Published On:
Posted by gossip lanka live

Chat With jayani senanayake කවදාවත් රැළිවලට අහුවෙලා නැහැ

නිළියක ගැහැනියක ලෙස මටත් වටිනාකමක්‌ තියෙනවා
ජයනී සේනානායක
කවදාවත් රැළිවලට අහුවෙලා නැහැ

උඩුගම් බලා පීනන එක හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි...... නමුත් කලා ක්‍ෂේත්‍රයේ උඩුගම් බලා පීනන අතළොස්‌සක්‌ අපිට ඉන්නවා. කොතරම් රැළි, කුණාටු ආවත් තම සීමාව තුළ හිඳගෙන, උඩුගම් බලා පීනන ආදරණීය කලා ශිල්පිනියක්‌, දියවන්නාව අසලදී අපට මුණගැහුණා.......· ඇය ජයනී සේනානායක.· මේ ඇය හා ගතකළ සොඳුරු හෝරාවේ අකුරු ඇමුණුමයි.......·

සම්මුඛ සාකච්ඡාවට ආරාධනා කරපු වෙලාවේ ඔබ කිව්වා කතා කරන්න තරම් දෙයක්‌ කළේ නැහැ කියලා.......·

ඇත්තටම එහෙම කිව්වේ, අපි පුවත්පතක ඉඩක්‌ හෝ රූපවාහිනී නාළිකාවක ගුවන් කාලයක්‌ ගන්නවා නම් ඒ ඉඩේ වටිනාකමට සරිලන දෙයක්‌ අපි කරලා තියෙන්න ඕන. මුකුත් නොකර, එහෙම අවස්‌ථාවක්‌ ගන්න එකට පෞද්ගලිකව මම එකඟ නැහැ. මම කැමැති මගේ ප්‍රේක්‍ෂකයන්ට දැනෙන, හිතන්න දෙයක්‌ තියෙන, රසවින්දනාත්මක දෙයක්‌ කරලා ඒ ගැන කතා කරන්න. ඉතිං පහුගිය කාලෙ මට එහෙම සතුටුවෙන්න පුළුවන් විදිහේ දෙයක්‌ මගේ අතින් වුණේ නැහැ· යම් මට්‌ටමක නිර්මාණවලට දායක වුණත් කතා කරන්න ඕන දෙයක්‌ නොවුණු නිසයි මම එහෙම කිව්වේ.

ක්‍ෂේත්‍රය තුළ කතා කළ යුතු මට්‌ටමේ නිර්මාණ බිහිනොවෙනවද? එහෙම නැත්නම් ඒවට ඔබට අවස්‌ථාව නොලැබුණාද?

මට ආරාධනා ලැබුණා හුඟාක්‌ හොඳ නිර්මාණවලට දායක වෙන්න. නමුත් මගේ පෞද්ගලික හේතු කාරණා නිසා චුට්‌ටක්‌ නිර්මාණවලින් ඈත් වෙලා හිටියා. ඒ නිසා හොඳ නිර්මාණවලට දායක වීමේ අවස්‌ථාව මට මඟහැරුණා.

වර්තමාන කලා ක්‍ෂේත්‍රය ගැන ඔබට තියෙන්නේ මොනවගේ අදහසක්‌ද?

මට වර්තමාන කලා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක්‌ නැහැ. මොකද මට නිර්මාණශීලී නිර්මාණකරුවනගේ නිර්මාණවලට දායක වෙන්න අස්‌ථාව ලැබුණා. ඒ වගේ ප්‍රේක්‍ෂකයන්ගේ රසවින්දනය ඉහළට ගෙනෙන නිර්මාණ බිහිවෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ නිර්මාණ කෙරෙන විදිහ ගැනයි. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 12 ක්‌ විතර වෙනවා. අපි ඒ කාලේ අහල තිබුණු විදිහට ඉතාම සුපිරි විදිහටයි නිර්මාණ බිහි වුණේ. ඒ වගේම මේ කර්මාන්තය පැවතුනේ. ඒ වගේම අපේ මුල්කාලෙත් ඒ අන්දමට සිදුවුණා. නමුත් දැන් වෙනකොට ඉතාම කනගාටුදායක තත්ත්වයක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ. ඒ ගැන කලකිරීමක්‌ නෙමෙයි තියෙන්නේ. විරෝධාකල්පයක්‌. මේ ක්‍ෂේත්‍රයට එහෙම වෙන්න දෙන්න බැහැ. මොකද ලෝකයේ කර්මාන්ත අතර ඉහළින්ම තියෙන කර්මාන්තයක්‌ මේක. ඒ වගේම ඉහළ ආදායම් ලබන ක්‍ෂේත්‍රයක්‌ සහ රංගනය කියන්නේ ලෝකයේ අමාරුම විෂයක්‌. මේකට ලොකු වටිනාකමක්‌ මුළු ලෝකෙම තියෙද්දී, මේ ක්‍ෂේත්‍රය හෑල්ලුවට ලක්‌ වෙන එක ගැන මට තියෙන්නේ විරෝධයක්‌.

