Published On:
Posted by gossip lanka live
Ramboda umaga
අසිරිමත් රම්බොඩ උමඟ
කොළඹ සිට ගම්පොළ දක්වා තැනුණ කරත්ත පාර එහි සිට නුවරඑළිය හරහා බදුල්ල දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව ඉස්මතු වූයේ 1828 වසරේ දී සර් එඩ්වඩ් බාන්ස් ලංකාණ්ඩුකාර වරයාටය. නුවරඑළිය නමැති සුඛස්ථානය සොයා ගැනීමත් සමඟම එය ඉංග්‍රීසි ජාතික ජනාවාසයක් කර ගැනීමට ඔහුට වුවමනා විය.
බාන්ස් ආණ්ඩුකාරයා මාර්ග ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර් කෙරෙහි විශ්වාසය තබා මාර්ගය ලකුණු කොට මැනීමේ කටයුතු ඔහුට බාර දුන්නේය. තරුණ විය ඉක්ම යන්නටත් පෙර හමුදා සේවයට බැඳුණු ස්කිනර් මාර්ග ඉංජිනේරු දක්වා වූ වගකීම් සහගත තනතුර දක්වා උසස්වීම් ලද්දේ ඉතාමත් කෙටි කලක් තුළදී ය. මාර්ග ලකුණු කිරීමෙහි ලා ඔහු ලද අත්දැකීම් ඇතුළත් කොට ස්කිනර් “ලංකාවේ පනස් වසක්” නමින් ග්‍රන්ථයක් රචනා කොට ඇත.
”1823 දී මම රම්බොඩ සිට ගම්පොළ දක්වා නුවරඑළිය පාර ලකුණු කළෙමි. පුස්සැල්ලාව අසලදී කම්කරුවෙකුට තිත් පොළඟෙකු දෂ්ට කරන්නට යෙදුණි” යනුවෙන් සිය අත්දැකීම් විස්තර කරන ස්කිනර්ට මෙම මාර්ගය ලකුණු කිරීම ඉමහත් අභියෝගයක් වූ බව පෙනේ. දැඩි පල්ලම්, ප්‍රපාත, ගල් පර්වත බහුල කඳු මුදුන් සහිත වනාන්තර ගත භූමිය මැදින් කරත්ත පාර ලකුණු කිරීම ස්කිනර්ට සිය ජීවිතයේ නවමු අත්දැකීමක්ම විය. නිරන්තරයෙන්ම හමුවන දිය කඳුරු හරහා මාර්ගය දිවවීම එතරම් ලෙහෙසි පහසු කරුණක් නොවීය.
එකඑල්ලේ කඳු මුදුන් කරා නොවිහිදී කඳු වටේට දිවෙන ලෙසින් පාර ලකුණු කළ ස්කිනර්ට දැනුණේ පාර ඉදිරියට ඇදෙනවාට වඩා වේගයෙන් පිටුපසටම ඇදෙන ලෙසකි. මක්නිසාද යත් කඳු තරණය කිරීම සඳහා අනන්තාපරිමාණ වංගු ප්‍රමාණයක් නිර්මාණය කරන්නට ඔහුට සිදුවිය.
මෙසේ මාර්ගය ලකුණු කරමින් යන ඔහුට, කඩුගන්නාවේ දී කැප්ටන් ඩෝසන්ට මාර්ගය ඉදිරියට දිවවීම සඳහා ගල් පව්වක් විද බිංගෙයක් නිර්මාණය කරන්නට සිදුවූවා වැනිම අත්දැකීමකට මුහුණපාන්නට සිදු විය. ඒ රම්බොඩදී ය. ඉතාමත් දැඩි ප්‍රපාතයක් හරහා පාර විහිදුවන්නට සිදුවිය. එහෙත් ප්‍රපාතයෙන් පිටට නෙරා ආ ගල් පව්ව හරහා පාර අනිත් පසට දීර්ඝ කරන්නේ කෙසේදැයි ඔහුට සිතාගත නොහැකි විය.
