Published On:
Posted by gossip lanka live
Chat srilankan artists About New Year සිංහල අවුරුද්ද ගැන කලාකරුවන්ගේ අදහස්
එදා අවුරුදු අසිරිය අදත් හිතින් විඳිනවා
- රවීන්ද්‍ර රන්දෙණිය
“අලුත් අවුරුද්ද කියන අදහස අපි හැමදෙනාටම නැවුම් ප්‍රබෝධයක් ඇති කරනවා. අලුත් අවුරුද්ද අපේ පෙරදිග සංස්කෘතියේ වටිනාම සම්ප්‍රදායක්. අපේ ගැමිකම, ස්වභාවධර්මයේ ආශිර්වාදය මේ හැමදෙයක්ම මුසු වූ දෙයක් එය. අපේ හිත් තුළ නැවුම් හැඟීම් පුබුදුවමින් අලුත් පැතුම් ඇතිකරමින් උදාවන අලුත් අවුරුද්දේ දී එරබදු ගස් රතුපාට මලින් බරවෙලා හැමතැනම නැවුම් බවක් ඇති වෙලා. ඒ අවුරුදු අසිරිය අද දක්නට නොමැති වුණත් මගේ ළමා විය ගෙවුණු ඒ අතීතයේ මා දුටු අවුරුදු අසිරිය අදටත් මම මතක් කරන්නේ මහත් සතුටින්.
”මට මතකයි මම මගේ ළමාවිය ගතකළේ මවගේ මහගෙදර. සපුගස්කන්ද කියන ග්‍රාමීය පරිසරයේ. අද ඒ පරිසරය යම් දුරකට කාර්මීකරණයකට ලක්වෙලා. තෙල් සංස්ථාව, වෙළෙඳ කලාපය වැනි දැවැන්ත ආයතන බිහිවෙලා. මට මතකයි තෙල් සංස්ථාව පිහිටි භූමිය එදා විශාල රබර් යායක් තිබුණු වතුයායක්. ඒ හරහා හැමදාම ගලාබසින දියපාරක් තිබුණා.
ඉතාම ලස්සන ස්වභාවධර්මයක් පැවතුණු පරිසරයක් එය. මට මතකයි අලුත් අවුරුද්ද ලබන්න මාසයකට එකහමාරකට විතර කලින් තමයි කොහා හඬන්න පටන් ගන්නේ. අවුරුදු ක්‍රීඩා, කැවුම් කොකිස් බැදෙන සුවඳ පරිසරය පුරාම පැතිරී යනවා. වැඩිහිටියන්ට බුලත් දීලා නමස්කාර කිරීම, ගනුදෙනු කිරීම වගේ අලුත් අවුරුද්ද හා බැඳුණු හැම චාරිත්‍රයක්ම අපි ඉටුකළේ මහත් භක්තියකින් වගේම ආසාවකින්. ආගම් භේදයකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපි සැමරුවා.”
හැමෝගෙම ජීවිත අලුත් වෙනවා
- රඹුකන සිද්ධාර්ථ හිමි
අවුරුදු සමයට නගරය දුප්පත්. ගම පොහොසත්. ගම අවුරුදු සිරියෙන් නැහැවෙන විට නගරය
පාළුවට යනවා.එරබදු මල් පිපෙන විට කොහා ගීයෙන් ගම වසඟ කරන විට, අටු කොටු පිරෙන කොට, ඔංචිල්ලා බැඳෙන විට, පුංචි ළමා සිත තරම් උද්දාමයට ප්‍රීතියට පත්වන වෙනත් වස්තුවක් නෑ.
ඇළ දොළ, ගංගා ද තුරු වදුලුවල අප්‍රමාණ පලතුරු ද, ජම්බු වෙරළු, කජු පුහුලන් ආදියෙන් ද සමන්විත මේ සොඳුරු වට පිටාව පුංචි කාලේ අපේ ළමා සිතට ගෙන එන්නේ ඉමහත් ආස්වාදයක්. මල් පිපී හඬදෙන රතිඤ්ඤා කරලේ බියජනක පැත්ත පවා අපට දැනෙන්නෙ නෑ.
වැඩිහිටියන් අවුරුදු සමරන්නේ චාරිත්‍ර වාරිත්‍රත් එක්ක. ගමේ සුන්දර අතුපැලළි ගොම මැටි ගා පිරිසිදු කරනවා. කුස්සියේ ලිපේ අළු ගොඩවල් ගස්වැල් වල පෝෂණයට මුදා හරිනවා. අලුත් හට්ටි මුට්ටි, වළං වලින් ගේ පිරෙනවා. ළිං ඉස පිරිසිදු කොට නව ජලය පාවිච්චියට ගන්නවා. සිරිතට විරිතට නැකතට ලිපි ගිනි දැල්වීම, ආහාර පිසීම, ආහාර අනුභවය, අලුත් වස්ත්‍රාභරණ පැලඳවීම සිදුකෙරෙනවා. මේ අසිරිමත් සියලු දේ මැද තම තමන්ගේ දූ දරුවන් සමඟ ප්‍රීතියෙන් ගත කරනවා.