එතරම් වටිනාකමක්‌ ඇති විෂය හෑල්ලුවට ලක්‌ වෙන්න පටන්ගත්තෙ කොතනින් ද කියලද ඔබ හිතන්නේ.?

වර්තමානය වෙනකොට අපේ ජීවන බර හිතාගන්න බැරි විදිහට ඉහළට ගිහිල්ලා. ඉතිං නිර්මාණයක්‌ වෙනුවෙන් විශාල මුදලක්‌ වැය කරනව කියන එක දෙපාරක්‌ හිතන්න ඕන කාරණාවක්‌. ඒක නිසා නිෂ්පාදකවරු නිතරම උත්සාහ කරන්නේ ඉතාම අඩු මුදලක්‌ වැයකරලා, ලාභයක්‌ ලබන්න. එක අතකට ඔවුන්ට දොස්‌ කියන්නත් බෑ. නමුත් අපි උත්සාහ දැරිය යුත්තේ නිෂ්පාදනයට නියම මිල වැයකර එය කිරීමටයි. අද හොඳ නිෂ්පාදනයකට විශාල පිරිවැයක්‌ දරන්න සිදුවීම තමයි එවැනි දේ බිහි නොවීමට එක හේතුවක්‌. මීට වසර දහයකට පහළොවකට විතර පෙර කොටස්‌ 40 ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කරන්න ගිය මුදල වගේ තුන් හතර ගුණයක මුදලක්‌ අද ඊට වැය වෙනවා. එක අතකින් ඒක නිෂ්පාදකවරුන්ට ලොකු අවදානමක්‌. නමුත් ගුණාත්මක බව නැත්තටම නැතිකර නොගෙන නිර්මාණයක්‌ බිහිකරන්න පුළුවන්නම් ඒක හොඳයි. හොඳ නිර්මාණ බිහිවෙන්න හොඳ වෙළඳපොළකුත් තියෙන්න ඕන. අපේ වෙළෙඳපොළ පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා.

ඔබ කියන්නෙ හොඳ නිර්මාණවලට ලංකාවෙ හොඳ වෙළෙඳපොළක්‌ නැහැ කියලද?

වෙළෙඳපොළක්‌ තියෙනවා. ඒක හොඳද නැද්ද කියන එක තමයි ප්‍රශ්නෙ. නිෂ්පාදනයට වියදම් කරන මුදලට සාපේක්‍ෂව ඒ වෙනුවෙන් දෙයක්‌ ලැබෙනවාද කියන එකයි ප්‍රශ්නය. අදාළ මුදලවත් නොලැබෙනවා නම් නිර්මාණ කරලා වැඩක්‌ නෑ. අද ටෙලි නාට්‍යයවලට ගෙවන්නෙ ඉතාම අඩු මුදලක්‌. එවැනි තත්ත්වයක්‌ මත හොඳ නිර්මාණවලට මුදල් වියදම් කරන්න නිෂ්පාදකවරු මැලිවෙනවා. වියදම් කරන මුදලට සාපේක්‍ෂව දෙයක්‌ ලැබෙනවා නම් හොඳ වෙළෙඳපොළක්‌, හොඳ නිර්මාණ බිහිවේවි.

ඔබ විශාල කැපවීමක්‌, මහන්සියක්‌ යොදලා මෙතනට ආපු කෙනෙක්‌. ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතන්නෙ?

මම නිළියක්‌ විදිහට හොඳ ස්‌ථාවරයක ඉන්නවා. මට තාම හොඳ ඉල්ලුමක්‌ තියෙනවා. මට හොඳ වටිනාකමක්‌, මිලක්‌ මේ ක්‍ෂේත්‍රය තුළ තියෙනවා. ඒ වගේම නිළියක්‌, ගැහැනියක්‌ විදිහට ජනතාව අතර හොඳ වටිනාකමක්‌ මට තියෙනවා. ඔවුන් අතර පිළිගැනීමක්‌ තියෙනවා. ඉතිං මම ඇත්තටම නිළියක්‌ විදිහට තෘප්තිමත්. ඒ වගේම මං ආපු ගමන ගැන මම තෘප්තිමත්. ආපසු හැරිලා බලද්දී මට දැනෙන්නෙ ජයග්‍රාහී හැඟීමක්‌.

