Published On:
Posted by gossip lanka live
ආසියාවේ ආශ්චර්ය සහ පුංචි කැබිනට් එක

නව ඇමැතිවරුන්ගේ දිවුරුම් දීමත් සමඟම ඊට පෙර පැවැති සද්ධන්ත ඇමැති මණ්ඩලයේ අඩුවීමක් දක්නට ලැබුණා. එය මේ මැතිවරණයෙන් පසු ජනතාව බලාපොරොත්තු වූවක්.
මැතිවරණ පොරොන්දුවක්. ආණ්ඩුව එම බලාපොරොත්තුව හා පොරාන්දුව ඉටුකර තිබෙනවා.
සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණ පොරොන්දු කාපූ බීපු වෙලාවට කියන කරන දේවල් වගේ කියලයි සමහරු කියන්නේ. එහෙත් 2004 න් පසු එම පසුබිමේ යම් වෙනසක් දක්නට ලැබුණා.
යුද්ධය අවසන් කර රටට සාමය ගෙන ඒම එදා ජනතාව හමුවේ තැබූ එවන් ප්‍රබල පොරොන්දුවක්. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ අකුරටම ඉටු කළා. තිස් වසරක යුද්ධය අවසන් කළා. සාමය ගෙනාවා.
යුද්ධය සමඟ සංවර්ධනය එකවර ඉටුකර නොහැකියි කිව්වා. ඒකත් කරලා පෙන්නුවා. මේ නිසා දශක ගණනාවකට පස්සේ රටේ යටිතල පහසුකම් ව්‍යුහය වෙනස් වෙමින් තිබෙනවා.
මේ මැතිවරණයේ දී ප්‍රකාශ කෙළේ සංවර්ධනය වේගවත් කරන බවයි. ආසියාවේ ආශ්චර්යමත් රාජ්‍යය ශ්‍රී ලංකාවේ ගොඩ නගන බවයි. එම කාර්ය කුඩා කැබිනට් මණ්ඩලයකින් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
මීට ඉහත දි පැවැති කැබිනට් මණ්ඩලය වැඩි කිරීමට සිදු වූයේ 2004 ලැබුණු ආණ්ඩුවේ සංයුතිය අනුවයි. තමන්ගේ කාථානායකවරයෙක් පත්කර ගැනීමට නොහැකි වූ ආණ්ඩුවක් 2005 දී ජනාධිපතිතුමාට ලැබුණේ. තනි කණ්ඩායමක් ලෙස ආණ්ඩු පක්ෂයේ සංයුතියට වඩා විපක්ෂයේ සංයුතිය වැඩි වී තිබුණා.
මේ නිසා ශක්තිමත් ආණ්ඩුවක් ගොඩ නඟා ගැනීමට විපක්ෂයේ අයට රජයට සම්බන්ධ වීමට ආරාධනා කළා. එසේ සම්බන්ධ වන අයට කැබිනට් වගකීම් පවරන්නේ නැතුව ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කර ගැනීම ව්‍යවස්ථාමය ප්‍ර‍්‍රශ්නයක්. මේ නිසා අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමට සිදු වුණා.
විමර්ශනාත්මකව සොයා බලන්නේ නම් කැබිනට් මණ්ඩලය පුළුල් වුවත් ඉටුකිරීමට ඇති කාර්යයන් රැසක් ඕනෑම ඇමැතිවරයෙක් යටතට පත් වෙනවා. නිර්මාණශීලීව කල්පනා කරන්නේ නම් කුඩා අමාත්‍යාංශයක වුවද ඉටුකිරීමට ඇති කාර්යයන් රැසක් හඳුනාගත හැකියි. සමහර අය ඒ සම්බන්ධයෙන් කල්පනා කරන බවක් පෙනෙන්නේ නැහැ. කාර්ය පටිපාටින් දෙස බලන විට කුඩාවට පෙනුනත් සමාජ සේවා බුද්ධශාසන වැනි අමාත්‍යාංශවල කාර්ය පටිපාටිය සුවිශාලයි. අවශ්‍ය වන්නේ විමර්ශනාත්මකව හා නිර්මාණාශීලීව කල්පනා කිරීමයි.
