Published On:
Posted by gossip lanka live

සිනමා පාසලකට යන හැම සිසුවකුටම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වීමේ පසුබිමක් නෑ

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

වර්තමානයේ තරුණ පිරිස් බොහෝ සෙයින් සිනමාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන්නෝ් ය. එහෙත් ඔවුන් මෙන් ම සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද නඟන මැසිවිල්ලක් වන්නේ අපේ රටේ සිනමාව පිළිබඳව විධිමත් පාඨමාලා හෝ ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නන්ට නිසි මඟ පෙන්වීමක් නැතැයි යන්න ය. මේ සඳහා විසඳුමක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය සිනමාව පිළිබඳව විධිමත් පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කැර ඇත.
“සිනමා අධ්‍යක්ෂණ ඩිප්ලෝමා දෑ අවුරුදු පාඨමාලාව නම් මෙම නව පාඨමාලාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනුයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මියයි. මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා පසුගිය දිනෙක අපි ඇය හා කතා බහ කළෙමු.

සිනමා ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින ඔබ මීට කලකට පෙර සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේත් මෙවැනි පාඨමාලාවක් හැදෑරීමෙන්. එසේ ගමන ආරම්භ කළ ඔබ අද සිනමා පාඨමාලාවක අධ්‍යක්ෂවරියක්. එදා සහ අද පිළිබඳව අපට පැහැදිලි කළොත්.
ඇත්තෙන් ම මමත් රූපවාහිනි හා සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ මෙවැනි පාඨමාලාවක් තුළින් මුලකුරු කියවා තමයි. ඒ ඉතිහාසය මීට වසර ගණනාවක ඈතට දිව යන එකක්. මා අපොස සාමාන්‍ය පෙළ අවසන් කොට නිවෙසේ රැඳුණු කාලය තුළයි ජාතික කතෝලික සිනමා පර්ෂද (O.C.I.C) සිනමාකරණ පාඨමාලා හැදෑරුවේ.
වර්තමානය වනවිට අප අවට මෙවැනි සිනමාකරණ පාඨමාලා කිහිපයක් ම ක්‍රියාත්මක තත්ත්වයේ පැවැතුණත් ඍජුව ම රාජ්‍ය මැදහත් වීමෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් සිනමා අධ්‍යක්ෂණය කේන්ද්‍ර කරගනිමින් විධිමත් ප්‍රමිතිකරණයකට යටත්ව උසස් අධ්‍යාපන පාඨමාලාවක් ආරම්භ වන ප්‍රථම අවස්ථාව මෙයයි.

අනෙක් පාඨමාලාවන්ගෙන් මේ පාඨමාලාව වෙනස් වෙන්නේ කොහොමද?
මේ පාඨමාලාවේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව කේන්ද්‍ර කරගනිමින් තමයි අනෙකුත් විෂයන් අනුබද්ධ කරගන්නේ. ඒ අනුව තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, රංගනය, සංගීතය, නිෂ්පාදනය, සැලසුම්කරණය, සිනමා රීතීන් හා සිනමා ඉතිහාසය මෙන් ම කලා අධ්‍යක්ෂණය, අංගරචනය, ගීත රචනය, විචාරය, රස වින්දනය ආදී අනුශාංගික අංශ කෙරෙහිත් මෙහිදී අවධානය යොමු කරනවා.
සිනමා පොතපත ඇසුරෙන් වගේ ම ප්‍රායෝගික අත්දැකීම් තුළින් මා ලබාගත් දැනුමට අමතරව අන්තර්ජාලය ඇසුරු කිරීමෙන් හා අන්තර්ජාතික මට්ටමේ පිළිගත් සිනමා පාසල්වල කෙරෙන අධ්‍යයන කටයුතු පිළිබඳව විමර්ශනය කිරීමෙන් ද අන්තර්ජාතික තලයේ සිනමා අධ්‍යක්ෂණය නැමති විෂය පථය කෙබඳු ආකාරයකට විෂය බද්ධව පවතිනවා ද යන්න පිළිබඳව ලද අවබෝධය ඇතිවයි අප මෙම දෙවර්ෂ පූර්ණ පාඨමාලාව සකස්කරනු ලැබුවේ. මෙම පාඨමාලාවට න්‍යායාත්මක දැනුම මෙන් ම ප්‍රායෝගික පුහුණු කිරීමේ වැඩමුළු ද අන්තර්ගතයි. මෙම පාඨමාලාව සමඟ අත්වැල් බැඳගත් ප්‍රවීණයන් රැසක් සිටිනවා