අද වන විට කලා ක්‍ෂේත්‍රය කාන්තාවන්ට නුසුදුසු තැනක්‌ බවට පත් වෙමින් තියෙනවා නේද?

එහෙම වෙලා තියෙන්නේ රංගනය කියන එක මොකක්‌ද කියලා හරිහැටි අවබෝධයක්‌ නැතුව එන අය නිසයි. එහෙම ආවත් කමක්‌ නෑ. ආවට පසුව හෝ මේක හඳුනාගන්නවා නම්. හුඟක්‌ අය ක්‍ෂේත්‍රයට එන්නෙ ජනප්‍රිය වෙන්න බලාගෙන. මොන විදිහකින් හරි ඇවිල්ලා කැමරාව ඉදිරියේ මූණ පෙන්නලා ජනප්‍රිය වෙන්නයි හැමෝම හදන්නේ. ඒ වෙනුවෙන් ඔවුන් නොකරන දෙයක්‌ නෑ. ඉතිං එතනදී දොaෂාරෝපණයට ලක්‌වීම අනිවාර්යයි. නමුත් සුළු පිරිසක්‌ කරන වැරදිවලට මුළු ක්‍ෂේත්‍රයම විවේනය කිරීම සමාජයේ වරදක්‌· අපිත් දැනගත යුතුයි රංගන ශිල්පියා හෝ ශිල්පිනියගේ ගෞරවය රැකෙන අයුරින් කටයුතු කරන්න. තමන්ගෙ ගෞරවය රැක ගැනීමේ වගකීම තියෙන්නේ තමන්ට.

පවතින වාතාවරණයත් එක්‌ක ඉදිරිය ගැන ඔබට හිතෙන්නෙ මොනවද?

ඉතාම ඉහළ නිර්මාණ බිහිවෙනවා. ඒ වගේම අවරගණයේ නිර්මාණත් බිහිවෙනවා. අවරගණයේ නිර්මාණ බිහිවීම වර්තමානයේ ටිකක්‌ වැඩිවෙලා තියෙනවා. එක එක කාලයට ඔය වගේ දේවල් සිදුවෙනවා. රැළි එනවා යනවා. නමුත් ඒවා අතර හොඳ නිර්මාණ බිහිවෙනවා. අතීතය පුරාවට සිදුවුණා වගේ ප්‍රේක්‍ෂකයන් හොඳ නිර්මාණ ළඟÊනවතිනවා. අනාගතයේදීත් එහෙමයි. ඒ නිසා අපි අනියත බියක්‌ ඇතිකර ගත යුතු නැහැ. හොඳ දේට නිසි තැන ලැබෙනවා.

රැළිවලට හසු නොවී ඉන්නත් අමාරුයි නේද?

ඉතිං මේ මම ඉන්නෙ...· මම කවදාවත් රැළිවලට හසුවුණේ නැහැ. රැළිවලට කතා නොකළා නෙමෙයි. සමහර දේවල්වලට කැමැතිත් වුණා. පසුව පිටපත් බැලුවාම මම ඒවට එකඟ නැති නිසා අයින්වෙලත් තියෙනවා. කොටස්‌ ප්‍රමාණය ගැන නෙමෙයි මම හිතන්නෙ. එහි ගුණාත්මක බව ගැනයි. අපි ගුණාත්මක බවෙන් යුතු දීර්ඝ නාට්‍ය නරඹලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ කොටස්‌ ගණන් නෙමෙයි. ගුණාත්මක බවේ......· ප්‍රේක්‍ෂකයාට රසයක්‌ තියෙනවා නම් දෙයක්‌ ගන්න තියෙනවා නම් එයයි වැදගත්. මා තුළ ස්‌වයං වාරණයක්‌ තියෙනවා ප්‍රේක්‍ෂකයාට යමක්‌ දෙන්න බැරි දේවල්වලට මම දායක වෙන්නෙ නැහැ කියලා.

