Published On:
Posted by gossip lanka live

අපේ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව ඩිල්හාරා

අපේ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව ඩිල්හාරා


ලොව මහා ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උලෙළ සඳහා තව ඇත්තේ ඉතා අල්ප දින ගණනකි. ඩන්කන් වයිට් ගෙන් පසු ඔලිම්පික් පදක්කමක් යන්න සිහිනයක්ව තිබුණු නමුත් ඒ සිහිනය සැබෑ කරන්නට හැකිවුණේ සුසන්තිකාට පමණයි.
‘සුසී’ කෙටි දුර රිදී පදක්කම අපේ ලක් මාතාවගේ ගෙල පැලැන්දුවේ එම හපන්කම කළ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වෙමින්.
එදා මෙදා තුර අපේ ක්‍රීඩා ඉතිහාසයේ එම හපන්කම කරන්නට කිසිවකු හෝ සමත්ව නොතිබීමත් විශේෂත්වයක්.
අද මේ සටහන හෙට දිනයේ අපේ ලක්මවගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරගන්නට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රීඩාවේ නියැළෙන තවත් එක් දිරිය ක්‍රීඩිකාවක් ගැනයි.
ඇය නමින් ඩිල්හාරා සල්ගාදු. ලංකාවේ අංක 01 දුනු විදීමේ ශූරිය ඇයයි. මේ වන විට ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවා ගොස් සිටින ඩිල්හාරා එළඹෙන ඔලිම්පික් උලෙළේ අපේ රටේ පදක්කම් බලාපොරොත්තුවයි.
Fita (Fedaration International Target Association)  ශ්‍රේණිගත කිරීමට අනුව පසුවන්නේ ලෝකයේ 57 වැනි ස්ථානයේ.
ලලිත් සල්ගාදු සහ ප්‍රසන්ති සල්ගාදු යුවළට දාව මොරටුවේ උපන් ඩිල්හාරා ශිල්ප හැදෑරුවේ කොළඹ මෙතෝදිස්ත විදුහලෙන්. කුඩා කල පටන්ම ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ ඩිල්හාරා පාසලේදී ටෙනිස්, දුර දිවීම, නෙට්බෝල්, යගුලිය, කවපෙත්ත වැනි ක්‍රීඩාවන්හි නිරත වුණු අතර මලල ක්‍රීඩිකාවක් ලෙස ජනපි‍්‍රය වූවාය.
එහෙත් මේ වන විට ඇය ලංකාවේ අංක එකේ දුනු විදීමේ ශූරිය වන අතර, අපේ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව වී සිටී. එය සැබැවින්ම අපූර්ව කතාවකි. ඩිල්හාරා පසුගියදා ‘රසඳුන’ කර්තෘ මණ්ඩලයට පැමිණ ඒ පිළිබඳව කළ හෙළිදරව්වයි මේ.
“මම මලල ක්‍රීඩිකාවක් විදිහට පාසලේ දී විවිධ තරගවලට යොමු වුණා. කලාප මට්ටමින් පාසල නියෝජනය කරල ජයග්‍රහණ පවා ලබාගත්තා. ඒත් මගේ හිතේ දුනු විදීම ගැන පුංචි කාලයේ ඉඳලම ආසාවක් තිබුණා.
92 අවුරුද්දේ බාසිලෝනා ඔලිම්පික් උලෙළේ පහන පත්තු කළේ ගිනි ඊතලයක් දුන්නෙන් විදලා. මේ සිද්ධිය මගේ හිතේ තදින්ම කා වැදුණා.
එදා ඉඳල මට ඕන වුණේ දුනු විදීම ඉගෙන ගන්න. මගේ අම්මා රූපලාවණ්‍ය ශිල්පිනියක්. මම කළුවෙයි කියන බයට මම ක්‍රීඩා පැත්තටම යොමු වෙනවට අම්මා එතරම් කැමැත්තක් දැක්වූවේ නෑ. ඒත් මුලදී විරුද්ධ වුණත් මගේ හිතේ තිබුණු ආසාව ඉෂ්ට කරගන්න අම්මා මට උදව් කළා.
අන්තර් ජාලයේ යූ ටියුබ් එකෙන් කොරියන් ක්‍රීඩකයින් දුනු විදින විදිහ බලලා, ඒ සම්බන්ධ ලියැවුණු පොත් බලලා මම දුනු විදීම පුහුණු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා දුනු විදීමේ ක්‍රීඩා සමාජයට ඇතුළත් වුණා.”
හිතේ තිබුණු දැඩි ආශාව නිසාම ගතේ සවිය තව තවත් වැඩි දියුණු කරගත් ඇය ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව තරග වැදෙමින් ලබාගත් ජයග්‍රහණ විශ්මයජනකයි. අපි අහමු ඒ ගැනත්.
“2004 වසරේ තමයි මම දුනු විදීම ආරම්භ කළේ. ක්ලබ් එකට බැඳිලා දවස් තුනෙන් මීටර් 18 තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගත්තා. මාසයක පුහුණුවෙන් පස්සෙ මීටර් 30 ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තා.