ගල් පව්ව සම්පූර්ණයෙන්ම කඩා දමා මාර්ගය තැනිය හැකි වුවද එසේ කිරීම අතිශය භයානක විය. ගල්පව්ව කැඩූ අනතුරුව ආශ්‍රිත කන්ද නායයාමකට බඳුන් විය හැකිව තිබුණු බැවිනි. ගල් පව්ව නොකඩා ඊට පහළින් ප්‍රාකාරයක් බැඳ මාර්ගය තැනීම කළ නොහැකි වූයේ ද ප්‍රපාතයේ පතුල දැඩි අගාධයක පිහිටි බැවිනි.
මෙහිදී ස්කිනර්ට කීප පැත්තක් ගැනම සිතන්නට සිදු විය. ඉංජිනේරුමය තාක්ෂණය ද භාවිත කළ යුතු විය. ගල් පව්ව සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමන්නට ද නොහැකිය. එබැවින් එහි අමුතුම නිර්මාණශීලිත්වයක් අනුගමනය කිරීමට ඔහුට සිදු විය. තාක්ෂණය මෙන්ම කලාකාමී නිර්මාණශීලිත්වය අනුගමනය කිරීමට ඔහුට සිදුවිය. තාක්ෂණය මෙන් කලාකාමී නිර්මාණශීලිත්වය ඉස්මතුවීම හේතුවෙන් දුටුවන් මවිත කරවන නිර්මාණයක් කරන්නට ඔහු පෙලඹුණේ එබැවිනි.
ගල්පව්ව ආසන්නයෙන්ම ගලා බස්නා සිසිල් දිය දහර සහිත දර්ශනීයතම දියඇල්ලකි. එය දේවතුරා ඔය දියඇල්ල නමින් හැඳින්වේ. වර්ෂාධික කාලයන්හිදී එහි හිරිකඩ මාර්ගය හරහා ද පතිත වේ. අනිත් පසින් හරිත වර්ණ තුරු වදුළුය. මෙම ස්වභාව සෞන්දර්යයන් ද විනාශ නොකොට, සුරකිමින් පරිසරයට හිතකාමීව මාර්ගය තැනීමේ වගකීම බාරගත් ස්කිනර් ඉතා සියුම් ලෙසින් ගල විද්දේය. ඉතිරිවන ගල් කන්ද මාර්ගයට වහලයක් වැනි ආවරණයක් තැනෙන ආකාරයෙන් ගල විද්ද වූ ස්කිනර් ඉතාමත්ම පටු මාර්ගයක් එහිදී නිර්මාණය කිරීමට සමත් විය.
මෙතනින් මුලින්ම ධාවනය වූයේ ගොන් කරත්ත හා අශ්ව කරත්ත බැවින් ඒවා ධාවනයට අවහිරයක් නොවීය. අනතුරුව රථවාහන ධාවනය ඇරඹීමත් සමඟම රියැදුරන්ට මෙතැන අභියෝගාත්මක ස්ථානයක් බවට පත්විය. මක්නිසාද යත් ගල් පව්වේ වහලය එතරම් උස් නොවූ නිසාත් ගල විද්දේ ද එතරම් පළලට නොවන නිසාත් මෙතැනින් එකවරකට යා හැකි වූයේ එක වාහනයකට පමණි. වාහන දෙකක් මාරු කිරීමේ හැකියාවක් මෙම ස්ථානයේදී නොවීය. ගලවිද්ද තැන පසුකොට එන වාහනයට ඉඩදීම සඳහා දෙපසින්ම දුරදීම අනෙකුත් වාහන නවතා තබා ගන්නට සිදුවිය.