ඔබ ගැන අපිට කතා කරන්න බැහැ වේදිකාව ගැන කතා නොකර...·

මම වේදිකාවෙ පටන්ගත්ත දවසෙ ඉඳලා අද දක්‌වා හොඳ ප්‍රතිචාර ලබන නිළියක්‌. මං වෙනුවෙන් වේදිකාවෙ වෙනම පිරිසක්‌ ඉන්නවා. මාව අගය කරන සහ විවේචනය කරන ඒ පිරිසට මම නිතරම ගරු කරනවා. ඒ වගේම වේදිකාවෙ හොඳයි කියලා අපි හඳුනාගත්ත අධ්‍යක්‍ෂවරු යටතේ මම රඟපාලා තියෙනවා. ජයලත් මනෝරත්න, රාජිත දිසානායක, බුද්ධික දමයන්ත, ප්‍රසන්න විතානගේ වගේ නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණවලට දායක වෙන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකට එක හේතුවක්‌ මගේ උත්සාහය සහ කැපවීම. මම තවමත් ඉගෙන ගන්නෙ වේදිකාවෙන්. මම ඒ නිසා නිරන්තරයෙන් ම වේදිකාව සමඟ ඇසුරු කරන්න පෙළඹෙනවා. ඒ ගනුදෙනුවේ සාර්ථකත්වය නිසා තමයි 'වේදිකා නාට්‍ය' නිළියෝ කියන අතළොස්‌ස අතරේ මම ඉන්නෙ.....· ඒ ගැන මට සංතෝෂයි.

සිනමා නිර්මාණ කීපයකට ඔබ දායකත්වය දැක්‌වුවත් ඒවා සියල්ල සම්මානීය නිර්මාණ බවට පත්වුණා නේද?

මම රඟපෑ සිනමා නිර්මාණ කීපය ගැන මම ඉතාමත් තෘප්තිමත්. විශේෂයෙන් ම සරත් ධර්මසිරි මහතාගේ ගිනි කිරිල්ලි, ඉනෝකා සත්‍යාංගනී මහත්මියගෙ සුළං කිරිල්ලී, මගේ ප්‍රථම සිනමා නිර්මාණය ධර්මසේන පතිරාජ මහත්මයාගේ මතුයම් දවස. ඊට අමතරව ප්‍රසන්න විතානගේ මහතාගේ ආකාස කුසුම්, විජිත ගුණරත්න මහතාගේ වලාපටල වගේ නිර්මාණ දෙස බලද්දී ඇත්තටම මට සතුටු වෙන්න පුළුවන්. සිනමාවේදීත්, මට නිර්මාණශිලී අධ්‍යක්‍ෂවරු යටතේ රඟපාන්න ලැබුණා. නමුත් මම සිනමා නිළියක්‌ විදිහට තාම තෘප්තිමත් නෑ. මොකද තවත් දක්‍ෂතා පෙන්විය හැකි චරිත ලැබිය යුතුයි කියන තැන මම ඉන්නෙ. තවත් බොහෝ දේවල් කළ යුතුයි සිනමාව තුළ කියන බලාපොරොත්තුවෙනුයි මම ඉන්නෙ. මං හිතනවා ඉදිරියේදී මගේ ඒ බලාපොරොත්තුව ඉටුවෙයි කියලා.

ඉදිරි සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ මොනවාද?

කීපයකටම කතා කරලා තියෙනවා. තිරගත වීමට නියමිතයි ඉනෝකා සත්‍යාංගනී මහත්මියගෙ සින්ඩ්‍රරෙල්ලා. අනුරුද්ධ ජයසිංහ මහතාගේ බෝම්බ සහ රෝස සහ ඉසුරු වීරසිංහමුදලි මහතාගේ 'කලර්' යන චිත්‍රපට තුන. ඒවා එකිනෙකට වෙනස්‌ තේමාවලින් යුත් නිර්මාණ.විශේෂයෙන් ම වසර අටකට විතර පසුව සිනමාවේ රඟපාන කමල් අද්දරආරච්චි සමඟ කලර් චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණා. ඒ නිර්මාණය සුවිශේෂී නිර්මාණයක්‌. මේ චිත්‍රපට ත්‍රිත්වයේ ම මම රඟපාන්නෙ සුළු චරිත වුණත් මම හිතනවා ඒවා ප්‍රේක්‍ෂකයන් අතර මතකයේ රැඳෙන ඒවා වෙයි කියලා. ටෙලි නාට්‍ය නම් විශාල ප්‍රමාණයක්‌ විකාශය වීමට නියමිතයි. ඒවායේ නම් මේ වෙලාවේ කියන්න අපහසුයි. මේ දිනවල රොෂාන් කුරුප්පු මහතාගේ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව ප්‍රසන්න විතාන මහතාගේ 'දෙබිඩ්ඩෝ' වේදිකා නාට්‍යය සහ රාජිත දිසානායක මහතාගේ සිහින හොරු අරන් වේදිකා නාට්‍යයේ රඟපානවා.