අමාත්‍යාංශවලට වෙන්වන මුදල් ප්‍රමාණය මත යැපී ඊට සරිලන වියදම් රටාවක් සකස් කරගෙන ඒ. ආර්. එෆ්.ආර්වලට යට වුණොත් දැවැන්ත අමාත්‍යාංශ වුණත් කුඩාවට පෙනෙන්නට පුළුවන්. කළ හැකි දෙයක් නොමැති විය හැකියි. මුදල් නැහැ කියා නිසොල්මනේ ඉන්නත් පුළුවන්. තමන්ගේ වැඩක් බලාගෙන හැංගිලා ඉන්නත් පුළුවන්. එහෙම නම් ආසියාවේ අශ්චර්ය සිහිනයක් වෙයි. තම තමන්ට ජාම බේරාගෙන සිටීමට හැකිවෙයි.
ජනාධිපතිතුමා ජනතාවට වූ පොරොන්දුව ඉටු කිරීම තුළින් සමහර අමාත්‍යාංශවලට පැවැරී තිබෙන කාර්ය පුළුල් වෙලා. වපසරිය වැඩි වෙලා. මෙතැන් සිට ජනතාව බලාපොරොත්තු වන්නේ ඒවායින් තමන්ට ඉටුකරනු ලබන සේවාවන්. දේශපාලනය කරන අය තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් ඉටු කිරීමට සූදානම් විය යුතු බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මේ කිසිවෙක් අදාළ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ජනතා සේවයට කැපවෙලයි. වැටුප් දීමනා හා වරප්‍රසාද ලැබෙන්නේ ජනතාවගේ මුදලින්. ජනතා සේවයට කැප වූ දේශපාලනඥයන් අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන් විය යුතු නැහැ. හැම විටම විශේෂඥ සේවාවන්වල නිතර වූ අය දේශපාලනයේ දී හමු වෙන්නේ නැහැ.
එහෙම හමුවන අය වුණත් පොතේ ගුරුවරුන් විය හැකිය. ඔවුන් සතු විෂයානුබද්ධ දැනුම දේශපාලනය හා ජනතා සේවය සමඟ මුසු කිරීමේ දී ප්‍රායෝගික නොවිය හැකියි. සමහර ආචාර්ය මහාචාර්යවරු දේශපාලනයේ දී අසමත් චරිත වන්නේ ඒ නිසයි. අවශ්‍ය වන්නේ දන්න අය ළඟ තබාගෙන අවශ්‍ය කර්යය ඉටුකර ගන්නා දේශපාලන කළමනාකරණයයි.
එය නිවැරැදිව හඳුනා ගන්නේ නම් ඕනෑම දේශපාලනඥයකුට කිසිම අමාත්‍යාංශයක් ප්‍රශ්නයක් වන්නේ නැහැ. පසුගිය මහා මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ මුළු රටම එක්සත් ජනතා නිදහස් සන්ධානයට විවෘත වෙනවා. මේ වන විට ජනතාව ආණ්ඩු කරන අය වෙනුවෙන් කළ යුතු සියල්ල ඉටුකර අවසන්. උපහාර දැක්වීම් සියල්ල අවසන්, ජනතාව ප්‍රාදේශීය සභා බලය, පළාත් සභා බලය, ජනාධිපති බලය, පාර්ලිමේන්තු බලය මේ ආදී වශයෙන් සෑම බලයක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දී අවසන්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉල්ලුවා. ඊට ළඟට ගෙනත් දුන්නා. මීට අමතරව රටේ යහපත වෙනුවෙන් පනවනු ලබන සෑම බද්දකම බදු බර ද ඉවසමින් කටයුතු කර තිබෙනවා.
ආණ්ඩුවක් ජනතා සේවයට කැපවීමේ දී ඒ සඳහා මුදල් සොයා ගන්නේ ක්‍රම දෙකකින්. ජනතාවගෙන් බදු අය කිරීමෙන් හා ණය ගැනීමෙන්. අවසානේ ගත් ණය පොලිය සමඟ ගෙවීමට ද සිදු වන්නේ ජනතාවගෙන් අය කරන ගන්නා බදුවලින්. 2004න් පසු රටේ ආදායමට වඩා ණය හා පොලියට ගෙවනු ලබන මුදල වැඩි වුණේ නැහැ. එය පසුගිය සමයේ පැවතුණේ 80%ක 85%ක ප්‍රතිශතයක.