මෙතැන පසුකොට යන වාහනය ද ඉතා සෙමින් ධාවනය කළ යුතු විය. සුළු අතපසුවීමකින් හෝ වාහනය පැද්දෙන්නට වූවොත් එය නියත වශයෙන්ම ගල් පව්වේ බිත්තියේ වදින බැවිනි. නැතහොත් ප්‍රපාතයෙන් පහළට පෙරළී යන බැවිනි. මේ සිදුවීම නිසා මෑතක් වනතුරුම ගල විද්ද ස්ථානය දෙපස සෑහෙන වාහන තදබදයක් දකින්නට ලැබුණි.
රම්බොඩ දුර්ග මාර්ගයේ මෙම ගල විද්ද ස්ථානය දෙස් - විදෙස් සංචාරකයන්ගේ නෙත්-සිත් දිනාගත් කදිම සංචාරක ස්ථානයක් බවට පත්විය. මෙහිදී ඔවුන් සිය සංචාරයේ උපරිම විනෝදාස්වාදය විඳිනු වස් සිය වාහනය ගල විද්ද ස්ථානයේ මඳක් නතර කොට ඡායාරූපයක් ගැනීමට ද අමතක කළේ නැත.
මෙම ස්ථානය ප්‍රසිද්ධියට පත්වූයේ ‘ගල විද්ද ස්ථානය’ යන නමින්මය. ඉංග්‍රීසි යුගයේ දී ගල් වහලට ආධාරකයක් තනා නො තිබුණ මුත් පසුකාලීනව ගල් බැමි තුනක් ඉදිකොට ආධාරක තුනක් තනා තිබ්‍රණි. එහෙත් ගමනාගමනයට මෙම ස්ථානය ඉමහත් බාධකයක් විය. නුවරඑළිය - කොළඹ සමඟ සම්බන්ධ කළ ප්‍රධානතම මාර්ගය මෙය වූ බැවින් එහි ගමනාගමන දුෂ්කරතාව මඟහැරවීම සඳහා මහාමාර්ගය නවීකරණය කිරීමේ දී ගල විද්ද ස්ථානය මඟහරවා මාර්ගය තැනීමට විකල්පයක් යෙදීමට සිදුවිය.
එහිදී සිදුවූයේ කවදුරටත් ගල විද්ද ස්ථානය යටින් දිවවූ මාර්ගය භාවිතයට නොගෙන ගල් පර්වතය සහිත කඳුවැටිය හාරා උමඟක් තනා වාහන ධාවනයට කටයුතු සැලසීමයි. එය මෙරට ඉදිවූ දිගම උමඟ වෙයි. නවීනතම පහසුකම්වලින් ද යුත් රම්බොඩ උමඟ මංතීරු දෙකකින් ද යුක්ත වන නිසා එහි තවදුරටත් වාහන තදබදයක් ද නොවීය. දිවා කාලයේ පවා එතුළ පවතින අඳුර දුරලීම සඳහා දිවා රෑ නොතකා විදුලි පහන් දල්වා තැබේ. රම්බොඩ උමඟ ද සංචාරක නෙත-සිත පිනවන කදිම තෝතැන්නකි.
ගල විද්ද ස්ථානයෙන් කිසිදා දිග වාහනයක් හෝ සුවිශාල වාහනයක් ගමන් නොකළ බව කිව යුතුමය. කන්ටේනරයකට හෝ උස වාහනයකට මෙම ස්ථානය හරහා යාමට නොහැකි විය. එබැවින් එවන් වාහන කොළඹ සිට නුවරඑළියට ගමන් කළේ පරංගියා කෝට්ටේ ගියා වැනි වට වංගු මාර්ග දිගේය.
කොටස් තුනකින් යුක්තව ඇදහැලෙන රම්බොඩ දිය ඇල්ල, අනිත් පසින් ඇදහැලෙන දේවතුරා ඔය දිය ඇල්ල හා රම්බොඩ දුර්ගයේ ගල විද්ද ස්ථානය හා ඊට අමතරව ඉදිවූ රම්බොඩ උමඟ රම්බොඩ සංචාරක පුරවරයේ වටිනාකම සිය දහස් ගුණයකින් වැඩිදියුණු කරවන සුලු වේ.