Published On:
Posted by gossip lanka live

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා අවසන් සටන අද ඇරැඹෙයි

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ආරම්භ කරමින් අද (24දා) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 8.50ට බ්‍රිස්බේන් හිදී තරග වදිති.
මූලික වටයේදී තරග 4 බැගින් ජයගත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් මහ තරග තුන සඳහා සුදුසුකම් ලැබූ අතර, අවසන් සටනට පිවිසීමට ඕස්ට්‍රේලියාව පසුගිය සිකුරාදා පැරදවීමේ අභියෝගය ජය ගත් ශ්‍රී ලංකාව එම තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කළේය.මෙවර තරගාවලියේදී කණ්ඩායම් තුනෙන්ම සම දක්ෂතා මතුවීම විශේෂ සිදුවීමක් වන අතර, ජය පරාජය දෝලනය වෙමින් අවසානයේ තියුණු තරගාවලියක් බවට පත්වීම විශේෂ සිදුවීමකි.
ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර මූලික වටයේ තරග 4න් 3ක ජය ශ්‍රී ලංකාවට හිමිවී තිබිම නිසා අද යහපත් මානසික තත්ත්ව-යකින් සටනට පිවිසීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදාවී තිබේ.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ඒ අතුරින් දිනේෂ් චන්දිමාල්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
මෙවර මූලික වටයේ තරග 8දී ලකුණු 383ක් ලබමින් 63.83ක සාමාන්‍යයක් රඳවා ගත් චන්දිමාල්ගේ විශිෂ්ට පිතිහරඹය ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසීමට ප්‍රබල සාධකයක් බවට පත් විය.
සෙසු පිතිකරුවන් අතුරින් මහේල ජයවර්ධන (ලකුණු 297), ටී.එම්. ඩිල්ෂාන් (ලකුණු 372), ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 206), කුමාර් සංගක්කාර (ලකුණු 308), ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය යුතුකම් කොටස ඉටු කිරීමට සමත් වූ පිතිකරුවෝ වූහ.
මුල් තරග කිහිපයේදී අසාර්ථක වූ සංගක්කාරගේ මූලික වටයේ අවසන් තරග දෙකේදී ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින් යළිත් ලකුණු අතරට පිවිසී සිටීම ශ්‍රී ලංකාවට සතුටුදායක තත්ත්වයක් විය.
මෙවර තරගාවලියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ටී.එම්. ඩිල්ෂාන් ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 160ක් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය. එහිදී සංගා සහ ඩිල්ෂාන් ශතක වාර්තා කරමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200ක සම්බන්ධතාවයක් පිහිටුවීමද කැපී පෙනුණි.
උපුල් තරංග අසාර්ථක වීමෙන් ආරම්භක පිතිකරු ස්ථානයට පිවිසි මහේල ජයවර්ධන සියලුම තරගවලදී සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත් අවසන් තරගයේදී දුවද්දී දැවී යාමකට හසුවීම නිසා ප්‍රථම වරට අසාර්ථක වීමට ඔහුට සිදු විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ද මෙවර තරගාවලියේදී තම හැකියාව පෙන්වූ අතර, මාලිංග, තිසර, මැතිව්ස් සහ කුලසේකර සෙසු කණ්ඩායම්වලට තර්ජන-යක් විය.
ලසිත් මාලිංග මෙම තරගාවලියේදී ඉන්දීය පිතිකරු-වන් වෙතින් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර, ඔහුගේ දුර්වලම පන්දු යැවීම වාර්තා වූ ඉන්දීය තරගයේ පන්දුවාර 7.4දී ලකුණු 96ක් ලබා දී තිබුණි. එම දුර්වල පන්දු යැවීම නිසා ඉන්දියාවට ප්‍රසාද ලකුණද හිමි වී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවන තත්ත්වයක් ඇති වූ නමුත් ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාව සමඟ තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම නිසා ශ්‍රී ලංකාව එම අභියෝගය ජය ගත්තේය.
ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ද තරගාවලියේදී සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කිරීමට දායකත්වය සැපයීය.
නායකයෙකු ලෙස මහේල ජයවර්ධන මෙවර තරගාවලිය පුරාම විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ අතර ඉන්දියාව ලකුණු 322ක් හඹාගොස් පරාජය වූ තරගයේදී පන්දු යවන්නන් යෙදවූ ආකාරය පමණක් විවේචනයට ලක්විය. එහිදී මාලිංගට ප්‍රහාර එල්ල වෙද්දී දිගින් දිගටම ඔහු යෙදවීම දුර්වල තීරණයක් විය.
ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අතුරින් මෙවර තරගාවලියේදී සාර්ථකත්වයට පත්වූයේ ඩේවිඩ් හසී සහ පීටර් ෆොරස්ට් පමණි.
මෙහිදී සෑම තරගයකදීම තම යුතුකම් කොටස ඉටු කළ ඩේවිඩ් හසී සහ පීටර් ෆොරස්ට් තම පිල සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වූහ.
මෙම තරගාවලියේදී කණ්ඩා-යමට එක්වූ නවක පීටර් ෆොරස්ට් ශතකයක්ද සමගින් පිත්තෙන් දස්කම් දක්වා ඇති බැවින් අවසන් තරගවලදී ඔහුගෙන් විශිෂ්ට පිතිහරඹයක් ඕස්ට්‍රේලියාව බලා‍පොරොත්තු වෙයි.
නායක ක්ලාක් ආබාධයකට ගොදුරු වී සිටීමත්, ෂේන් වොට්සන් ආබාධයකින් පසු නැවත පැමිණී සිටින බැවින් ඔහු ලකුණු අතර නොසිටීමද ඕස්ට්‍රේලියාවට ප්‍රශ්නකාරී තත්ත්වයක් වී තිබේ.
ඩේවිඩ් හසී ලකුණු අතර සිටියද මයිකල් හසී, ඩේවිඩ් වෝනර් සුපුරුදු රිද්මයට නොසිටීම ප්‍රශ්නයක් වී තිබේ. එහෙත් මැතිව් වේඩ් ලකුණු අතර සිටීම ඕස්ට්‍රේලියාවට සැනසිලිදායක තත්ත්වයකි.
ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් මෙවර තරගාවලිය පුරාම දස්කම් දැක්වූ අතර ක්ලින්ට් මැකේ, බෙන් හිල්ෆන්-හාස්, ෂේවියර් ඩෝර්ටි සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු ලබා ගැනීමට සමත් වූහ.
අවසන් තරගයේදී කණ්ඩා-යමට එක්වූ ජේම්ස් පැටින්සන් එම තරගයේදී ලකුණු 51ට කඩුලු 4ක් බිඳ දමමින් තම හැකියාව පෙන්වීමට සමත් වූ අතර, ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු ත්‍රිත්වයක්ද සමගින් කඩුලු 5ක් බිඳ හෙලීය.
කෙසේ වෙතත් ආබාධ සහ පිතිකරුවන් ලකුණු අතර නොසිටීම හේතුවෙන් අද තරගයේදී තියුණු සටනක් දීමට ඕස්ට්‍රේලියාවට සිදුවනු නියතය.
මතෛක් පවත්වා ඇති තුන්කොන් තරගාවලි 31ක් අතුරින් 18 වරක් ශූරතා දිනා ගැනීමට ඕස්ට්්‍රලියාව සමත් වී සිටින නමුත්, ශ්‍රී ලංකාව තවමත් ශූරතාව දිනා නොමැත.
ශ්‍රී ලංකාව දෙවරක් අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබා තිබෙන නමුත් එම අවස්ථා දෙකේදීම පරාජය හිමි විය.
1995-96 තරගාවලියේදී අර්ජුන රණතුංගගේ නායකත්ව-යෙන් යුත් ශ්‍රී ලංකා පිල අවසන් මහ තරගවලට සහභාගි වී මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු පිලට තරග 2-0කින් පරාජය විය.
2005-06 තරගාවලියේදී මාවන් අතපත්තුගේ නායකත්ව-යෙන් යුත් ශ්‍රී ලංකා පිල රිකී ‍පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියාවට තරග 2-1කින් පරාජය වී තිබේ.
කෙසේ වුවද ශ්‍රී ලංකාව මතෛක් දිනා නොමැති ඕස්ට්‍රේලියානු තුන්කොන් ශූරතාව දිනා ගැනීමට අවසන් තරගාවලියේදී ප්‍රබල සටනක් දියත් කර ඇති අතර, ඕස්ට්‍රේලියාවද තම රටේදී තම අභිමානය රැක ගැනීමට අද තියුණු සටනක් දෙනු ඇත.

About the Author

Posted by gossip lanka live on 9:53 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:53 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා අවසන් සටන අද ඇරැඹෙයි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.