එය 60% දක්වා අඩුකර ගත යුතුයි. එසේ අඩුකර ගැනීම ජනතාවගේ ප්‍රශ්නයක් නොව රජයේ ප්‍රශ්නයක්. යුද්ධය, ලෝක ආර්ථික අර්බුදය හා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම අභියස රටේ ණය ප්‍රමාණය ආදායමට වඩා වැඩියෙන් තබා නොගැනීම පසුගිය සමයේ ලත් තවත් ජයග්‍රහණයක්. එය ආර්ථික කළමනාකාරණයේ ජයග්‍රහණයක් ලෙසයි සටහන් වෙන්නේ. 2004 ට පෙර මෙවන් හොඳ මට්ටමක අපේ ආර්ථිකය පවත්වාගෙන යෑමට නොහැකි වුණා.
දැවැන්ත සංවර්ධනයක් හෝ යුද ජයග්‍රහණ නොමැතිව 2001 දී රටේ ආදායම ගත් ණය වල වාරිකය හා පොලිය ගෙවා ගැනීමට නොහැකි තැනකට වැටී තිබුණා. ඊට සාපේක්ෂව කල්පනා කිරීමේ දී වර්තමාන වර්ධනය පවතින්නේ ප්‍රසස්ත තැනක. මේ සමඟම රටේ ආර්ථිකය වර්ධනය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වසර 3ක්ම 6%ක මට්ටමකට පවත්වාගෙන යෑමට හැකි වීමද ජයග්‍රහණයක්. එවන් ජයග්‍රහණයක් නිදහසින් පසු උදා වී නැතැයි ආර්ථික විද්‍යාඥයින් සඳහන් කරනවා.
උදා වී ඇත්තේ මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන සමයයි. මෙහි දී ජනතාව සාමාන්‍ය සිල්ලර කාරණා ගැන කල්පනා කරන්නේ නැති බවයි පසුගිය මැතිවරණ ප්‍රතිඵල වලින් පේන්නේ. කාර්යක්ෂමව ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නම් ඇමැතිවරයෙකුගේ නිවසක කුලිය, ගමන් ගන්නා වාහනයේ වටිනාකම හා විවිධ දීමනා එතරම් වැදගත් සාධක වන්නේ නැහැ.
එසේ ම ජනතාව අතර නොසිටි මහජන මුදල් අනිසි ලෙස කාබාසිනියා කළ දේශපාලනඥයන් මේ මැතිවරණයේ දී පරාජයට පත්කර තිබෙනවා. සමහර මධ්‍යම පාන්තිකයන්ගේ අප්‍රසාදයට ලක් වූ දේශපාලනඥයන් ඉහළින් ජයග්‍රහණය කර තිබීමද විශේෂත්වයක්. ඊට හේතුව ඔවුන් සාමාන්‍ය ජනතාව අතර සිටින වැඩකාරයන් වීමයි. නැතිනම් ජනතාව අතර සිටීමයි.
ටිකක් සැර පරුෂ ලෙස හැසිරී රජය වෙනුවෙන් පොදු ජනාතවට ඉටුවිය යුතු සේවාවන් ඉටුකර දීමයි. සාමාන්‍යයෙන් රජයේ දේශපාලනඥයකුට පාරට තාර ටිකක් හෝ කොන්ක්‍රී ටිකක් ඇතිරීමට, ඇළ මාර්ගයක් සුද්ධ පවිත්‍ර කර ගැනීමට වෙනත් පොදු පහසුකමක් ඉටුකරවා ගැනීමට නිලධාරීන්ට කීප වතාවක් ඇවිටිලි කිරීමට සිදුවෙන අවස්ථා තිබෙනවා. මේ පින්සේන්ඩු වීම තර්ජනාත්මක ඉටු කිරීමට සිදු වෙනවා.
එහෙම දේශපාලන නායකයන් සැර වැඩිය යන මතය සමාජය තුළ පැතිරීම ස්වාභාවිකයි. එහෙත් අදාළ කාර්යය සමහර නිලධාරීන් ලවා ඉටු කරවා ගැනීමට එසේ සැර පරුෂ නොවී බැහැ. එහෙත් ජනතාව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එවන් දේශපාලනඥයන්ට ඉහළ මට්ටමේ ජයග්‍රහණයක් ලබා දුන්නා. එසේම ජනතාව අතර අඩුවෙන් ගැවසෙන ජනතා සේවය කුසීත වූ සමහර පිරිස් පහළින් ජයග්‍රහණය කරවීමට මෙවර ඡන්ද දායකයා පෙළඹිලා.