සිනමාව පිළිබඳව ඉගැන්වෙන මෙම දෑ අවුරුදු පාඨමාලාව අවසානයේ ලෝකයේ බිහිවූ සිනමා අධ්‍යක්ෂවරුන් වැනි විශිෂ්ට ගණයේ නිර්මාණ ශිල්පීන් අපටත් බිහිකිරීමට හැකියාවක් ලැබේවි ද?
ලෝක සිනමාවේ අධ්‍යක්ෂවරුන් වෙත අප අවධානය යොමු කරනු ලැබුවහොත් සිනමා පාසල් වලින් බිහි වූ හා සිනමා පාසල්වලට පරිබාහිරව බිහිවූ අධ්‍යක්ෂවරුන් ලෙස අධ්‍යක්ෂවරුන් වර්ග දෙකක් හඳුනාගත හැකියි. ඉන් සිනමා පාසල් තුළින් බිහිවූ අධ්‍යක්ෂවරුන් ලෙස ඉංග්මාර් බර්ග්මාන්, ජෝජ් ලූකස්, ස්ටීවන් ස්පිල්බර්ග්, මාර්ටින් ස්කෝසේසී හඳුන්වාදිය හැකිවන අතර අකිරා කුරසෝවා, සත්‍යජිත් රායි, අබ්බාස් කියරොස්තාමි හා ස්ටැන්ලි කුබ්රික් වැනි අධ්‍යක්ෂවරුන් සිනමා පාසල් අධ්‍යාපනයෙන් පරිබාහිරව සිය හස්ත මුද්‍රාව ලෝක සිනමාව තුළ සනිටුහන් කළ අයයි.
අකිරා කුරසෝවා වෘත්තියෙන් චිත්‍ර ශිල්පියකු වූ අතර සත්‍යජිත් රායි වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයකු ලෙස සේවය කළ අයෙක්. එසේ ම ඉංග්මාර් බර්ග්මාන් සිනමා පාසලක අධ්‍යක්ෂණය හදාරන්නට ගියත් ඔහු සිය අධ්‍යාපනය හමාරවන්නට පෙරාතුව පාසලෙන් ඉවත්වගොස් අධ්‍යක්ෂවරයකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර එවැනි ඉතිහාසයක් ස්ටීවන් ස්පිල්බර්ග්ට ද ඇති බවට ප්‍රකට කරුණක්. මන්ද ස්ටීවන් ස්පිල්බර්ග් සිනමාව පිළිබඳ උපාධිය ලබාගත්තේ ඔහුගේ ‘ෂින්ඩ්ලර් ලිස්ට්’ නමැති චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ඇකඩමි සම්මානය ද දිනාගැනීමෙන් අනතුරුවයි.
එනිසා මින් ධ්වනිත වන යථාර්ථය වන්නේ සිනමා පාසලක අධ්‍යාපනයෙන් පමණක් යමකුට සිනමා අධ්‍යක්ෂවරයකු විය නොහැකි බව වන අතර පන්ති කාමරයෙන් පරිබාහිර අධ්‍යාපනයක් හා සමාජ ගවේෂණයක් සිනමා කරුවකු සතු විය යුතු බවයි. එනිසාම මෙම පාඨමාලාවෙ න් අප පෙරමුණ ගන්නේ සප්ත මහා සාගරය බදු පුළුල් පරාසයක දැනුම් සම්භාරයකින් හෙබි ‘සිනමාව‘ නමැති විශ්ව පරිමාණ විෂය පථයට ශිෂ්‍යයා ඇතුළු කිරීම සහ ඒ තුළ දැනුම සොයන්නට සුදුසු ගවේෂකයකු ලෙසින් ඔහු ආශක්ත කිරීමයි.
