Published On:
Posted by gossip lanka live

මාධ්‍ය තුනේම හොඳම නළුවා ජැක්සන් ඇන්තනී

දශකයක පමණ කාලය තුළ ජැක්සන් චිත්‍රපටවල ඉදිරිපත් කළ චරිතාංග නිරූපණ සැලකිල්ලට ගැනීමේදී ඔහු තරම් එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපෑ නළුවකු ඔහුගේ සමකාලීන නළුවන් අතරින් සොයා ගැනීම උගහට බැව් පෙනේ.
ජැක්සන් ඇන්තනී ඔහුගේ සමකාලීන නළුවන් අතරින් වැඩි සුවිශේෂත්වයක් දරන්නේ ඔහු හුදෙක් නළුවකු පමණක් නොව තවත් මාධ්‍ය ගණනාවකම එකවිට නිරත බහුවිධ කලාකරුවකු වන බැවිනි.
තමා කලා මාධ්‍ය 16 ක් පරිහරණය කරන්නකු බව ජැක්සන් මේ නොබෝදා පුවත්පතකට කියා තිබිණි. කවර මාධ්‍යයක නිරත වුව ද ජැක්සන්ගෙන් අති විශිෂ්ට ප්‍රතිභාවක් පළ වන්නේ රංගන ක්ෂේත්‍රයේ බව මාගේ පිළිගැනීමයි. සනත් ගුණතිලකගෙන් පසු බිහි වූ සිනමා නළුවන් අතරින් අද සිටින කෘතහස්තතම චරිතාංග නළුවා ජැක්සන් නොවන්නේ ද?
1998 දී ප්‍රවීණ කලාකරු ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් සම්බන්ධයෙන් අනාවැකියක් පළ කළේය. ඒ මෙපරිදිය.
‘ඔහු සම්බන්ධයෙන් අනාවැකියක් කියන්න මට ඉඩ දෙන්න. තව දශකයක් ඉක්ම යෑමට පෙර ඔහු දකුණු ආසියාවේ සිටින විශිෂ්ටතම නළුවා වේවි.’
දකුණු ආසියාවේ කෙසේ වෙතත් අප රටේ සිටින අග්‍රගණ්‍ය නළුවන් කීප දෙනාගෙන් ටෝනි, රවීන්ද්‍ර, සිරිල්, සනත් අතරට එක්වන සමාකාලීන චරිතාංග නළුවා ජැක්සන්ය.
ජැක්සන් මුලින්ම රඟපෑවේ ‘ගුරු ගෙදර’ චිත්‍රපටයේය. ඒ් වන විටත් ඔහු විසින් වේදිකාවේත්, ටෙලි නාට්‍ය කලාවේත් තම රංග කුසලතා මැනවින් ප්‍රකට කරනු ලැබ තිබිණි.
1958 දී උපන් ජැක්සන්ගේ සම්පූර්ණ නම වූයේ කෝන්ගනීගේ ජෝශප් මැල්සි ජැක්සන් ඇන්තනීය. (පසු කලෙක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඔහුගේ නම සිරිමෙවන් ධර්මප්‍රිය යනුවෙන් වෙනස් කළත් ජැක්සන් තම පියා උප්පැන්න සහතිකයට දමා තිබූ මුල් නමම කලා ක්ෂේත්‍රයේහිලා ද භාවිතා කළේය).
ජැක්සන් උපතින් කතෝලිකයෙකි. ඔහුගේ පියා ‘වාසප්පු’ නම් වූ කතෝලික නාට්‍ය සම්ප්‍රදායයේ ප්‍රවීණයෙක් වූයේය.
හපුගොඩ ශාන්ත මරියා, ගණේමුල්ලේ ගලහිටියාව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජැක්සන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.
නළුවෙකු වශයෙන් ජැක්සන්ගේ කලා ජීවිතයේ ලොකුම සංධිස්ථානය වන්නේ විශ්ව විද්‍යාලයේදී ඔහු නාට්‍යවල රඟපෑමත් ඉන් එක් නාට්‍යයකින් ඔහු හොඳම නළුවා වීමත් ඉනික්බිතිව ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වාගේ අවධානය ඔහු කෙරෙහි යොමුවීමත් යැයි කිව හැකිය.
