Published On:
Posted by gossip lanka live

sriyantha mendis Talk About Ruwan maliga Tele drama

‘රුවන් මාලිගා’ හි රාජා මුදලාලිත්

නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිත් පැහැදිලිවම දෙදෙනෙක්


ශ්‍රියන්ත මෙන්ඩිස්


කලා ලෝකයේ විවිධ භූමිකා තුළ ඔහු තවමත් කාර්ය බහුලය. ඔහු සතු අභිමානවත් වූත් විශිෂ්ටවූත් රංගන පෞරුෂය පිළිබඳ අටුවා ටිකා අනවශ්‍යය. එතරම්ම ඔබ අපි ඔහු පිළිබඳ කොතෙකුත් දේ අසා දැන විඳ ඇත්තෙමු. මේ ප්‍රවීණ කලාකරුවා එමතු නොව වර්තමාන නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ කලකට පසුව කෙරෙන සුහද පිළිසඳරකි.

මේ දවස්වල ඔබ තරමක් කාර්ය බහුල බව පෙනෙන්නට තිබෙනවා.
ඇත්තටම ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය සහ නාට්‍ය අනුමණ්ඩලයේ වැඩකටයුතුත් සමඟ තරමක් කාර්ය බහුලයි.
නාට්‍ය අනුමණ්ඩලයේ වර්තමාන කටයුතු මොනවගේ ද?
මේ වනවිට මෙරට වේදිකාවට අලුත් දේවල් කිහිපයක් ම එකතු කිරීමට මම උත්සාහ දරා තිබෙනවා. මොකද මමත් උපන් ගෙයි නාට්‍යකරුවෙක්. මේ ප්‍රේමණීය දැව පලස උඩ අපි හුඟක් දේ කළා. එනිසා මට ජීවිතේ ලැබෙන්නේ මේ ප්‍රේමණීය දැව පලස මතින්. මම මේ නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ධූරය ගත්තට පස්සේ, මම ඉස්සෙල්ලාම කළේ නාට්‍යකරුවන් විදිහට ඔවුනට ලැබෙන ත්‍යාග මුදල් දෙගුණ කරවීම. ඒ කියන්නේ රු. 50,000 ක් වශයෙන් ලබා දුන් ත්‍යාග මුදල රුපියල් ලක්ෂයක් දක්වා ගෙන ආවා. රුපියල් විසි පන්දහසක් දක්වා තිබුණු නළු නිළියන් ගේ ත්‍යාග මුදල පනස් දහස දක්වා ගෙන ආවා. ඒත් සමඟම සිංහල නාට්‍යවලට සීමා වී තිබුණු ළමා නාට්‍ය උලෙළ සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන් ම ඉදිරිපත් කරන්න සැලසුම් කළා. එය ඉතා හොඳින් සාර්ථක කරගන්න පුළුවන් වුණා. දිගු නාට්‍යවල සිංහල/ දෙමළ මාධ්‍ය ද්විත්වයෙන් ම නාට්‍ය නිර්මාණය කරනු ලැබුවා. ඒ වගේ ම ජීවිතේ එක් වරක් හිමිවන සම්මානයත් අපි හඳුන්වා දුන්නා. මෙය ලැබෙන්නේ නාට්‍ය කලාව වෙනුවෙන් නාට්‍ය කරුවෙකු විසින් කරන ලද විශිෂ්ට සේවය අගයමිනුයි. මෙය අපි සිංහල හා දෙමළ නිර්මාණකරුවන් දෙදෙනකුට ලබා දුන්නා. ඉදිරියටත් මෙය ක්‍රියාත්මක වෙනවා. මෙවැනි වැඩකටයුතු රාශියක් මේ හරහා අපි ඉටු කළා.
රාජ්‍ය නාට්‍ය උලෙළ ළමා නාට්‍ය උලෙළ සඳහා දෙමළ නිර්මාණ කරුවන්ගේ දායකත්වය මොනවගේ ද?
ඇත්තටම මම නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ධූරය භාරගත්තේ යුද්ධයෙන් පසුවයි. අපි උතුරු නැඟෙනහිර සංවර්ධන ක්‍රියාවලිය භෞතික වශයෙන් දකිනවා. නමුත් නාට්‍ය කරුවන් හැටියට අභ්‍යන්තරිකව ඔවුන්ගේ බිඳුණු හදවත් සමඟ ගනුදෙනුවක් අපි කළේ නැහැ කියලයි මට හිතෙන්නේ. දෙමළ නාට්‍ය ගැන කතා කරන කොට දෙමළ නාට්‍ය පිටපත් විශාල ප්‍රමාණයක් මඩකළපුවෙන් ආවා. අපි හිතුවා ඒවා නිර්මාණය කරන්න ඕන කියලා. ඒ නිසා නාට්‍ය වැඩමුළු පවා පැවැත්වූවා. මෙය යාපනය, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය ප්‍රදේශවලටත් ව්‍යාප්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඔබ රඟපෑ ටෙලිනාට්‍ය කිහිපයක් ම විවිධ නාළිකා හරහා විකාශය වෙනවා නේද?
ඔව්! ‘ධවල කඩුල්ල’, ‘මොනරතැන්න’, ‘රුවන් මාලිගා’ රසික ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා.
පසුගිය දිනෙක රසිකයෙක් විමසා තිබුණා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන ඔබ ‘රුවන් මාලිගා’ වැනි කසිකබල් ටෙලිනාට්‍යයක රඟපාන්නේ ඇයි ද කියා?
