Published On:
Posted by gossip lanka live

Kumar Sangakkara back as No 1 Test batsman in ICC Rankings


කාලය තත්පරයෙන් තත්පරය ගෙවී යයි. ඔහු ඉවසිලිවන්තව, අධිෂ්ඨානශීලිව සෙමෙන් සෙමෙන් තම අරමුණ කරා ළඟා වෙමින් සිටී. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුවේ ඔහුගේ නම ඉදිරියේ 194 සටහන් වී තිබුණි. ඉනිම අවසන් වන්නට තව බිඳී යා යුත්තේ එක කඩුල්ලක් පමණකි. මේ නිසාම ප්‍රතිවාදී පන්දු යවන්නා දැඩි බලාපොරොත්තුවකින් යුතුව ශ්‍රී ලංකා ඉනිමේ 152 වැනි ඕවරයේ අවසන් පන්දුව යැවීය. ආක්‍රමණශීලී ලෙස ඊට මුහුණ දුන් ඔහු එල්ල කළේ දැවැන්ත පහරකි.
එය යෝධ හයේ පහරකි. ඒ සමඟම ඔහු ජයග්‍රහණයේ සතුට හඟවන්නට පිත්ත ඔසවා සිටිය ද සිදුවී තිබුණු වරද හේතුවෙන් ඔහුට ද්විත්ව ශතකය ලබා ගැනීමට තවත් එක් ලකුණක් ලබාගත යුතුව තිබුණි. එහෙත් 153 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මොහොමඩ් හෆීස් නුවන් ප්‍රදීප් ගේ කඩුල්ල දවා ගනිමින් කුමාර් සංගක්කාර නම් වූ මේ අති විශිෂ්ට පිතිකරුවාගේ 09 වැනි ද්විත්ව ශතකයේ සිහිනය බොඳ කළේය.
කල් යල් බලා සියල්ල සැලසුම් කර ලකුණු 200 තෙක් ඔහු ගොඩ නැඟූ ඉනිම, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලකුණු සටහනේ වූ වරද නිසාවෙන් මෙලෙස ද්විත්ව ශතකය අහිමි වී යාම සැබැවින්ම ක්‍රීඩා ලෝලීනගේ දැඩි කනස්සල්ලට හේතු වුණි.
ඔහු ලකුණු 199 ලබා නොදැවී ක්‍රීඩාගාරයට ගියේය. අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් කළ ප්‍රකාශය මහත්වරුනගේ ක්‍රීඩාවේ සැබෑ මහත්මයකු බවද ලොවටම පෙන්වීය.
ලකුණු පුවරුවේ කුමන ලකුණු සංඛ්‍යාවක් සටහන් වුවත් ද්විත්ව ශතකය ලබා ගැනීමේ අවසන් අවස්ථාව තිබුණේ මා අතේ. මට එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ලබා ගැනීමට නොහැකිවීම නිසා තමයි එම ද්විත්ව ශතකය අහිමි වුණේ.
එදා සංගාට එක් ලකුණක් ලබා ගනිමින් එම ද්විත්ව ශතකය ලබා ගැනීමට හැකිවූවා නම් ඔහු ලොව ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතරේ දෙවැනි ස්ථානයට පත්වීමට අවස්ථාව තිබිණි.
මේ වන විට ද්විත්ව ශතක 08 ක් ලබාගත් සංගා පසුවන්නේ 3 වැනි ස්ථානයේය. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබා ගනිමින් ලයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අතර, බ්‍රයන් ලාරා ද්විත්ව ශතක 09 ක් ලබා ගෙන දෙවැනි ස්ථානයේ පසුවෙයි. කෙසේ වෙතත් මේ දෙදෙනාම ක්‍රිකට්වලින් සමුගෙන ඇති බැවින් මෙම වාර්තා අභිබවා යාමට තාක්‍ෂණයෙන්, ඉවසීමෙන් මෙන්ම අධිෂ්ඨානයෙන් පිරිපුන් ක්‍රීඩකයකු වන සංගාට හැකියාව මෙන්ම අවශ්‍ය වන්නේ වාසනාව පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම 2011 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය තෙක් ම සාර්ථකව මෙහෙය වූ නායකයා වන සංගා මේ වන විට ටෙස්ට් තරග 109 කට සහභාගි වී ඉනිම් 185 ක් ක්‍රීඩා කර 13 වතාවක් නොදැවී සිටිමින් ලකුණු 9582 ක් ලබා සිටී. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වන්නේ 2006 ජූලි 27 වැනිදා කොළඹ එස්.එස්.සී පිටියේදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලබාගත් ලකුණු 287 යි.
ටෙස්ට් ශතක 30 ක් අර්ධ ශතක 58 වාර්තා කර ඇති ඔහුගේ ශතක 30 අතරේ ලබා ඇති ද්විත්ව ශතක 8 කි.