මේ ජයග්‍රහණ සියල්ල අභියස පිළිබිඹු වන සත්‍යය ජනතාව බලාපොරොත්තු රැසක් ඉටුකරවා ගැනීමට සැදී පැහැදී සිටින බවයි. ඊට රටේ සමස්ත ආර්ථික සංවර්ධනය ඉහළ මට්ටමකට ගෙන ආ යුතුයි. ඇති නැති පරතරය අඩුවන ඉසව්වකට එම සංවර්ධන ක්‍රියාදාමය ගමන් කරවිය යුතු වෙනවා.
එම පුළුල් ක්‍රියාදාමයට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් විසඳුම් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සුද්දන්ගේ කාලයේ සිට පැවැත එන ඒ. ආර්. එෆ්. ආර්. වලට ගැති නොවු නිලධාරි පැලැන්තියක් හා ඔවුන් විසින් මෙහෙයවනු ලබන ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් රටට ඇවැසියි. පවතින රාජ්‍ය යන්ත්‍රයේ ගොළු බෙලි ගමන වේගවත් කිරීම අනිවාර්ය සාධකයක් වෙලා.
මෙවර අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ දී රජය ඒ ගැන සැලකිලිමත් වී තිබෙන බවයි පෙනෙන්නේ. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන මහතා වැනි අභියෝගවලට බිය නැති පරිපාලන සේවයෙන් පිටස්තර අයෙක් පරිපාලන සේවයට පත් කිරීම වැදගත්. ඔහු ජනමාධ්‍ය වේදියෙක් මෙන්ම අලුතින් යමක් කිරීමේ වුවමනාවන් ඇති අයෙක්.
එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා වැනි නිර්මාණශීලී දක්ෂ පළපුරුදු රාජ්‍ය නිලධාරින් ද නැවත පත් වීමද වැදගත්. මීට අමතරවද අලුත් මුහුණු රැසකට පැරැණි අය සමගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම පැවරිලා. ඒ අය අතර දක්ෂ කාන්තා චරිතද දක්නට ලැබෙනවා.
ඇය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය දමිතාද සොයිසා මහ්තමියයි. පරිපාලන සේවයෙන් පිටස්තරව ඇති මෙම ලේකම් ධූරවලට අලුතින් එක්ව සිටින ඉදිරිගාමී කාන්තා චරිතයක්. එසේම පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එස්. එස්. සමරතුංග වැනි දක්ෂ නවක මුහුණු අතරට එච්. ඩී. ෆර්ඩිනැන්ඩස්, අශෝක පීරිස්, මහින්ද මඩිහේවා, වෛද්‍ය නිහාල් ජයතිලක වැනි පළපුරුදු ලේකම්වරුන්ද සිටීම තුළින් නව මිශ්‍ර සංයුතියක් සකසා තිබෙනවා.
කාර්යක්ෂම ඇමැතිවරයෙක් හා ලේකම්වරයෙක් සිටි පමණින් සියල්ල සම්පූර්ණ වේ යැයි තක්සෙරුවකට පැමිණීම වැරැදි කල්පනාවක්. ඉහළ සිට පහළටම වැඩ කිරීමේ රටාව ජනතාවගේ බලාපොරොත්තුව ඉටු වන ආකාරයෙන් සැකසිය යුතුයි.
මේ කාටත් ගෙවීම් කරනු ලබන්නේ මහජන මුදලින්. ජනතාවගේ සම්පත් සාංගික දේපල තරම් වැදගත්. ඒවා පරිහරනය කරන්නේ නම් ඊට සරිලන ප්‍රශස්ථ සේවයක් ඔවුන් වෙත ලබාදිය යුතුයි. ජනමාධ්‍යවලට කළ හැක්කේ රටේ සිදුවන දේවල් ගැන විමර්ශනයක යෙදෙමින් පලදායි විවේචනයක් එක් කිරීම පමණයි. නැතිනම් හොඳ වැඩ අගය කරමින් නරක වැඩ ගැන පලදායී විවේචනයක යෙදීම පමණයි. අඩුපාඩු පෙන්වාදීම මේ සඳහා ජනමාධ්‍යවලට ජනතාව හා රාජ්‍ය තන්ත්‍රය අතර පාලමක් විය හැකියි.
