Published On:
Posted by gossip lanka live
Chat With Ravindra Yasas - සරල විදියට හිටියම ජීවිතේ සැහැල්ලුයි
රවින්ද්‍ර යසස් කලින් කලට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපට මුණගැහෙන රංගන ශිල්පියෙක්. වේදිකාවෙන්, පුංචි තිරෙන්, සිනමාවෙන්,
වීදියෙන් ඔබට මුණගැහෙන යසස් මේ සියලු මාධ්‍යයටම ඔට්ටු නළුවෙක්. මේ දිනවල පුංචි තිරේ දිගහැරෙන ‘සිකුරු වසන්තේ’ ටෙලිනාට්‍යයේ වෙනස්ම රංගනයක යෙදෙන යසස් දිනපතා නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ ‘ජන හිතගේ විරිඳු සුරල්’ තුළින් ද ඔබට මුණගැහෙනවා. කවදත් දකින, ඇත්ත කෙළින් කියන රවින්ද්‍ර යසස් හා කලකට පසුව අප කතා බහ කළා.
මේ දවස්වල කොහොමද ඔබේ ජීවිතේ ගෙවෙන්නේ.
මේ දිනවල ‘සිකුරු වසන්තේ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේම එය දැන් විකාශය වෙන්නත් පටන් අරන්. ‘ඇන්ඩ් කම්පැනි’ වැඩසටහනත් කරන අතරෙම නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ වැඩසටහනකුත් මම කරගෙන යනවා. ඔය සියල්ල අතරෙයි මේ දවස්වල මගේ කාලය ගෙවෙන්නේ.
කලකට පසුවයි ඔබ ටෙලිනාට්‍යයකින් අපි දකින්නේ.
ඔව් ‘සිකුරු වසන්තේ’ ටෙලිනාට්‍යයේ චරිතය මම ඉතාම ආසාවෙන් කරන චරිතයක්. ‘අල්විස්’ කියන මේ චරිතය මට ලැබුණු වෙනස්ම විදිහේ චරිතයක්. ඒ ගැන බොහෝ දෙනෙක් මේ දිනවල කතාබහ කරනවා.
රවින්ද්‍ර යසස් කියන්නේ මොන විදිහේ චරිතයක්ද?
කාවවත් රවට්ටන්නේ නැතුව නිදහසේ ජීවත්වෙන චරිතයක්. පුළුවන් තරම් බලන්නේ අල්පෙනෙත්තකින් හරි කාටහරි උදව්වක් කරන්න.
රවින්ද්‍ර යසස් ඇයි හාස්‍ය චරිතවලට කොටුවුණේ.
නැහැ ඒක මම හිතා මතාම කළ දෙයක් නෙමෙයි. නමුත් ‘සෙනෙහෙවන්තයෝ’ නාට්‍ය කළ පසුවයි මාව හාස්‍ය රංගන ශිල්පියකු විදිහට දැක්කේ. ඉන් පසුව චිත්‍රපට කිහිපයකම එවැනි චරිත ලැබුණා. නමුත් ඔය චරිත හැම එකකින්ම මම කළේ සමාජය දැනුවත් කරන එක.
හාස්‍ය චරිත ලැබුණු එක ගැන දුකක් ඔබට තියෙනවද?
කිසිම විදිහකින් නැහැ. හාස්‍ය හෝ වේවා ලැබෙන ඕනෑම චරිතයකින් මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්. අවුරුදු 10 ක් 12 ක් තිස්සේ මම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ හිටියා. මිනිස්සුන්ට නාට්‍ය පෙන්නුවා. හාස්‍යයෙන් අපි විඳින දුක පෙන්නුවා. දැන් ‘ඇන්ඩ් කොම්පැනි’ ගත්තත් හාස්‍ය හරහා අපි සමාජයේ ඇත්ත කතා කරන්නේ.
හොඳයි ඇයි ඔබ කාලයක් තිස්සේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ නිහඬව හිටියේ.
කොහොමද ටෙලිනාට්‍ය කරන්නේ. අද ලොකු අර්බුදයක්නේ තියෙන්නේ. පැහැදිලිවම නළු නිළියන් කුලී කාරයෝ වගේ. දවසේ පඩියට රඟපාන්නේ. ඒකත් හරියට ගෙවනවද? අපිව අරගෙන ගිහින් දවසට කීයක් හරි දීලා සීන්ස් 15 ක් 20 ක් ෂූට් කරනවා. ඊට වැඩිය හොඳයි රඟපාන්නේ නැතුව හිටියම.
ඔබ වෘත්තියෙන්ම රංගන ශිල්පියෙක්ද?