2000 වසරේ ජූලි 20 වැනිදා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුක්තව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරග වැදෙමින් ටෙස්ට් වරම් ලබාගත් සංගා එම තරගයේ පළමු ඉනිමේදී අංක 05 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 23 ක් ලබා ගත්තේය. නිකී බෝයේ ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ද එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණ 15 කින් ජයග්‍රහණය කිරීම ඔහුට අමරණීය සිහිවටනයකි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ටෙස්ට් පිටියට බට සංගා ඔහුගේ මංගල ශතකය වාර්තා කරන්නේ ද ගාල්ල ක්‍රීඩාංගණයේදීයි. 2001 අගෝස්තු 14 වැනිදා ඉන්දියාවට එරෙහිව සිය 10 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සංගා නොදැවී 105 ක් ලබා ගනිමින් කුලුඳුල් ශතකය වාර්තා පොතට එක් කළේය.
ඉන්පසු යළිත් 2001 නොවැම්බර් 13 වැනිදා ගාල්ලේ දීම සිය දෙවැනි ශතකය (140) ඉන්දියාවට එරෙහිවම ලබාගත් ඔහු මංගල ද්විත්ව ශතකය ලබා ගන්නේ පාකිස්ථානයට එරෙහිව ලාහෝරයේදී. ඒ 2002 මාර්තු 06 වැනිදා. එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 230 ක් ලබා ගනිමින් සිය මංගල ද්විත්ව ශතකයට හිමිකම් කීවේය.
2004 මැයි 14 වැනිදා සිම්බාබ්වේට එරෙහිව බුලවායෝ හිදී ලකුණු 270, 2004 අගෝස්තු 11 වැනිදා දකුණු අපි‍්‍රකාවට එරෙහිව එස්.එස්.සී හිදී ලකුණු 232, 2006 ජූලි 27 වැනිදා දකුණු අපි‍්‍රකාවට එරෙහිව එස්.එස්.සී පිටියේදී ලකුණු 287, 2007 ජූලි 03 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පී. සරා ඕවල් හිදී නොදැවී 200, 2007 ජූලි 11 දා මහනුවරදී බංග්ලාදේශයට එරෙහිව නොදැවී 222, 2010 ජූලි 26 ඉන්දියාවට එරෙහිව එස්.එස්.සී පිටියේදී 219 සහ 2011 ඔක්තෝබර් 18 වැනිදා අබුඩාබිහිදී පාකිස්ථානයට එරෙහිව 211 ලෙසින් ඔහු ලබාගත් ද්විත්ව ශතක වාර්තා පොතට එක්වී තිබේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සංගා නොදැවී ලබාගත් ලකුණු 199 සමඟ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ප්‍රසාද ලකුණු 850 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.
ගාල්ල ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ඔහු ප්‍රසාද ලකුණු 779 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයේ සිටියේය.
ලැයිස්තුවේ පළමු ස්ථානය ලබාගෙන සිටියේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශිවනරින් චන්ද්‍රපෝල්ය. ඔහු ප්‍රසාද ලකුණු 856 ක් ලබා සිටී. සංගා අවසන් වරට ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ සිටියේ 2011 නොවැම්බර් මාසයේ දීය.
මෙය ලියන මොහොත වන විට කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ද සංගා ලකුණු 192 ලබා ගත්තේය. එම ශතකයත් සමඟ ඩ්‍රොන් බ්‍රැඩ්මන්ගේ ශතක 29 අභිබවා ගියේය.

About the Author

Posted by gossip lanka live on 9:00 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:00 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Kumar Sangakkara back as No 1 Test batsman in ICC Rankings"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.