නෙවිල් ඩයස් සුබසිංහගේ ‘වාරුවෙන් යන මිනිස්සු’ හා ‘මානවයෝ’, ඊ. එම්. ඩී. උපාලිගේ ‘මෙතැනින් මාරුවෙනු’ ජැක්සන් මුල් යුගයේ රඟපෑ නාට්‍ය කීපයකි. ඉන්පසු ඔහු සුගතපාල ද සිල්වාගේ (මරාසාද්), මහාචාර්ය සරච්චන්ද්‍රගේ (ලෝමහංස) දයානන්ද ගුණවර්ධනගේ (මධුර ජවනිකා), ජයන්ත චන්ද්‍රසිරිගේ (අත්, මෝරා, ඔත්තුකාරයෝ), ලූෂන් බුලත්සිංහලගේ (තාරාවෝ ඉගිලෙති), ධර්මසිිරි බණ්ඩාරනායකගේ (ධවල භීෂණ) වැනි නාට්‍යවල විවිධ චරිත රංගනයේ යෙදුණේය.
මෙයිනුත් ‘මරාසාද්’ නාට්‍යය වඩාත් සුවිශේෂ වන්නේ වේදිකා රංග කලා ජීවිතයේ ජැක්සන්ගේ හොඳම චරිතාංග නිරූපණය එය වූ බැවිනි. එසේම ඒ උදෙසා ඔහු ජාතික නාට්‍ය උළෙලේ හොඳම නළුවා ද වූ බැවිනි.
1990 දී ජැක්සන්ගේ හොඳම රංගන හතක් ඇතුළත් ‘භූමිකා 7’ නමින් නාට්‍ය උළෙලක් පවත්වන ලදී. එයින් ජැක්සන්ගේ පුළුල් රංග පරාසය අත්දැක ගැනීමට විද්වත් රසිකයන්ට හැකි වූයේය.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදී ද ජැක්සන්ගේ රංග කෞශල්‍යය වඩාත් මතුව පෙනුණේය. ‘පළි¼ගු මැණිකේ’, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘සුසීමා’, ‘වෙද හාමිනේ’, ‘කඩුල්ල’, ‘පිටගංකාරයෝ’, ‘අකාල සන්ධ්‍යා’ ඔහු රඟපෑ ටෙලි නාට්‍ය අතර වෙයි. මෙයින් ‘පිටගංකාරයෝ’ හි රඟපෑම සඳහා ජැක්සන් සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නළුවා වූයේය.
‘ගුරු ගෙදර’ (සුනන්ද) චිත්‍රපටයෙන් පසු ජැක්සන්, ‘අයෝමා’ (විල්සන්), ‘තරණය’ (තංගප්පන්), ‘බව දුක’ හා ‘බවකර්ම’ (පේදුරු), ‘ගිනි අවි සහ ගිනි කෙළි’ (තුම්මුල්ලේ පද්මේ), ‘අස්වැසුම’ (ගුණේරිස්), ‘අග්නිදාහය’ (පුංචිරාල), ‘සූරිය අරණ’(දඩයක්කාරයා), ‘රන්දිය දහර’ (ලයනල්), කුස පබා (කුස රජු) වැනි චිත්‍රපටවල ද රඟපෑවේය.
කිසියම් චරිතයක් රඟපෑමේදී ජැක්සන් එම චරිතයට අදාළ සියලු දේ තම රංගනය සඳහා උපයුක්ත කර ගනී. උදාහරණ වශයෙන්, ‘තරණය’ චිත්‍රපටයේ තංගප්පන් නමැති කොච්චි මිනිසාගේ චරිතය රඟපෑමේදී ඔහු යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් හදාළේය. ‘බවදුක’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා හඳපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේ වෙතින් පහත රට නැටුම් උගත්තේය. ‘සූරිය අරණ’ චිත්‍රපටයේ රඟපාද්දී දඩයක්කාරයාගෙත් වෙඩික්කාරයාගෙත් වෙනස පහදා ගත්තේය.
