවලින්. නැතිනම් තිර නාටකයේ දර්ශන අනුපිළිවෙළ තමයි රූගත කිරීම් කළේ. එය මාගේ එකම එක ඉල්ලීමයි. දිනෙන් දින වැඩකරගෙන යනවිට මෙහි නිමාව දකින්නේ කවදාදැයි සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයෙකු ලෙසට මා තුළත් හැඟීමක් ඇති වුණා. මා එය සමනය කරගත්තේ මට ලැබෙන හැම දර්ශන ඛණ්ඩයක්ම මට ලැබී ඇති හොඳම අවස්ථාව බව සිතීමෙනුයි. එනිසා දවස් 60 ක් පමණ වූ දීර්ඝ කාලයක් එක දිගටම දර්ශන තලයේ ජීවත්වීම මට ගැටලුවක් වුණේ නෑ. ‘විරාගයේ’ රඟපෑමෙන් මා ඇතිකරගත් මේ අභ්‍යාසය, මේ ශික්ෂණය පසුව ‘කැඩපතක ඡායා’, ‘පාලම යට’, ‘සිසිල ගිනි ගනී’ වැනි මෙකී නොකී බොහෝ ගුණාත්මක සිනමාවේත්, ‘දිනුම, ‘සටන’, ‘නොම්මර 17’, ‘හොඳින් නැත්නම් නරකින්’ වැනි සම්පූර්ණ වාණිජ සිනමාවේත්, ‘මංගල තෑග්ග‘, ‘රජ දරුවෝ’ වැනි සමාන්තර සිනමාවේත් රැඳී සිටීමට මට විශාල රුකුලක් වුණා.
එමෙන්ම අධ්‍යක්ෂවරයා සහ නළුව අතර තිබිය යුතු සහ සම්බන්ධය, සන්නිවේදනය පැවතිය යුත්තේ කොයි අන්දමට ද, නොපැවතිය යුත්තේ කොයි අන්දමටද යන්නත් මටම සාපේක්ෂව, මටම අදාළව නිර්ණය කර ගන්න ‘අරවින්ද’ රංගනය මට උදව් වුණා.
එසේම බලය තිබෙනවිට, තත්ත්වය තිබෙනවිට ඉන්න යාළුවෝ ඒවා නැතිකොට පැත්ත පළාතේ එන්නේ නෑ කියන එකත්, සමහර වෙලාවට අපි ගොඩාක් උදව් කරපු යාළුවෝ පසුකලෙක අපිව දන්නේ නැති විදියට ඉන්න ආකාරයත් මනුෂ්‍ය ජීවිතයේ නිතරම සිදුවණු දෙයක්. මට විතරක් නොවෙයි ඕනම තරාතිරමේ කෙනෙකුට ඒවායින් නොසෙල්වී ඉන්නට, නින්දා වගේම, ප්‍රසංශාත්, ගල් වගේම මලුත්, ලාභ වගේම අලාභත්, යස වගේම අයසත් එක ලෙස විඳගන්න අරවින්දට හැකිවුණා. ඒ නිසා අරවින්දගේ ජීවිතේ අවසානයේ ගෙව්වේ තමන් තේරුම් ගත්ත, මනුෂ්‍ය ජීවිතය පිළිබඳ අවබෝධාත්මක සතුටකින්. ඒ සතුට හැමෝටම ලැබෙන්නේ නැහැ. මරණ මංචකයේදී බොහෝ දෙනා මරණයට බයෙන් දඟලන්නේ, කෑගසන්නේ මේ මනුෂ්‍යත්වය අවබෝධ කරගත නොහැකි නිසා. අරවින්ද හෘද සාක්ෂියට අනුව ජීවත්වුණු මනුෂ්‍යයෙක්. මමත් ජීවත් වන්නේ හෘද සාක්ෂියට අනුව. ඒ නිසා අද වුණත් මැරෙන්න බය නෑ. අකැමැතිත් නෑ. මැරෙන්නේ සතුටින්. මට ඒක කියලා දුන්නේ අරවින්ද ජයසේන.
අරවින්ද ජයසේන කියලා කියන්නේ ජීවිතයත් එක්ක එක්තරා විදියක විප්ලවයක් කරපු කෙනෙක්. ඒ විප්ලවය නිහඬ විප්ලවයක්. කුමන බලවේග ආවත් තමන් වෙනස් නොවීම, ඉවසීම, අවශ්‍ය අවස්ථාවලදී විරෝධතාව පළ කිරීම ලෝකයා කුමන දේ කීවත් තමා යා යුතු ගමන ඉදිරියටම යාම මේ විප්ලවය තුළ අන්තර්ගතව තිබුණා. එය තේරුම් ගත් ගැමියෝ අහිංසක මිනිස්සු, අරවින්දගේ මරණය වටා රොක් වුණා. අරවින්ද තේරුම් ගන්න බැරි වූ අරවින්ද තේරුම් ගැනීමට ඕනෑ නැති වූ කුහකයෝ අතළොස්සකට මේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාරය දැක පුදුම වුණා. ඔවුන්ට එය දරාගන්නට බැරි වුණා. අරවින්දට ඒ ප්‍රතිචාරය දකින්නට බැරිවුණේ ඒ වනවිට ඔහු මිය ගිහින් තිබූ බැවින්. නමුත් ජීවත්වන අපිට එය හරියාකාරව තේරුම් ගැනීමට හැකි නම් අපි මළත් ජීවත්ව සිටියදී ‘නිවැරැදි යැයි’ කල්ගතවී හෝ ඔවුන් කියාවි. ඒක මට ඇහුණත් නැතත් කමක් නෑ. මොකද ‘පාඩුවේ ඉන්න එක ලාභයි’ කියලා මම තීරණය කරල හුඟාක් කල්.
source - Silumina.lk