Published On:
Posted by gossip lanka live

Mount Hua in China Shaanxi

 ලෝකයේ තියෙන නඟින්න අමාරුම කන්ද ...
 චීනයේ ෂෑන්ක්සි (Shaanxi) පළාතේ ෂියෑන් (Xian) හි පිහිටි හූ ආ කන්ද (Mount Hua) ලෝකයේ නන් දෙසින් එහි ඇදෙන බිය යනු කුමක්දැයි නොදන්නා කඳු තරණයේ යෙදෙන්නන්ගේ සිත්ගත් ස්ථානයකි.

Mount Hua ලොව ඇති දුෂ්කරතම කඳු තරණය නොවන්නේ නම් එය ඉතා දුෂ්කර කඳු තරණයන් අතරින් එකක් බව නිසැකය.
මුලදී චීන ජාතිකයන් අතර ප්‍රචලිතව තිබූ Mount Hua කඳු තරණය ලොව පුරා ප්‍රචලිත වූයේ අන්තර්ජාලය හරහා එම කඳු තරණයේ බියකරු බව මුසුවූ ආකර්ෂණීය දසුන් සහිත ඡායාරූප හා වීඩියෝ පට හේතුවෙනි.

මනස්කාන්ත ගම් පෙදෙසක හදිසියේ ප්‍රාදූර්භූත වූ පර්වතයක් සේ පෙනී යන Mount Hua ගිරි ශිඛර පහකින් සමන්විත කන්දකි. ෂියාන්හි ප්‍රධාන බස් නැවතුම්පළින් පිටත්වන බසයක නැඟුණු විට පැය දෙකකින් පමණ Mount Hua තරණය කිරීම සඳහා හුඅෂාන් (Huashan) ගම්මානයට ළඟාවිය හැකිය. කඳු තරණය සඳහා වන ප්‍රධාන මාර්ගය විහිදී යන්නේ එම ගම්මානයේ පිහිටි ජෙඩ් ස්ප්‍රිං පන්සලේ (Jade Spring Temple) විශාල ගේට්ටු පළුවලින් ඇතුළුවන තැන සිටය. කඳු තරණයට ප්‍රවේශ පතක් ලබාගත යුතු අතර ඒ සඳහා චීන නිල මුදල් වර්ගය වන රෙන්මින්බ් 180ක් (RMB 180) ගෙවිය යුතු වේ.

කඳු තරණ මඟේ පළමු කිලෝමීටර් හතර ඉතා සරලව ඉහළට යන මඟක් වන අතරමඟ දෙපස ඉතා දර්ශනීය දසුන්වලින් පොහොසත්ය. උණුසුම් දිනෙක වුවද මඟ දෙපසින් ගලා වැටෙන ජල දහරාවන්හි ජලය තද ශීතලෙන් යුතුය. අනතුරුව Hairy Woman Care නමින් හැඳින්වෙන පන්සලක් හමුවේ. ඉහළට නැඟීමෙන් පසුව සුවිසල් තැනිතලා බිමක් හමුවන අතර එය කුසින් පින් යනුවෙන් හැඳින්වෙන ගිරි ශිඛරයේ පාමුල පිහිටා තිබේ. එතැන සිට ඉහළ බලන විට එම ගිරි ශිඛරය දක්වා නඟින්නේ කෙසේදැයි සිතේ. එතැන් සිට දළ බෑවුමද දෙපස අසිරිය බලමින් නැඟිය හැකිය. එහෙත් එය අවසානයේ කඳු ගැටයට සවිකොට ඇති ලී පුවරුවලට අඩි තබමින් ප්‍රපාතාකාර කඳු වැටියේ ඉහළට නැඟිය යුතුවේ.

Mount Hua හි උතුරු කඳු ශිඛරයේ මුදුන මීටර් 1615ක් උසය. එය ශිඛර පහෙන් උසින් අඩුම ගිරි ශිඛරය වන අතර, අනෙක් ශිඛර එයට වඩා මීටර් හාරසියයක් හෝ පන්සියයක් උසින් වැඩිය. උතුරු ගිරි ශිඛරය දක්වා කේබල් කාරයකින් යා හැකි වුවද අනෙක් කඳු ශිඛර තරණය කළ යුත්තේ පා ගමනින්නය.