ජාතික සමගිය, වැඩිහිටියන්ට ගරු කිරීම, යුතුකම් ඉටුකිරීම, ආගමික සිරිත් විරිත් පුරුදු පුහුණු කිරීම, නව බලාපොරොත්තු සහිත නව ආකල්ප වලින් යුතුව අවුරුද්දෙන් පසු ජීවිතය ආරම්භ කිරීමෙන් සියලු දෙනාගේ ම ජීවිතවල ප්‍රබෝධයක් ඇතිවෙනවා.
අද අවුරුදු දවස් සවාරිවලට සීමාවෙලා
- රෝහණ බැද්දගේ
“පුංචි කාලේ අපේ ගම්වල තිබුණු ඒ අලුත් අවුරුදු පරිසරය හරිම වෙනස්. ඒ පරිසරය හරිම සුන්දරයි. අද වගේ ගම්මානය පුරාවට විශාල ගෙවල් ප්‍රමාණයක් තිබුණේ නැහැ. ළමයි හැමෝම එකට එකතු වෙනවා. සෙල්ලම් කරනවා. ”ඒ වගේම තමයි අපේ ගමේ කතුරු ඔංචිල්ලාවක් හැම අලුත් අවුරුද්දකටම බඳිනවා. එය පත්තිනි දෙවියන්ට බාර හාර වී තමයි බඳින්නේ. දවස් 7ක් පදින්න බාර වෙනවා. මේ තුළින් මෙය පදින සියල්ලන්ම ආරක්ෂා වෙනවා කියලා දැඩි විශ්වාසයක් භක්තියක් අප තුළ තිබුණා.
මට මතකයි අපේ ගමේ වැඩිහිටියන් අපි එකතු කරගෙන තමයි මෙය කරන්නේ. අපිත් ඔවුන්ට උදව් කරනවා. කතුරු ඔංචිල්ලාව ලිහන්නේ කෝලම් මඩුවක් නටලා. එතැනදී කෝලම් නටලා, බෙරගහලා, බාරෙන් නිදහස් වීම සිදුවෙනවා.”
”මීට අමතරව බඹර ඔංචිල්ලා, වැල් ඔංචිල්ලාත් අපේ ගමේ තිබුණා. රබන් ගහන්න පටන් ගන්නේ මාසෙ මුල ඉඳල. අපේ මාමගේ ගෙදර රබානක් තිබුණා. මෙය රත්කරලා රබන් ගහන්න පටන් ගන්නවා. ලොකු අයට රබන් පද විශේෂයක් ශෛලියක් තිබුණා. පුංචි අපිවත් එයට ටිකෙන් ටික ඔවුන් එක් කර ගන්නවා.”
”ආහාර පාන ගැන කතා කළොත් හැම ගෙදරකම අටු කොටු පිරිලා තිබෙන නිසා අම්මලා අක්කලා විවිධ කැවිලි වර්ග හදනවා. පුංචි ළමයි වශයෙන් අපිට බඩපිරෙන්න කැවිලි පෙවිලි හැම ගෙදරකින්ම ලැබෙනවා. ඇත්තටම අද දරුවන්ට වැඩිහිටියන්ට අලුත් අවුරුද්දක් කියල දෙයක් තියෙනවද කියන ගැටලුව ඇති වෙනවා. අද අයට ඕනෑ සාප්පුවලට ගිහිල්ලා සාටෝප ඇඳුම් අරගෙන ජේත්තුවට ඇඳලා කෑගහන එකයි. කිසිම වැඩකට නැති සංකර සිරිත් අනුගමනය කරමින් අවුරුද්ද ගත කරන එකයි. අද අවුරුද්ද තුළ ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවක් එදා වගේ මට නම් දකින්න නැහැ.
හොඳ ගුණාංග රැකගන්න පෙරමුණ ගමු
- සබීතා පෙරේරා
“මට මතකයි අපි පුංචි කාලෙ හැදී වැඩුණෙ තාත්තගෙ ගමේ. ඒ වෙන්නප්පුව. ගමක අලුත් අවුරුද්ද කිව්වහම එය ඉතාම හොඳින් සමරන්න ගමේ ජනතාව උනන්දු වෙනවානෙ. ඉතින් මටත් මතකයි මම සිනමාවට එන්න පෙරාතුවත් ආවාට පසුවත් අලුත් අවුරුදු දා යෙදෙන ඒ නැකැත් චාරිත්‍ර වාරිත්‍ර ඒ විදිහට ඉටුකරන්න උත්සාහ ගත්තා.