2005 වසරේ ජාතික දුනු විදීමේ ශූරතාවලියේදී ජාතික ශූරිය වෙන්න මට හැකිවුණා. ඒ නිසා මාව ජාතික කණ්ඩායමට තෝරා ගත්තා.
2007 වසරේ ජාතික ශූරිය වුණා. 2008 වසරේ බීජිං ඔලිම්පික් උලෙළ නියෝජනය කරන්න තිබුණු අවස්ථාව අහිමි වුණේ ලකුණු 3 කින්.”
වීඩියෝ දර්ශන සහ අන්තර්ජාලය පරිහරණය කරමින් ස්වෝත්සාහයෙන් දුනු ශිල්පය ප්‍රගුණ කරමින් ජාතික ශූරිය තෙක් ඇය පැමිණි ගමන්මඟේ සුවිශේෂී වෙනසක් වන්නේ කොරියන් ජාතික (Kyoung Su Jeong) ‘නාමල් මාස්ටර්’ගෙන් පුහුණු වීම ආරම්භ කළ පසුයි.
“නාමල් මාස්ටර් ගෙන් පුහුණුවීම ආරම්භ කළාට පස්සෙ මගේ හැකියාව තව තවත් වැඩි වනවා මට දැනුණා. ඔහු මගේ විදින ආකාරයේ තිබු වැරැදි අඩුපාඩු හැදුවා.
ඉන්පස්සේ අද දක්වාම සෑම වසරකම ජාතික ශූරතාව දිනාගත්තෙ මම. ඒ වගේම 2010 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ 4 වැනි ස්ථානයට පත්වුණා.”
2011 ජූලි 02 වැනිදා ඉතාලියේ පැවැත්වුණු ලෝක දුනු විදීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වූයේ ද ඇයයි.
එම තරගාවලියේදී ඩිල්හාරා සුවිශේෂී දස්කම් දැක්වූ අතර ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවා යාමට සමත් වුණා.
“ඔලිම්පික් පරිසාධක මට්ටම 600. මම පීටා (Fita) වටයේ ලකුණු 1289 ක් අරගත්තා. ඒ අනුව මීටර් 60 දුර (Fita) ලෝක ශ්‍රේණිගත කිරීම අනුව මම 57 ස්ථානයේ හිටියෙ. මම 328 ක් විද තිබුණා. ඒත් මම අත්සන් කරල තිබුණෙ 318 ක් ලෙස. මේ නිසා මට ලකුණු 10 ක් අඩුවුණා. 1279 ක් විදිහට. ලෝක තත්ත්වය 70 දක්වා පහළ ගියා. ඒත් මට ඔලිම්පික් යන්න අවස්ථාව තියෙනවා. මට අවශ්‍ය කොහොමහරි මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මගේ රට වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගේන්න.”
සැබැවින්ම ඇගේ උත්සාහය, අධිෂ්ඨානය පැසසුම් කටයුතුයි. ඒ සඳහා මුළු රටම ඇයට ආශීර්වාද කරනු නිසැකයි.
“මම මේ තත්ත්වයට ආවෙ පුදුමාකාර කැපකිරීමක් කරලා. මේ ඊතලයක් රුපියල් 4000 ක් 5000 ක් විතර මිල වෙනවා. ෆීටා වටවල මීටර් 30, 50, 60 සහ 70 ලෙස තමයි දුර තියෙන්නෙ. ඔලිම්පික් වටයේ දුර මීටර් 70 ක්. මේ එක දුරකට ඊතල හය බැගින් 36 ක් විදින්න ඕන. ඒ කියන්නෙ එක දුරකට ඊතල 36 ක් ගහන්න ඕන. ඒ වගේ රවුම් හතරක්. ඊතල 144 ක්. ශ්‍රේණිගත කිරීම් තීරණය වන්නේ මේ ඊතල ඉලක්කයට විදින තැන අනුව ලැබෙන ලකුණු අනුවයි.
ඊතල විදිනකොට එකින් එක එක දිගටම විදින්න ඕන. ඒ වෙලාවට ඊතල එක උඩ එක වදිනවා. එතකොට ඉක්මනින්ම ඒවා ඩැමේජ් වෙනවා.
අනිත් එක අපට ලොකු අඩුවක් තියෙන්නෙ පුහුණුව සඳහා ක්‍රීඩා පිටියක් නැතිකමයි. දැනට අපි පුහුණුවීම් කරන්නෙ BMICH එකේ බිමේ.”
ඇය රූමත් යුවතියක්. මව රූපලාවණ්‍ය ශිල්පිනියක්. මේ වගේ වෙහෙසකර කාර්යයක නිරත නොවී රූපලාවණ්‍ය ශිල්පිනියක් වූවානම්.
“ඇත්තෙන්ම අම්මාට ඕන වුණේ මාව බියුටීෂියන් කෙනෙක් කරන්න. ඒ ගැන මම පුහුණුවක් පවා ලබල තියෙනවා. මේ නිසා මුලින් අම්මා විරුද්ධ වුණා. ඒත් පස්සෙ මගේ හැකියාවන් දැක්කට පස්සෙ දුක යටපත් කරගෙන මට අත දුන්නා. අද මම ගොඩක් සතුටු වනවා. මට අවශ්‍ය ඔලිම්පික් පදක්කමක් මගේ රටට ගේන්න. ඒ සඳහා මම මගේ උපරීමයෙන් ක්‍රීඩා කරනවා.”


About the Author

Posted by gossip lanka live on 9:33 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:33 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "අපේ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව ඩිල්හාරා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.