Beloved actor Anton Jude dies ඇන්ටන් ජූඩ් ජීවිත රඟමඬලෙන් සමුගනී
ඇන්ටන් ජූඩ් ප්‍රථමයෙන්ම වේදිකාවට පය තබන්නේ 1978 වසරේදී. ඉන්පසු ඔහු 1984 වසරේදී ‘ශ්‍රීමතී’ ලියනගේ අධ්‍යක්ෂණය කළ පුංචිරාළ ටෙලි නාට්‍ය තුළින් පුංචි තිරයට මෙන්ම සිනමාවටද ප්‍රවේශ වූවා. ජූඩ් බොහෝ දුර ගමන් කළ නළුවෙක්. ඔහු ඉතා විශිෂ්ට අයුරින් ප්‍රේක්ෂකයින්ව සිනහා සයුරේ ගිල්වීමට සමත් විශිෂ්ට ගණයේ නළුවෙක්.
ජූඩ්ගේ නික්මයාම ඇසූ මොහොතේ අප ඔහුගේ සොඳුරු නිවස වෙත ගොඩ වැදුණා. මුලින්ම අප හා කතා බහට එක් වූයේ ජූඩ්ගේ දෙවන නංගී වන ‘රුවිනා ගෝමස්’ “අයියා රූපගත කිරීමකට ගිහිල්ලයි හිටියේ.
ඊයේ රෑ නුවර යන්න යනකොට අයියට අසනීපවෙලා රාගම රෝහලට ඇතුළු කරා කියලා අපිට පණිවුඩයක් ආවා. අයියගේ පපුවේ අමාරුවක් නිසා තමයි රෝහල් ගත කරලා තියෙන්නේ. මීට පෙර පසුගිය වසරේ ජනවාරි මාසේ හෘදයාබාධයක් හැදුණා. ඊට පස්සේ අයියට ශල්‍ය කර්මයක් කරා. එකෙන් පස්සේ කිසිම අසනීපයක් තිබුණේ නැහැ. පසුගිය 11 වනදා ජයසිංහ රඟහලේ තිබුණ ‘සකිසඳ මඩල’ නාට්‍යයත් කරලා ඉවරවෙලා තමයි මේ රූපගත කිරීමට සහභාගි වුණේ. අපිට හිතාගන්නවත් බැහැ මෙහෙම දෙයක් වීම ගැන. අයියා හරිම හොඳයි. හැමෝටම උදව් උපකාර කරනවා. හැමෝත් එක්කම හරිම සහයෝගයෙන් කටයුතු කරනවා” ඇය කඳුළු සලමින් අප හා පැවැසුවා. ඒ වගේම ඇන්ටන් ජූඩ්ගේ බාල නැගනියගේ දියණිය වන ශෙරීන් බණ්ඩාර මෙසේ පැවැසුවා. “මාමා ‘වීර්යා’ රූපගත කිරීමට ගිහිල්ලයි හිටියේ. මේක හීනයක් වගෙයි. මාමා පොඩි ළමයින්ට හරිම ආදරෙයි. අපි හැමෝටම හරියට උදව් කරනවා. හරිම නිහතමානියි. මාමා නැති වුණ එක අපිට හරිම වේදනාවක්.”
ජූඩ් සමග අවසන් ටෙලිනාට්‍යයේ එකට රඟපෑ ජගත් චමිල ජූඩ් සම්බන්ධයෙන් පැවැසීමට අප හා එක් වූයේ මේ අන්දමිනි.
“අපි හැමෝම ඉතාමත් සතුටෙන් විනෝදයෙන් ‘වීර්යා’ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙමිනුයි හිටියේ. එම චිත්‍රපටයේ ‘ජූඩ් අයියා කරන්නේ ‘ගනේෂ්’ කියන දෙමළ චරිතයයි. එයා ඒ චරිතය කරලා ඉවරවෙලා පුටුවකට හේත්තුවෙලා හිටියා. අපි හිතුවා ටිකක් විවේක ගන්නවා ඇති කියලා. නමුත් ටික වෙලාවක් යනකං කතා නොකළ නිසා කට්ටිය හොයලා බැලුවා. බලනකොට ඔහු අපිව හැරගිහින්” ජගත් පවසන ආකාරයට ඔහු ඉතා හිතහොඳ පුද්ගලයෙක්. ඒ වගේම තමයි ඔහු හොඳ කලාකරුවෙක් කියලා කට පුරාම කියන්න පුළුවන් බවයි ජගත් අප හා පැවැසුවේ.