මම ඒවා අකුරටම ඉටුකරලා තිබෙනවා. මට මතකයි අපි අලුත් ඇඳුම් ඇඳලා අපේ ගේ අවට තියෙන ගෙවල්වලට කෑම පිඟන් ගෙනියන්නේ අපි අතින්මයි. මම සිනමාවට ආවට පසුවත් අලුත් අවුරුදු දවසට කිසිම වැඩක් භාරගන්නෙ නැහැ. එදාට අපි හැමෝම අලුත් අවුරුද්ද වෙනුවෙන් තමයි වෙහෙසෙන්නේ.”
මම හිතන විදිහට අද නගරබදව මේ චාරිත්‍ර වාරිත්‍ර හරි හැටි ඉටුවෙන්නේ නැහැ. එය හොඳ දෙයක් නෙමෙයි. අලුත් අවුරුද්දෙන් අපේ සංස්කෘතියට ලබා දෙන හොඳ ගුණාංග රාශියක් තිබෙනවා. අද ඒවා ටිකෙන් ටික වියැකෙමින් යනවා. එය ඇත්තටම අපේ රටට විශාල පාඩුවක්. මම හිතන්නේ අපි ඒවා රැක ගැනීමට පෙරමුණ ගත යුතුයි කියලයි.
අරුත්බර අවුරුදු ගී අද නෑ
- සනත් නන්දසිරි
“මගේ ගම් පියස වුණේ ගොතටුව. ඒ ගමේ සිංහල අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරනවා. අදටත් එහෙමයි. ගුඩු පැනීම, අංකෙළිය, පොරපොල් ගැසීම, ගම හරහා දිවීම, වගේ අලුත් අවුරුදු ක්‍රීඩා අපි පුංචි කාලෙ ආසාවෙන් කළා. අපි කොළඹ ජීවත් වුණත් ගමට ගියහම සරමක් ඇඳලා තමයි අලුත් අවුරුද්ද සමරන්න යන්නේ. අද වගේ කලිසම් ඇඳගෙන අපි අවුරුදු සැමරුවේ නැහැ. අද නගරබදව මේ අලුත් අවුරුදු ක්‍රීඩා ඒ කියන්නේ පාරම්පරිකව අපේ සංස්කෘතිය හා බැඳුණු දේවල් සෙමින් සෙමින් හිඟවේගෙන යන බවක් දක්නට ලැබෙනවා.”
”මං ජීවත්වුණු ගමේකම හැමදාමත් හදවතේ තිබුණු නිසා මට අලුත් අවුරුදු සංස්කෘතිය හා බද්ධ වුණු ගීත රැසක් නිර්මාණය කර ගයන්නට පුළුවන්කම ලැබුණා. ඒ අතර “කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ”... ගීතය මට මතක් වෙනවා.
ඇත්තටම මම අද දකිනවා යොවුන් පරපුර මෙවැනි සංස්කෘතිකමය ජාතිකමය වටිනාකමක් ඇති ගීත නිර්මාණය කරන්නට මැළිකමක් දක්වන බව. ඔවුන් මේවාට උනන්දුව අඩුයි. මම ඔවුන්ට ආරාධනා කරනවා මෙවැනි ගීත නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා.
අපේ ගමටම ආවේණික අවුරුදු චාරිත්‍ර තිබුණා
- අර්නස්ට් වඩුගේ
අද හැමදෙයක්ම වගේ ගෝලීයකරණය වන යුගයක තමයි අපි දිවිගෙවන්නේ.
”මට හිතෙන්නේ අද අලුත් අවුරුද්ද සුපර්මාර්කට් එකට සීමා වෙලා කියලයි. අද ගෙවල් වෙළෙඳපොළ ආර්ථිකයට යටත් වෙලා සිංහල අවුරුද්දත් මාර්කට් වෙලා තිබෙනවා. කැවුම් කියන්නේ සිංහල අවුරුද්දේ සංකේතය. අද කැවුම් කිරිබත් පවා ගන්නේ සුපර්මාර්කට් එකෙන්. ඇත්තටම මෙය හොඳ දෙයක් නෙවෙයි. අද මව්පියන්ට බුලත් අත් දීල වඳිනවා වෙනුවට දුරකථනයෙන් විෂ් කරනවා.
මව්පියොත් එහෙමයි. එස්.එම්.එස්. එකට සීමාවෙලා තිබෙනවා. ඒත් ගම්මානවල තවමත් සිංහල අවුරුදු සමරනවා. චාරිත්‍ර වාරිත්‍ර සිදුකරනවා. මට මතකයි මගේ ගම ගාල්ල ප්‍රදේශයට ආවේණික වූ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තිබුණා. ඒ තුළ අපි ගරු කරන්න ඕන සංහිඳියාවක් ආශ්චර්යයක් තිබුණා.