එසේ ම සිනමාව නමැති විශ්ව භාෂාව හැදෑරීම සඳහා අවශ්‍ය වූ විනය, ඇල්ම, ක්‍රමෝපාය හා ගවේෂණශීලිත්වය ඔහු තුළ ජනනය කිරීමෙන් එකී පළල් විෂය පථය පිළිබඳ පරිචයක් ලැබීමට සුදුසු සිනමාත්මක දෘෂ්ටිය ඔහු හෝ ඇය තුළට ආදේශී කරවීමයි. ඒ සඳහා එදා මෙදාතුර ලෝක සිනමාවේ නිර්මාණයවූ විශිෂ්ට සිනමා කෘති නැරඹීමට සැලැස්වීමත්, ඒවා රසවිඳීමට හා නැරඹීමෙන් ඔබ්බට ගොස් සිනමා කෘතියක් කියවා අවබෝධ කරගැනීම සඳහා පසුබිම සකස් කිරීමත් මෙම පාඨමාලාව තුළදි අවධානයට ලක්වනවා.
එලෙසම සිනමාවට ඍජුව සේම වක්‍රම සම්බන්ධවන අනෙකුත් විෂය පථයන් පිළිබඳව ද ගවේෂණශීලී මනසක් ඇති කරනු වස් එකී පරිවාර විෂයයන් පිළිබඳව ද මනා හැදෑරීමකට ශිෂ්‍යයා පොළඹවනු ලැබීමත් මෙම පාඨමාලාවෙන් ද්විතීකව සිදුවන කාර්යභාරයක්.
වෛද්‍ය විද්‍යාලයට යන හැම ශිෂ්‍යයෙක් ම කිසියම් දවසක වෛද්‍යවරයෙක් වන ලෙස ම, නීති විද්‍යාලයට යන හැම ශිෂ්‍යයෙක් ම දවසක නීතිඥයෙක් වන ලෙසම සිනමා පාසලකට යන හැම ශිෂ්‍යයෙක් ම දවසක සිනමාකරුවකු වන්නා වූ පසුබිමක් ලොව කොතැනක හෝ ඇත්තේ නැහැ. මන්ද අනෙකුත් විෂය පථයන්ට වඩා සිනමාව හෝ ‘කලාව‘ නැමැති විෂය ක්ෂේත්‍රයේ හැම අතින් ම වෙනස් එකක් වන නිසයි. එසේ වනවා නම් ලෝකය පුරාම වසරකට මෙපමණ සිනමාකරුවන් පිරිසක් බිහිවනවාය යන අනුමානයට අපට කල් තියාම පැමිණිය හැකි වනවා.
මෙය වඩාත් ප්‍රායෝගික ලෙස උදාහරණයකින් දක්වනවා නම් අපගේ ‘හේවුඩ්’ කලායතනයට ඇතුළුවන හැම ශිෂ්‍යයෙක් ම වෘත්තිය චිත්‍ර ශිල්පියෙක්, සංගීතඥයෙක් හෝ මූර්ති ශිල්පියෙක් වන්නේ නැහැ. බහුතරයක් දෙනා ගුරුවරුන් ලෙස පාසල් පද්ධතියට එකතු වන අතර ඉන් ඇතමෙක් අදාළ සහතිකය ළඟ තබාගෙන වෙනත් වෘත්තීන් වල ද නියැළෙනවා. ඉන් හැඟෙන්නේ මෙවන් කලා විෂය ධාරාවන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් ලැබීම එතරම් වැදගත් එකක් නොවන බව නොවේ.
මන්ද මෙකී පාඨමාලාවම ඉලක්ක කරගනිමින් කතා කළොත්, ඇතැම් විට සිනමා අධ්‍යක්ෂණය කේන්ද්‍ර කරගනිමින් මෙය සැලසුම් වී තිබුණත් ඇතැමෙක් මෙය හදාරා ලත් අවබෝධයෙන් ඇතැම් විට රංගන ශිල්පියෙක් විය හැකියි. තවත් අයෙක් තිර රචකයෙක් විය හැකියි. එසේත් නැත්නම් ඒ ලත් තාක්ෂණික හා න්‍යායාත්මක අභ්‍යාසය උපයෝගි කරගනිමින් ලැබූ පන්නරයෙන් විචාරකයෙක් නැතහොත් දක්ෂ සිනමා ලේඛකයකු විය හැකියි.
එසේ ම ඒ කිසිදු අංශයකට යොමු නොවුණු අයෙක් හෝ වෙතොත් ඔහු හොඳ සිනමා රසිකයකු ලෙස සමාජයට එක්වනු ඇති බවයි.
අපගේ විශ්වාසය වන්නේ. යහපත් සිනමා සංස්කෘතියක් ගොඩනැඟීමේලා ඉහත සඳහන් සියලුම භූමිකා සක්‍රියව පැවතීම අතිශය වැදගත් කරුණක්. එවිට තමයි සාමාන්‍ය ජනතාව තුළින් ඉහළ රසඥතාවක් සහිත රසවතුන් පිරිසක් බිහිවන්නේ.
