Published On:
Posted by gossip lanka live
‘මේ නොනිමෙන දිවි ගමනේ’ ලියූ තිස්ස ඩයස්ට සම්මානයක්
‘මේ නොනිමෙන දිවි ගමනේ’ ලියූ තිස්ස ඩයස්ට සම්මානයක්
“මේ නොනිමෙන දිවි ගමනේ... නිවනේ මඟ පෙනෙන තුරා...”
“ගීත රචකයකු විදිහට බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නේ 1984 වසරේ කියලයි මට හිතෙන්නේ. ඔය වෙනකොට මගේ අම්මා ජීවතුන් අතර හිටියේ නැහැ. ඒ ශෝකයට මගේ අතින් ලියැවුණ ගීතය තමයි. ‘මේ නොනිමෙන දිවි ගමනේ’ කියන ගීතය. ඇත්තටම මට ඕන වුණා මේ ගීතය ජෝතිපාලයන් ලවා ගායනා කරවන්න. දැඩි පරිශ්‍රමයක් දරලා ඒ දේ මම සැබෑ කරගත්තා. ඇත්තටම ජෝතිපාල මේ ගීතය ගායනා කළ පසුවයි බොහෝ දෙනෙක් අතර මම ජනප්‍රිය වුණේ. ඉන්පසුව මගේ අත්දැකීම් එකතු කරගෙන වගේ ම මගේ සංකල්ප මත ගීත රැසක් නිර්මාණය කළා.
ඒ අතර ජෝතිපාලයන් ගැයූ ‘පුංචි දෝණි තරහාවෙලා.” ‘දහදුක් වින්දේ’ වැනි ගීත බොහෝ ජනප්‍රිය වුණා. ඇත්තටම ගීත රචකයකු විදිහට මම මේ වෙනකොට ප්‍රවීණ මෙන් ම නවක ගායක ගායිකාවන් රැසකට ගීත එක්දහස් පන්සීයක් විතර රචනා කරලා තිබෙනවා. ඒ කාලේ මට මතකයි ජෝතිපාලට බොහෝ දෙනෙක් කිව්වේ ‘පීචං’ ගායකයා කියලා. හැබැයි මේ ගීත ගායනයත් එක්ක ඔහු ප්‍රබුද්ධ කියන තලයට ආවා කියලා මට හිතෙනවා.
ඇත්තටම ජෝතිපාලයන් හරහා මගේ කලා දිවියට ආලෝකය ලැබුණා වගේ ම මා හරහාත් ඔහුගේ ගායන දිවියට ආලෝකයක් එක් වුණා කියලා මට හිතෙනවා. ඒ කාලේ ජෝතිපාල සංගීත ප්‍රසංගයකට එනවා කියලා ආරංචිය ලැබුණාම කොහොම හරි මම යනවා ඒ ප්‍රසංගය බලන්න. මට මතකයි මිරිහානේ පැඟිරිවත්තේ තිබුණු ප්‍රසංගයකට ජෝති අයියා ආවා. විශාල ජනකායක් හිටියා. මම හිතුවා අද නම් වචනයක් හරි කතා කරනවා කියලා. එදා ඇති වුණ බැඳීම ඔහු මිය යනකම්ම අවුරුදු 9 ක් විතර තිස්සේ අපි අතර තිබුණා. අදටත් ඔහුගේ සොහොන් කොතේ පවා තියෙන්නේ මා ලියූ ගීත.
මුලින් ම මගේ ගමන ආරම්භ වෙන්නේ ලේක්හවුස් ආයතනයෙන්මයි. ‘ජනතා’ පුවත්පතේ මම ඒ කාලේ ලේඛකයකු විදිහට වැඩ කළා. ඒ 1978 අවුරුද්දේ විතර. නමුත් මම කලාවට නැඹුරු වුණේ පාසල් කාලේ දීමයි. මම පාසල් ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. ජයලාල් රෝහණ හිටියේ මට පහළ පන්තියේ. පාසල් යන කාලේදීම මම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවුණා. ‘විසේ උසේ ගෙටත් උසේ’ නාට්‍යය විනී රන්වල තමයි නිෂ්පාදනය කළේ. එතැනින් පටන් ගත් මම 1979 ‘සක්යම’ කියන වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළා.
ඉන්පසුව මම රංගන ශිල්පියෙකු ලෙසත් මගේ දායකත්වය වේදිකාවට වගේ ම බොහෝ නිර්මාණවලට ලබාදුන්නා. මේ දවස්වල සිරස ටී.වී ඔස්සේ විකාශනය වන ‘සිරිවාසල’ ටෙලිනාට්‍යයේ ‘මාකලන්ද’ කියන චරිතයත් බොහෝ ජනප්‍රියයි. ඒ වගේ ම ප්‍රසංග වේදිකාවෙත් අද ගායකයකු විදිහටත් මට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. බොහෝ වේලාවට මගෙන් ඉල්ලන්නේ ජෝතිපාලගේ ගීත ගායනා කරන්න කියලයි.
| වමේ සිට - රංජිත් පීරිස් මහතා තිස්ස ඩයස් සම්මානය අතැතිව, උපාලි රංජිත් මහතා, පී. ඒ. කරුණාපාල අනුස්මරණ කලා පදනමේ සභාපති මනෝජ් ආරච්චිගේ මහතා |
“ඇත්තටම මම කලාව වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙක්. යුද්ධය පැවැති වකවානුවල මායිම් ගම්මානවලට ගිහින් එහේ විවිධ ප්‍රසංග පැවැත්වූවා. ඒ අයගේ මානසික මට්ටම හැදුවා. ඒත් අද වෙනකම් මට කිසිම ඇගයීමක් ලැබිලා නැහැ. ඒත් පසුගියදා පී.ඒ. කරුණාපාල අනුස්මරණ කලා පදනම මගින් ‘ශ්‍රී අභිමානි’ සම්මානයෙන් මම පිදුම් ලැබුවා.
ඇත්තටම ඒ ගැන මම නිහතමානිව සතුටු වෙනවා. ඒ ගැන මම මේ පදනමේ සභාපති මනෝජ් ආරච්චිගේට කෘතගුණ වෙන්න ඕන. එදා වගේ ම අදටත් මම කලාව තුළ ක්‍රියාශීලියි. මගේ පුතා වගේ ම බිරිය ශ්‍යාමලී කලාවට ළැදියි. මේ සියලු දෙනාගේ ශක්තිය තුළ අද මේ ආව ගමන ගැන ලොකු සතුටක් මා තුළ තියෙන්නේ.
වසන්ත ජයසිංහ ආරච්චිගේ