ඔව් මට වෙනත් රැකියාවක් නැහැ.
වෘත්තිය නළුවකුට අද ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් කලාවේ තියෙනවද?
නැහැ. එහෙම තත්වයක් නැහැ. ඒත් ජීවත් වෙන්න එපැයි. අපි බැහැ කියලා වැටුණොත් අපෙන් පසුව එන අය තවත් පහළට වැටෙනවා. හැබැයි ඉතිං කඩේ යන අයට උඩට එන්න පුළුවන්. ඒත් ටික කාලයයි. හරියට මෙරුවෝ වගේ.
’ජන හිතගේ විරිඳු සුරල්’ ගුවන් විදුලි වැඩසටහන ගැන කතාකරමු.
මට විශාල රුකුලක් දෙනවා නෙත් එෆ්.එම්. ගුවන්විදුලිය. ඒ වැඩසටහන හරහා මම සමාජයේ දකින අසාධාරණකම්, බොරුව, දේශපාලනය මේ හැමදේම ගැන වස්තුවිෂය කරගන්නවා. කතා කරනවා. මේ සමාජයේ සිද්ධවෙන දේවල් මිනිසුන්ට කියන්නයි මම උත්සාහ ගන්නේ.
මේ වගේ වැඩසටහන් නිසා ඔබට බලපෑම් ආවේ නැද්ද?
කෙළවරක් නැතුව එනවා. ඔය බලපෑම් මම ‘ඕල්වේස් බ්‍රේක්ඩවුන්’ කරන කාලේ ඉඳන්ම ආවා. ඒත් මම ඒ දේවල් ගණන් ගන්නේ නැහැ.
ඇයි වේදිකා නාට්‍යයක්වත් කරන්නේ නැත්තේ.
මේ වෙනකොට මම නාට්‍ය දෙකක රඟපානවා. ‘ත්‍රි ඉඩ්යට්ස්’ වේදිකා නාට්‍යයෙත් ‘මීයෝ නැතුව බැහැ’ නාට්‍යයෙත්. අද කොහොමද නාට්‍යයක් කරලා මිනිස්සු බලන්නේ. ටිකට් එකක් කීයද? එදා වගේ නෙමෙයි අද මිනිස්සුන්ට නාට්‍යයක් බලන්න කීයක් වියදම් කරන්න වෙනවද? ඉතිං නාට්‍යයක් කරලා හෝල්වල පුටුවලට පෙන්නලා වැඩක් නැහැනේ.
ඔබ තුළ තියෙන ඔය ප්‍රතිපත්තිය ඔබේ නිර්මාණ දිවියට බලපෑවේ නැද්ද?
බලපෑවා. මට සිදුවුණු පාඩුවීම් විශාලයි. හැබැයි එහෙමයි කියලා මම මගේ ප්‍රතිපත්ති පාවාදෙන්නේ නැහැ.
ඔබේ පුතා (කසුන් චාමර) කලාවට සම්බන්ධ වුණෙත් ඔය සිදුවීම් සියල්ල දැන දැන ද?
ඔව්. එයත් මම වගේම තමයි. ඒ ප්‍රතිපත්ති එයා ළඟත් තියෙනවා.
නමුත් ඔය සියලු දේට උඩුගම් බලායන්නවත් ඔබට හිතෙන්නේ නැද්ද?
මේ යන ක්‍රමයට එහෙම කරලා වැඩක් නැහැ. අද ගෙවල්, වාහන උකස් කරලා නාට්‍ය කළාට වැඩක් තියෙනවද? කොහෙද පෙන්නගන්න පුළුවන්. එහෙම එකේ මොකටද දුෂ්කර ක්‍රියා කරන්නේ.
අද මේ ආව ගමන දිහා ආපහු හැරිලා බැලුවොත්.
මට ගොඩක් සතුටුයි. දුකක් නැහැ කිසිම. සමහර නිර්මාණ මගෙන් මගහැරිලා ගියා.
සමහර අය මාව සම්බන්ධ කරගන්න බයයි. මොකද මම කෙළින් කතා කරනවා. කියන්න තියෙන දේ කියනවා. නමුත් රවින්ද්‍ර යසස් අද නොසැලී ඉන්නවා.
අවසන් වශයෙන් මොකක්ද ඔබේ බලාපොරොත්තුව කියලා මම අහන්නම්.
එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ මා ළඟ. කාටවත් කරදරයක් නොවී ඉන්නයි මට ඕන. සරල විදියට ජීවත් වුණාම ජීවිතේ බොහෝම සැහැල්ලුයි.