සිනමා පාඨමාලාව සඳහා උනන්දුවක් දක්වන අය මෙයට ඉල්ලුම් කරන්නේ කෙසේද?
මේ වනවිටත් මෙකී පාඨමාලාව සඳහා ලංකාවේ සතර කොනින් විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉල්ලුම්කොට ඇති අතර අපගේ ඉල්ලුම්පත්‍ර කැඳවීමේ දිනය මාර්තු 28 වන දිනය දක්වා දීර්ඝ කර ඇත්තේ අවසාන තෝරාගැනීමේදී නිවැරැදිම විද්‍යාර්ථයින් කණ්ඩායම තෝරා පත් කරගැනීම පහසු වනු පිණිසයි.
එලෙසම අනෙකුත් සිනමා පාඨමාලාවලට වඩා මෙකී පාඨමාලාව තුළ ඇති සුවිශේෂත්වය වන්නේ මෙකී දෙවර්ෂය අවසානයේ පාඨමාලාව හදාරන ලද ශිෂ්‍ය - ශිෂ්‍යාවන් අතුරින් හොඳම සිසුවා (හෝ ඇතැම් විට සිසුන් තිදෙනකු) තෝරාගෙන ඔහු හෝ ඇයට වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම සඳහා අදාළ පසුබිම හා ප්‍රතිපාදන සපයා දෙනු ලබන බැවිනුයි. එලෙසම මෙකී පාඨමාලාවට සම්බන්ධ වන අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් රංගනය, සංස්කරණය, කැමරාකරණය, තිරරචනය හා අනෙකුත් අවශේෂ අංශ සඳහා ද දක්ෂතා දක්වන සිසු සිසුවියන් එකී චිත්‍රපටයට දායක කරගන්නා අතර පාඨමාලාව අවසානයේ ඔවුන් සියලු දෙනාම වෘත්තීය මට්ටමේ ශිල්පීන් බවට පත්කොට සිනමා ක්ෂේත්‍රයට සජීවීව සම්බන්ධ කිරීමට එමඟින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව දැනුම් දෙන්නට සතුටුයි.
එනිසා මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති එහෙත් තවම අප පාඨමාලාව සඳහා ඔබ ඉල්ලුම් පත්‍රයක් යොමු නොකළ අයෙක් වේ නම්, නොපමාව තමා පිළිබඳ මූලික විස්තර ඇතුළත් අයදුම්පත්‍රයක් ආයතනය වෙත යොමු කිරීම සඳහා මෙහි ලිපිනය සඳහන් කරන්නම්.
සිනමා අධ්‍යක්ෂණ ඩිප්ලෝමා දෑ අවුරුදු පාඨමාලාව,
ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය (SLTTI)
100 ඒ, පදනම් මාවත,
කොළඹ 07.



About the Author

Posted by gossip lanka live on 9:28 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:28 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "සිනමා පාසලකට යන හැම සිසුවකුටම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වීමේ පසුබිමක් නෑ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.