උතුරු ගිරි ශිඛරයේ සිට Blue Dragon Ridge දක්වා ගමන අසීරුය. දළ බෑවුම නැඟිය යුත්තේ පර්වතයේ කපා ඇති අඩි මත පා තබමිනි. මෙම අඩි හැඳින්වෙන්නේ Heavenly Steps නමිනි.


Blue Dragon Ridge සිට ප්‍රධාන කඳු මුදුන තෙක් මඟ ඉතා දුෂ්කරය. පැරැණි මාර්ගයට පහළින් අත්වැට සහිත තවත් මාර්ගයක් නිමවා ඇත්තේ කඳු තරණයේ යෙදෙන්නන්ගේ ආරක්ෂාව සඳහාය. කඳු මුදුන කරා ඇදෙද්දී විඩාව නිවා ගැනීමට ශීත කළ බීම හෝ ලෙමන් මුසු කළ තේ පානය කළ හැකි වුවද ඒවා සඳහා ගෙවිය යුතු මුදල ඉතා අධිකය.

එක් එක් කඳු මුදුන් සඳහා දිවෙන මාර්ග වෙන් වෙන මංසන්ධියේ රාත්‍රි නිදාගැනීමේ පහසුකම් තිබේ. එම නවාතැන්පොළවලදී උණු වතුර නොමිලයේ ලැබෙතත්, ආහාර අධික මිලෙන් යුක්තය. ගම්බද මිනිසුන් කෑම බීම කඳු මුදුනට ගෙන යන්නේ කුලියටය. කෙසේ වුවද මවුන්ට් හුආ මස්තකයේ රාත්‍රියක් ගත කිරීමට ලැබීම ඉතා සොඳුරු අත්දැකීමක් බව කඳු තරණයේ යෙදෙන්නෝ කියති. කෙසේ වුවද ඉතිරි කඳු මුදුන් හතරින් කුමන කඳු මුදුනට හෝ නැඟීම අතිශය
දුෂ්කරය. බිය ජනකය. අවදානම් සහිතය. Mount Hua හි දකුණු ගිරි ශිඛරය මීටර් 2155 කි. එම දුෂ්කර මාර්ගයේ ඉතා බියජනක කොටස ලී පුවරු සවිකළ පටු මාර්ගයයි.

ගිරි ශිඛර මස්තකයට නැඟීමට අපේක්ෂා කරන්නේ නම් ලී පුවරු කොටසේ අවදානම දැරීමට අකැමැත්තෙන් වුවද සිදුවේ. ලී පුවරු මඟේ South Heavenly Gate පසුකරද්දී කෙනකු සිටින්නේ අඩි සියගණනක ආගාධයකට ඉහළිනි. ටික දුරක් ගමන් කරද්දී දෙදෙනකුට මාරුවීමට නොහැකි තරම් ලී පුවරු මඟ පටුවන කොටසක්ද වේ. මීටර් තිහක් පමණ ගිය විට ඉතා අෑත අතීතයේ භාවනානුයෝගීන් භාවනාවට සමවැදී සිට බව කියන ස්වාභාවික ලෙනක් හමුවේ. එතැන් සිට කඳු තරණය කරන්නන් තැනකට සවිකළ හැකි යකඩ අගුල් සහිත දම්වැල්වලින් සන්නාහ විය යුත්තේ ආරක්ෂාව සහතික වීමටය.

මෙම ප්‍රපාතාකාර බෑවුමේ හරහට ලී පුවරු මතින් ගමන් කරද්දී පහත ආගාධය බැලීමත් බියකරුය. එහෙත් දිගටම යනු හැර නැවැත හැරෙන්නටද හැකියාවක් නොවේ. කෙනකු එසේ හැරී යනවානම් අනෙක් පැත්තට හැරී ඉදිරියට යන කෙනකු වටා දෙපා තබමින් ඉතා අසීරුවෙන් පිටුපසට යා යුතුය. යාන්තම් අතපසුවීමකදී අඩි සියගණනක් යට ආගාධයකට ඇද වැටීම නියතය. කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද Mount Hua තරණය කිරීමට කඳු නඟින්නන් වෑයම් කරන්නේ අවදානම සමඟ මුසු වූ මිහිරියාවේ රසය විඳීමටය.


About the Author

Posted by gossip lanka live on 10:21 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:21 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Mount Hua in China Shaanxi"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.