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ම මට මගේ රසිකයන් කිහිප දෙනෙක් ම කතා කළා. මොකද ඒ අය ඉතා කැමැත්තෙන් නරඹන ටෙලිනාට්‍යයක් තමයි ‘රුවන් මාලිගා’. මං හිතන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ගත්තම එය විශේෂිත කලාවක්. හවස්වෙන කොට ප්‍රේක්ෂකාගාරය දැවැන්ත ලෙස මේ ටෙලිනාට්‍යයත් සමඟ බද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. ‘රුවන් මාලිගා’ ටෙලිනාට්‍යය විකාශය වෙන නාළිකාව පිළිගන්නවා ඒ අයගේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරය තියෙන්නේ ඒ නාට්‍යයට කියලා. එතකොට මට මේ විදිහට චෝදනා කරන ප්‍රේක්ෂකයාත් මේ නාට්‍යය නරඹනවානේ. බලාගෙන ගියාම ඔහු මෙය බලන නිසානෙ මේ විදිහේ ප්‍රකාශයක් කරන්නේ. ඒ මොනවා වුණත් ඔහු මේ පිළිබඳ උනන්දුවක් දක්වන එක පිළිබඳව මම සතුටු වෙනවා.
‘රුවන් මාලිගා’ නාට්‍යය බොළඳ ටෙලිනාට්‍යයක්ද?
කිසිසේත් ම නැහැ. මෙය සාම්ප්‍රදායික හැඩතල ගත්ත ටෙලිනාට්‍යයක් නෙමෙයි. ඒ තුළ තිබෙන්නේ ගැමි චරිත කිහිපයක් ධනවාදී සමාජ ක්‍රමය යටතේ ඇතිවන විවිධ හැලහැප්පීම් පෙළක්. ඒත් යම් ප්‍රේම වෘත්තාන්තයකුත් තිබෙනවා.
මෙවැනි ටෙලිනාට්‍යක රඟපෑම දශක හතරකට වැඩි කාලයක් පුරා ඔබ ගොඩනඟා ගත් රංගන පෞරුෂයට හානියක් නොවේද?
මං හිතන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මයා ගනිමු. ඔහු වාණිජ සිනමාවේ රඟපාන විට නියෝජ්‍ය කතානායක ධූරය දැරුවා. එතකොට ලෝකයේ ගත්තම ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර් කැලිෆෝනියාවේ නගරාධිපතිවරයා බවට පත්වෙන කොට ‘ටර්මිනේටර්’ හි රඟපෑවා. ඒ කියන්නේ අපි මෙතනදී පටලවා නොගත යුතු කාරණයක් තියෙනවා. මගේ පුද්ගලික සමාජ ජීවිතය එකක්. මගේ රංගන ජීවිතය තවත් එකක් කියන දෙය. මෙය නිරන්තරයෙන් ම පැති දෙකක ගමන් කරන්නේ. ඒත් එක්කම මම ගුරුවරයෙක් හැටියට කරන සමාජ සත්කාරය තව එකක්. මම පියෙක් හැටියට මගේ පවුල සමඟ කරන ආදරණීය බැඳීම තව එකක්. ඒ නිසා ශ්‍රියන්ත මෙන්ඩිස් කියන චරිතය තුළ විවිධ චරිත කීපයක් එකතු වෙලා තිබෙනවා. ඒ නිසා එකක් තව එකක් සමඟ සාපේක්ෂ වන්නේ නැහැ. මම නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති හැටියට කරන කාර්යය භාරය වෙනමම කාර්යයක්. එය සමාජගත වන්නේ නාට්‍ය ක්ෂේත්‍රයට රජයෙන් ලබාගත හැකි සහ රජයට ලබාදිය හැකි දේ පිළිබඳ යම්කිසි හඬක් නඟන යම් බලපෑමක් කරන සංවිධානයක් ලෙසයි. මගේ රංගන ජීවිතය තුළ එක් චරිතයක් පමණක් වන ‘රුවන් මාලිගා’ හි රාජා මුදලාලි නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති නොවේ. ඒ විදිහට බැලීම සම්පූර්ණයෙන් ම වැරදි දෙයක් විදිහටයි මට හැඟෙන්නේ. ඒත් එක්කම මම රඟපෑ ‘ධවල කඩුල්ල’, ‘මොනරතැන්න’ වැනි ඉතා හොඳ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒවාටත් ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. අපි රඟපාන නාට්‍යවල දැවැන්ත භාවය තිබෙන්නේ ප්‍රේක්ෂකාගාරය මතයි. නමුත් එහෙම වුණාය කියලා මම සමාජයට අකැප සමාජ විරෝධී කාරණාවක නියැලෙන්නේ නැහැ. මම තවමත් ලාංකේය සමාජයේ යහපත් සිවිල් පුරවැසියෙක්.
ඔබ කලාකරුවෙක් වීම ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?
අපි මේ ආපු දුර අපි ආවේ බොහොම රළු පරළු මං මාවත් වලයි. අපි ඉතාම අමාරුවෙන් දුකෙන් වේදනාවෙන් බොහොම කට්ටක් කාලා තමයි මේ ගමන අද මෙතැනට ඇවිත් තිබෙන්නේ. අදටත් සුවපහසු මාවතක් තවමත් අපිට සැලැසිලා නැහැ.

About the Author

Posted by gossip lanka live on 10:10 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:10 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "sriyantha mendis Talk About Ruwan maliga Tele drama"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.