මොකද ඔක්‌කොටම හොරෙන් විවාහ වුණේ.

විවාහය කියන්නෙ මගේ අතිශය පෞද්ගලික කාරණාවක්‌ සහ ඒක මගේ තනි මතයට පමණක්‌ සිදුවෙන එකක්‌ නෙමෙයි. ඒකට තවත් පාර්ශ්වයක්‌ සම්බන්ධයි. එතකොට අතින් පාර්ශ්වයේ කැමැත්තටත් ඉඩ දෙන්න වෙනවා. අපි අපේ විවාහය මාධ්‍යයට හැංගුවා නෙමෙයි. කාටවත් කිව්වේ නැහැ. ඒ අතිශය පෞද්ගලික කාරණාව අතිශය පෞද්ගලිකවම සිද්ධ වුණා.

රංගන ශිල්පිනියකට විවාහ ජීවිතය යම් අභියෝගයක්‌ නේද?

ඇත්තටම ඔව්. රංගන ශිල්පිනියකට විවාහය කියන දේ විශාල අභියෝගයක්‌ සහ විශාල පවුරක්‌. නමුත් ඒක බාධකයක්‌ නෙමෙයි සීමාවක්‌. විවාහ ජීවිතය කියන්නෙ හරියට නූලක්‌ උඩ තියෙන දෙයක්‌ වගේ. චුට්‌ටක්‌ හරි එහාට මෙහාට වුණොත් ඒක ගිලිහෙනවා. ඒ නිසා විවාහ ජීවිතයක්‌ පවත්වා ගෙන යන්න ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අපිට ලැබෙන අනිත් පාර්ශ්වය අපිව තේරුම් නොගත්තොත් විවාහය පවත්වාගෙන යන්න බැහැ. නමුත් අපි දැනගන්න ඕන එය සමතුලිතව රැගෙන යන්න. ඒ සඳහා අනිවාර්යයෙන් ම අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුමයි. මට ලැබුණු සැමියා මගේ ක්‍ෂේත්‍රය ගැන අවබෝධයක්‌ තියෙන කෙනෙක්‌. නමුත් මම යම් යම් සීමා මත ඉඳගෙන මගේ කලා ජීවිතයත්,විවාහ ජීවිතයත් සමබරව රැගෙන යනවා.

ඔබේ රූපලාවන්‍යාගාරයේ වැඩ කටයුතු කොහොමද?

තලවතුගොඩ මම සැලොන් J කියලා මගේ රූපලාවන්‍යාගාරයක්‌ පවත්වා ගෙන යනවා. කාර්යබහුල ජීවිතය ඇතුලේ ඒ වැඩ කටයුතුත් හොඳින් කෙරෙනවා.

අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ.

අවුරුදු දොළහක්‌ කියන්නේ ක්‍ෂේත්‍රය තුළ මට විශාල කාලයක්‌ නෙමෙයි. නමුත් මේ පුංචි කාලය තුළ ලංකාවෙ මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය තුළින් මට විශාල අනුග්‍රහයක්‌ ලබා දුන්නා. මම නවකයෙක්‌ විදිහට ඉඳිද්දිත් ඒ අනුග්‍රහය ලැබුණා. ඔවුන්ට මේ වෙලාවෙ මම ස්‌තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව අගය කරන විවේචනය කරන ප්‍රේක්‍ෂක පිරිසක්‌ ඉන්නවා. ඔවුන්ට මේ වෙලාවෙ මම ආචාර කරනවා. මම අද නිළියක්‌ විදිහට යම් ස්‌ථාවරයකට ඇවිල්ලා ඉන්නවා නම් ඒ මාව තමන්ගෙ නිර්මාණවලට දායක කරගත්තු අධ්‍යක්‍ෂවරු නිසා. ඒ නිසා ඔවුන්ට මම මගේ ස්‌තුතිය පුදකරනවා. හොඳ නිළියක්‌ විදියට මගේ දයාබර ප්‍රේක්‍ෂක ජනතාවට යමක්‌ ඉතුරු කරල යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං හිතනවා මගේ ඒ බලාපොරොත්තුව ඉටුවේවි කියලා......!


සංවාද සටහන-මාලක නන්දන
ඡායා - සමන් අබේසිරිවර්ධන

About the Author

Posted by gossip lanka live on 8:56 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 8:56 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With jayani senanayake කවදාවත් රැළිවලට අහුවෙලා නැහැ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.