Published On:
Posted by gossip lanka live

Dhat With Edward jayakody මේ හොඳම දවස ඔබ එනවා නම්...

කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලාවේදී ගෞරව උපාධිධාරියකු, සංගීත ආචාර්යවරයකු, ජාතික සංගීත අනුමණ්ඩලයේ සාමාජිකයකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත විෂය භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාද වන ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි ලබන 06 වැනිදා 58 වැනි වියට පා තබයි.
05 වැනිදා සවස 6.30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී ‘මාරම්බරී’ ඒක පුද්ගල ගී දැහැන වේදිකා ගත වනුයේ එම උපන් දින සැමරුම සහ 35 වසරකට වැඩි වූ ඔහුගේ සංගීත ජීවිතයද නිමිතිකොටගෙනය.


’මාරම්බරී...’ සෑහෙන කලකට පස්සෙ මව් බිමේදී....
ඔව්. 2010 වසරෙයි ‘මාරම්බරී’ ඇරැඹුණේ. ඒ මුළු කාලය තුළම ලංකාවේ ප්‍රසංග හතකට වඩා පවත්වලා නැහැ. නමුත් ඉතාලියේ, ස්විස්ටර්ලන්තයේ සහ තවත් රටවල් ගණනාවක මේ ප්‍රසංගය වේදිකා ගත වුණා. උපන්දිනය නිමිති කොටගෙනයි මෙවර නෙළුම් පොකුණේදී මාරම්බරී ගැයෙන්නෙ. එය මට සුවිශාල අත්දැකීමක් වේවි.

ඇයි ඒ....
ඇත්තටම ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් එකේ ගයන්න මට වාසනාව ලැබුණා. ලන්ඩනයේ සහස්‍රයට තැනූ මිලේනියම් ඩෝම් 0 – 2 ශාලාවේත් මං ප්‍රසංගයක් කළා.
මෙල්බන්වල කොන්සර්ට්, මැදපෙරදිග ‘අල් නසාර්’, ජ’මනියේ ‘ඩොර්ට් මූන්ඩ්’ ඇතුළු ලෝකයේ විවිධ රටවල අති නවීන සහ සුපිරි රංග ශාලාවල ප්‍රසංග පවත්වන්න මට අවස්ථාව ලැබුණා.
නමුත් ඒවාට දෙවැනි නොවන නෙළුම් පොකුණ තමයි අපිට තියෙන දැවැන්තම සංස්කෘතික වටිනාකමක් තිබෙන රංග ශාලාව. ඉතින් එහි ප්‍රසංගයක් පැවැත්වීම දේශීය කලාකරුවකු විදියට මහත් අභිමානයක් ගෙන දෙන කාරණාවක්. එය මටත් එලෙසමයි.

නමුත් එය විශාල වියදමක් දැරීමට සිදුවන කාරණාවක්...
ඇත්ත. මේ ප්‍රසංගය නෙළුම් පොකුණෙ පවත්වන්න සියලු කටයුතු සංවිධානය කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 82 ඉංජිනේරු පීඨ කණ්ඩායමයි.
ඒ කණ්ඩායමේ මගේ සංගීත සිසුන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ඔවුන් බොහොම ගුරු බැතියෙන් මට උදා කර දුන් අවස්ථාවක් මේක.
අහන්නත් සතුටුයි. එවැනි ගුරු - ගෝල සබඳතාවන් අද නැති තරම්...
ඒ අතින් මං වාසනාවන්තයි. ඉංජිනේරුවො වුණත් ඒ අය තුළ හොඳ රසඥතාවක් තිබෙනවා. සංගීතය කියන්නෙ මනුෂ්‍යයකු තුළ හොඳ ගුණ දම් වගා කරන මාධ්‍යයක්. දරුවන් මොන විෂයන් ඉගෙන ගත්තත් සංගීතය – චිත්‍ර - නැටුම් කියන කුමන හෝ කලා මාධ්‍යයක් ඇසුරු කිරීම ඉතාම වැදගත්. හොඳම උදාහරණය මා දකින්නේ මා තුළින්මයි. මං උසස් පෙළට වාණිජ විෂයන් කළ කෙනෙක්. පාසලේදී ‘ෆුට් බෝල්’ කී‍්‍රඩකයෙක්. මේ සියල්ල අතරේ මං මගේ සංගීත ජීවිතයත් ගොඩ නඟා ගත්තා.
මං ඉස්කෝල හතරකට ගියා. හෙට්ටිමුල්ල ප්‍රාථමික විදුහලින්, කෑගල්ල ශාන්ත මරියා විදුහලට. ඊළඟට ශිෂ්‍යත්වෙ සමත්වෙලා නුගවෙල මධ්‍ය මහා විදුහලට. එතැනින් හෙට්ටිමුල්ල මහා විද්‍යාලයට. මට තාම මතකයි කෑගල්ල ශාන්ත මරියා එකට යන කාලෙ අල්ලපු ඉස්කෝලෙක ගුරුවරයෙක් බස් එකට නැග්ගාත් මං සීට් එක දුන්නා. එතකොට අපි පොඩි ළමයි. අපි හැදුණෙ වැඩුණෙ මේ ගුණදම් එක්ක. අද මේ 82, ඉංජිනේරු කණ්ඩායම තුළිනුත් මං දකින්නෙ ඒ ගුරු ගෞරවය. විශාල සතුටක් දැනෙන්නෙ ඒ නිසා.