“ජූඩ් අවසන්වතාවට දර්ශනයක් රඟපෑමට එක්වෙලා තියෙන්නේ ශ්‍රියානි අමරසේන සමග. ඇයද අප හා ඇයගේ අත්දැකීම් විස්තර කළා. ‘අරුණ වීරසිරිගේ ‘වීර්යා’ චිත්‍රපටයේ අරුණගේ ගෙදරමයි අපි රූපගත කිරීම් කරමින් හිටියේ. අපි දවස් 5ක් විතර මේ ගෙදර නැවතිලා ඉඳගෙන රූපගත කිරීම් කළා. හැමදාම රූපගත කිරීම් කරලා ඉවරවෙලා රෑට හරිම විනෝද ජනක දේවල් කරනවා. ගොඩාක් වෙලාවට ජූඩ් ඉස්සරකාලේ චිත්‍රපටවල ගී ගයමින් ඒවායේ ගීතවලට නටමින් අපි හැමෝවම සතුටු සාගරේ ගිල්වනවා. ඒ ගෙවිච්ච දවස් පහම හරිම සතුටෙන් විනෝදයෙන් අපි හැමෝම හිටියේ. ජූඩ්ගේ මේ නැටුම්වලට වගේම ගායනයට රොඩ්නි, කුමාර තිරිමාදුර වගේ කට්ටියත් එකතුවෙනවා. ඇත්තටම මට හිතා ගන්නත් බැහැ මේ වගේ දෙයක් වුණා කියලා. අපි අන්තිම දවසේ රූපගත කිරීම් කළේ මඟුල් ගෙදර දර්ශනයක්. ඒ රූප රාමුවලදී ජූඩ් මට හොඳ සහයෝගයක් දුන්නා.
මේ වතාව තමයි ඇන්ටන් ජූඩ් මාත් එක්ක ඉතා ළඟින්ම රඟපාපු අවස්ථාව. මීට පෙර මට එයා එක්ක මේතරම් ළඟින් රඟපාන්න චරිතයක් ලැබුණේ නැහැ. මේ චිත්‍රපටයේ මම වලව්වක ඉන්න කෙනෙක් විදිහට රඟපානවා. ජූඩ් තමයි මගේ සේවකයා විදිහට රඟපෑවේ. දවසෙම මංගල දර්ශනයක් රඟපාලා හවස් වෙනකොට අවමංගල්‍යයක් අහන්න සිදුවීම ෙදෙවෝපගත සිදුවීමක්. ඒ වගේම තමයි ජූඩ් මාත් එක්ක ගොඩාක් දේවල් කතා කළා. ඔහු ගිය විදේශ සංචාර ගැන වගේම රඟපෑ එක එක චරිත ගැනත් කථා කළා. එදා හවස අපි හරිම සතුටෙන් හිටියේ. ඊයේ රෑ (19 වෙනිදා) අපි නුවර ෂූටින් එකකට යන්න ලෑස්තිවෙලා හිටියේ. අපි යන්න ලෑස්තිවෙලා බලනකොට ජූඩ්ට පුටුව උඩ නින්ද ගිහින් තිබුණා. කට්ටිය හිතුවේ නිදි කියලා. කතා කළා. කතා කරන්නේ නැති නිසා මූණට වතුරත් ඉහළ බැලුවා. ඊට පස්සේ අපි කට්ටියම එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඒ ගෙනිච්චවෙලේ වෛද්‍යවරු ගොඩාක් මහන්සි වුණා ආයේමත් ජූඩ්ව යථා තත්ත්වයට ගේන්න. නමුත් ඔහු අපිව හැර ගිහින් තිබුණා.”
ඇන්ටන් ජූඩ්ගේ ගජ මිත්‍රයෙක් වන රොඩ්නි වර්ණකුල මේ ශෝකජනක මරණය ගැන අදහස් දැක් වූයේ මෙහෙමයි.
“ඊයේ අපි නුවර යන්න හිටියේ ෂූටින් වගයක් කරන්න කියලා. අපේ කට්ටිය කැමරා බඩු හා වෙනත් අවශ්‍ය දේවල් වාහනවලට දානකං අපි ඉන්නකොට ජූඩ් ඇවිත් ‘ළසඳා’ චිත්‍රපටයේ පේරඩී සිල්වා ගායනා කරන ‘ජරමර අස්සේ මං’ කියන සිංදුව කිව්වා. අපි හරිම සතුටෙන් ඒක රසවින්දා. ඊට පස්සේ එයා ගිහින් පුටුවක හාන්සිවෙලා හිටියා. අපි ඉතින් ඔක්කොම බඩු වාහනයට පටවනකං ඉඳලා යන්න නැගිටලා ‘නැගිටපං වාහනේ ඇවිත්’ කියලා කතා කළා. ඒත් ජූඩ් කතා කළේ නැහැ. අපිට හිතුණා එයාට මොකක් හරි කරදරයක් වෙලා ඇති කියලා. අපි කට්ටියම ඉක්මනින්ම ඔහුව රෝහල් ගත කළා. මේ වගේ හිත හොඳ දක්ෂ මිතුරෙකු නැතිවීම හරිම දුකක්. ඒ වගේම මුළු කලා ලෝකයටම ලොකු පාඩුවක්’