ජැක්සන් හොඳම නළුවා සඳහා අවස්ථා තුනකදී සම්මාන දිනා ගෙන ඇත. ‘ගිනි අවි සහ ගිනි කෙළි’ (1998 ජනාධිපති සිනමා උළෙල), ‘ලොකු දුව’ (1992 නිර්මාණශීලී රංග කුසලතා (පුරුෂ)- ඕ. සී. අයි. සී. සම්මානය ඔහුට ලැබුණේ ඉහත චිත්‍රපටයේම රඟපෑ ගාමිණී ෆොන්සේකා හා සම මට්ටමිනි). ‘බවදුක’ (සරසවිය සම්මාන හා ඕ. සී. අයි. සී. උත්තමාචාර උළෙල).
දශකයක පමණ කාලය තුළ ජැක්සන් චිත්‍රපටවල ඉදිරිපත් කළ චරිතාංග නිරූපණ සැලකිල්ලට ගැනීමේදී ඔහු තරම් එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපෑ නළුවකු ඔහුගේ සමකාලීන නළුවන් අතරින් සොයා ගැනීම උගහට බැව් පෙනේ.
එය ඔහු ලද භාග්‍යයකි. මේ කරුණ වේදිකාවටත්, ටෙලි නාට්‍ය කලාවටත් අදාළය. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ශ්‍රේෂ්ඨ නළුවන් බවට වඩාත් ප්‍රත්‍යක්ෂ වූයේ ඔවුන් එකිනෙකට වෙනස් විවිධ මාදිලියේ චරිත රඟපෑම හේතු කොටගෙනය.
වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටය යන මාධ්‍ය තුනේම හොඳම නළුවා වීමේ වීරල භාග්‍යය හිමි කරගෙන ඇත්තේ ද ජැක්සන්ය. මා සිතන පරිදි එය අප රටේ සුවිශේෂ වාර්තාවකි.
ජැක්සන් අපට සිටින බුද්ධිමත් නළුවන් කීප දෙනාගෙන් කෙනෙකි. (අනිත් නළුවන් මැටි මෝලුන් යැයි මම මෙයින් අදහස් නොකරමි). ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා වරක් කියූ දෙයක් මෙහිලා මා සිහියට එයි.
‘ජැක්සන් ප්‍රඥාවත් රුවත් එක සේ දායාද කර ගත් නිර්මාණශීලී නළුවකු ලෙස මම දකිමි.’
අද මෙරට සිටින සිනමා නළුවන්ගෙන් එකම ශාස්ත්‍රවන්තයා ජැක්සන්ය. කලාව පමණක් නොව ජනසන්නිවේදනය, ඉතිහාසය, පුරා විද්‍යාව වැනි විෂයයන් අරභයා වූ ඔහුගේ දැනුම් සම්භාරය අති පෘථුලය. ජැක්සන් රංගනය සලකන්නේ ද ගැඹුරු ශාස්ත්‍රයක් ලෙසිනි.
ජැක්සන් තිර රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන් ද සිංහල සිනමාවට දායක වී සිටී. ඔහු ‘වීසිදැල’ චිත්‍රපටයේ සම තිර රචකයෙකි. ‘ජුලියට්ගේ භූමිකාව’, ‘අබා’ ඔහුගේ සිනමා නිර්මාණ අතර වෙයි.
(ඔහු මේ චිත්‍රපට දෙකේම රඟ නොපෑම කැපී පෙනෙන කාරණාවකි). ජැක්සන් වරක් වාර්තා චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කළේය. ඒ ‘සිපිරි සිනමා පාරාදීසය’යි. 50 වසරක සිංහල සිනමාව අළලා තැනුණු මෙය 1998 දී ‘ස්වර්ණ සංඛ’ සිනමා සම්මාන උළෙලේ දී තිරගත වූයේය.
සුනිල් මිහිඳුකුල

About the Author

Posted by gossip lanka live on 9:18 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:18 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "මාධ්‍ය තුනේම හොඳම නළුවා ජැක්සන් ඇන්තනී"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.