ඔබේ සංගීත ජීවිතයට 35 වසරක් ඉක්ම ගිහින්. නමුත් පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය ඇරැඹුණේ 2010 දී....
ඇත්ත. මං හැමදාම හිතපු දෙයක් තමයි ඒක පුද්ගල ප්‍රසංගයක් කියන්නෙ සංගීත ශිල්පියකුගේ කූඨප්‍රාප්තිය. එවැනි කූඨප්‍රාප්තියකට එන්න නම් ශිල්පියාගේ සංගීත පැස හොඳීන් පිරී තිබිය යුතුයි. එය හරියට ඉදුණු රසවත් පලතුරු පිරී තිබෙන පලතුරු කූඩයක් බඳුයි. ගීතයක් දෙකක් ජනපි‍්‍රය වුණාට ඒක පුද්ගල ප්‍රසංගයකට ගිහින් වැඩක් නැහැ. මට ඒ පැස පුරවා ගන්න අවුරුදු 35 ක් ගත වුණා.

අද ඔබ ඒ ගැන තෘප්තිමත්...
ඇත්තෙන්ම ඔව්. දැන් එහි සරල ගී, චිත්‍රපට ගී, වේදිකා නාට්‍ය ගී, ළමා ගී, බටහිර සංගීත පද්ධතීන් හා දේශීය සංගීත පද්ධතීන් ඇසුරු කළ ගී, රාගධාරී සහ උත්තර භාරතීය සංගීත පද්ධතීන් ඇසුරේ නිර්මාණය වූ ගී, ආදර ගී සහ යුග ගී පිරී තිබෙනවා. මේ සියල්ලෙන් තෝරා ගත් ‘ස්පිරිට්’ එක තමයි 05 වැනිදා මාරම්බරී ගී දැහැනේදී ගැයෙන්නෙ. මං මගේ රසිකයන්ට බොහොම ආදරයෙන් මේ සැඳෑවට ආරාධනා කරනවා.

ඒත් නෙළුම් පොකුණට එන්න ඔබේ සාමාන්‍ය රසිකයන්ට නම් පුළුවන්කමක් නැහැ....
නෙළුම් පොකුණට එන ඇති හැකි රසිකයන්ගෙ ආදරයත් ඈත දුෂ්කර ගමක අන්ත දුප්පත් රසිකයකුගෙ ආදරයත් මට එක හා සමානයි. මේ ප්‍රසංගය මෙහි පැවැත්වුණාට අරලගංවිල, කහටගස්දිගිලිය හෝ වව්නියාවේ මඩුකන්ද විදුහල් ශාලාවේ වුණත් මට ‘මාරම්බරී’ පවත්වන්න පුළුවන්. මාත් පිළිගන්නවා මගේ සියලු රසිකයන්ට මෙහි එන්නට බැරි බව. ඒ අය වෙනුවෙන් ලබන මැයි මාසයේදී මං කොළඹ වෙනත් රඟහලක යළි ‘මාරම්බරී’ පවත්වනවා. එය ඔවුන්ට සතුටක් වේවි.

නෙළුම් පොකුණෙ ගයන්නත් විශේෂ සූදානමක් අවශ්‍යයි නේද...
මෙහි ඇති අති නවීන වේදිකා පසුතල, ශබ්ද ධාරාවන්, සංගීත හා ආලෝක ධාරාවන් මගේ ප්‍රසංගයට ගැළපෙන පදමට අරගෙන හදාගෙනයි මං ‘මාරම්බරී’ ගයන්නෙ. ඒකට මං ලෑස්තියි.

මෙවැනි අවස්ථාවක අතීතය ආවර්ජනය කිරීම පවා සතුටක්...
එක රැයකින් ජනපි‍්‍රය වූ කෙනෙක් නෙවෙයි මං. අවුරුදු නවයක් එක දිගට මං ගුවන්විදුලියේ ආධුනික වැඩසටහන්වල ගැයුවා. ඒ අතරෙ මං දුටුවා ප්‍රවීණ ශිල්පීන් ගීත සෞන්දර්යය භාවිතා කරන අන්දම.
බී. වික්ටර් පෙරේරා, ඩබ්.ඩී. අමරදේව, අයිවෝ ඩෙනිස්, හෙක්ටර් සොයිසා, එච්.ඩී.එස්. ජයසේකර වැනි මගේ ගුරුවරුන්ට අත්වැල් ගායනා කරල තමයි මං ක්‍ෂේතය‍්‍රට පා තැබුවෙ. ස්වර ප්‍රස්ථාර, සංගීත අධ්‍යක්‍ෂණය, මෙහෙයවීම, හොඳ වාදකයන් හඳුනා ගැනීම, සංගීතයේ හැඩතල යෙදීම් වගේ බොහෝ කාරණා මේ ගුරුවරු ඇසුරේ මා ඉගෙන ගත්තා. ඉඳහිට සරල ගීයක් ගැයුවා. ඉඳහිට චිත්‍රපට ගීතයක් ගැයුවා. ඒ වගේම ඉඳහිට සම්මානයක් ලැබුවා. බොහොම හෙමි හෙමින් තමයි මගේ පැස මා පුරවා ගත්තෙ. අද හැරිලා බලද්දි මට මතක් වෙන්නෙ මේ දේවල්.
ඒ වගේම, 1977 වසරෙ ප්‍රේමකුමාර ජයවර්ධන ලියා දීපු මගේ මුල්ම ඒකල ගායනය ගුවන් විදුලියෙ ප්‍රචාරය වුණා. පැයක් ඇතුළත එයට සංගීතය දමා දුන්නෙ රෝහණ වීරසිංහයන්. 35 වසරකට පසු ඔහුම තමයි අද ‘මාරම්බරි’ වේදිකාවේදිත් සංගීතය අධ්‍යක්‍ෂණය කරන්නෙ. එය මට බොහොම දෛවෝපගත බැඳීමක්.
එදා මට මගේම කියල ගීතයක් ගයන්න ගුවන් විදුලියෙ අවස්ථාව දුන්නෙ ජී.එස්.බී. රාණි මහත්මිය. අද අප අතර නැති වුණත් ඈ මගේ ජීවිතයේ අමරණීය මතකයක්.

ඔබ කතෝලිකයෙක්...
ඒ ගැන මං හරි ආඩම්බරයි. බටහිර සංගීතයේ උරුව මා ලැබුවෙ පුංචි කාලෙ පටන් පල්ලියේ කන්තාරු කණ්ඩායමේ ගයා ලබපු ඇසුර නිසා.
ජන ගී ආර මගේ ඇඟට කා වැදුණේ එදා අප ජීවත් වූ ගම්බද ගොවි පරිසරය නිසා. මගේ සංගීතය මේ දෙකේම සම්මිශ්‍රණයක් කියලා ඇතැමුන් කියන කතාවට හේතුව ඒකයි. ඒ පිළිබඳව මා තෘප්තිමත්.
ඔබේ ‘මාරම්බරී’ පිටුපස චරිතාත් විශාල භූමිකාවක්...
ඔව්. ඇත්තටම මට තියෙන්නෙ ගිහින් වාඩිවෙලා ගයන්න විතරයි. මාව උනන්දු කරලා, පස්සෙන් ඉඳගෙන හැම දේම සොයා බලන්නෙ ඈ. චරිතා නොවෙන්න මේ කිසිවක් මේ තරම් සාර්ථකව කරගන්න මට බැරි වේවි.

ඇයත් මේ ප්‍රසංගයේ යුග ගී ගයනවා...
චරිතා වගේම දූ ශාරන්‍යාත් මා සමඟ මෙහි යුග ගී ගයනවා. ඒ වගේම වසන්ත රෝහණ කථනයෙනුත්, චන්න විජේවර්ධන සහ චන්දන වික්‍රමසිංහ නර්තන අධීක්‍ෂණයෙනුත් දායක වෙනවා. රූපවාහිනිය වෙනුවෙන් සඳරුවන් ජයවික්‍රමයි නිෂ්පාදනයෙන් දායක වෙන්නෙ.
ඉතින්, මේ හොඳම දවස ඔබ එනවා නම්...


About the Author

Posted by gossip lanka live on 7:04 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:04 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Dhat With Edward jayakody මේ හොඳම දවස ඔබ එනවා නම්..."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.