Published On:
Posted by gossip lanka live

Champion of Change | Sivalingam Sivananthan

Champion of Change | Sivalingam Sivananthan

කොටි ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් තුරන් කිරීමට මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදය මිහිමතින් අතුගා දැමීමටද ශ්‍රී ලාංකේය අපේ දායකත්වය ලැබී ඇති බව සනාථ කෙරෙන සාඩම්බර පුවතක් ඇමෙරිකාවේ ධවල මන්දිරය වෙතින් පසුගිය සතියේදී අසන්නට ලැබිණි.



ධවල මන්දිර පුවතින් කියැවුණේ ශ්‍රී ලංකාවේ උපත ලද හා මේ වන විට ඇමෙරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් හොබවන සිවලිංගම් සිවනාදන් (Sivalingam Sivananthan) මහතා වෙනසක් ඇති කිරීමට දායකත්වය දුන් විශිෂ්ටයකු (Champion of Change) යන නාමයෙන් පිදීමට ධවල මන්දිරය කටයුතු කළ බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය මෙම ගෞරව නාමය ලබාදෙන්නේ ඇමෙරිකානු ජනතාවට රැකියා උත්පාදනය කරමින් හා ආර්ථික ප්‍රවර්ධනය ඇති කරමින් ඇමෙරිකානු ජාතිය ලෝකයේ අනෙක් රටවලට වඩා ඉදිරියෙන් තැබීමට උපකාරී වන ලෝකයේ වෙසෙන ඉතා දක්ෂ හා දීප්තිමත් පුද්ගලයන් සඳහා බවද ධවල මන්දිර නිවේදනයේ සඳහන් වේ.


ලෝකයේ නොයෙකුත් රටවලින් ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇමෙරිකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදුකරනු ලබන නිෂ්පාදකයන් හා ව්‍යවසායකයන් වෙනස්කමේ විශිෂ්ටයන් යන ගෞරව නාමයෙන් පිදීමට ධවල මන්දිරය කලින් කල කටයුතු කරයි.

දිගු කලෙක සිටම ඇමෙරිකාව වඩා සමෘද්ධිමත් හා නවතම සොයාගැනීම් සිදුකරන රටක් බවට පත්කිරීමට සංක්‍රමණිකයන් දායක වී ඇතැයි ඇමෙරිකාව කියයි.ගෞරව නාමයෙන් පිදෙන මෙම විශිෂ්ටයන් ව්‍යාපාර හා මහජන සේවා අංශයන්හි විශිෂ්ට නායකත්වයක් දක්වා ඇතැයි ශ්‍රී ලංකාවේ සිවලිංගම් සිවනාදන් මහාචාර්යවරයා ගෞරව නාමයෙන් පිදුම් ලැබූ උත්සවයේදී ඇමෙරිකානු ප්‍රධාන තාක්ෂණ නිලධාරී ටොඩ් පාර්ක් පැවසීය.

ධවල මන්දිර ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහාචාර්ය සිවලිංගම් සිවනාදන් රාත්‍රි කාලයේ අඳුර තුළින් යමක් පැහැදිලිව දැකීම පහසුකරවන 'නයිට් විෂන්' (Night Vision) තාක්ෂණයේ හදවත සේ සැලකෙන රසායනික ස්ඵටිකය සොයාගැනීමට දායක වූ විද්‍යාඥයා වෙයි. මහාචාර්ය සිවලිංගම් සිවනාදන්ගේ මේ විශිෂ්ට සොයාගැනීම ඇමෙරිකාවට හඳ පායා නැති ගනඳුරු රැයක අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා පාකිස්තානයේ කළ මෙහෙයුම සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් වූයේය.ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ 9/11 ප්‍රහාරයෙන් අනතුරුව අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී සිටින තැන සොයා ගැනීම ඇමෙරිකාවට මහත් අභියෝගයක් විය. එහෙයින් 9/11 ප්‍රහාරය සිදුවූ 2001 සිට ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම දක්වාම මෙහෙයුම් දියත් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ඉතා අධික වැය බරක් ඇමෙරිකාව විසින් දරන ලදී.


බින් ලාඩන් සෙවීමේ මෙහෙයුම සඳහාම පිහිටුවනු ලැබූ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් විධාන හෙවත් JSOC මෙහෙයුම් වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියනයක් වෙන්විය. JSOC ආරක්ෂක මෙහෙයුම් හා බුද්ධි අංශ මෙහෙයුම් ප්‍රවර්ධනය කරන අතරම, අවශ්‍ය තාක්ෂණික මෙවලම් ප්‍රවර්ධනය කිරීම හා ගුවන් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා ද වෙනත් ඒකක දෙකක් මඟින් කටයුතු කරනු ලැබිණි.


බින් ලාඩන් සැඟවී සිටි පාකිස්තානයේ ඇබ්බොට්ටාබඩ්හි පිහිටි සුපිරි මන්දිරය පිළිබඳ ඉඟිය ලත් තැන සිට එය සැකහැර තහවුරු කර ගැනීම සඳහා ද බින් ලාඩන් ඝාතනය කිරීමේ නේවි සීල් මෙහෙයුම දියත් කෙරිණ. ආරම්භයේ පටන් එම මෙහෙයුම ධවල මන්දිරයේ සිටි ජනාධිපති බැරැක් ඔබාමා තම නිලධාරීන් සමඟ නරඹන තෙක් මෙන්ම ඝාතනය වූයේ ඔසාමා බින් ලාඩන්ම බවට තහවුරු කිරීමේ ක්‍රමවේදයන් භාවිත කොට ක්‍ෂණයකින් ඝාතනය කළ ස්ථානයේදීම තහවුරු කිරීම් කරන තුරා භාවිත වූයේ මේ වැඩිදියුණු කරන ලද තාක්ෂණයන්මය.


වැඩිදියුණු කරන ලද නවීන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ මෙහෙයුම් එක් තැනකදී පමණක් නොව තැන් කිහිපයකදීම අපගේ මහාචාර්ය සිවලිංගම් සිවනාදන් සොයාගත්, නිමැවූ හෝ ඔහු විසින් වැඩිදියුණු කරන ලද තාක්ෂණය යොදා ගත් බව නිසැකය.ආලෝකය විදුලිය බවට ප්‍රතිවර්ත කිරීමේ මූලධර්මය මත ක්‍රියාකරන MCT තාක්ෂණය සොයාගැනීම සිවලිංගම් සිවනාදන් මහාචාර්යවරයාගේ නාමය නයිට් විෂන් තාක්ෂණය තුළ ප්‍රමුඛතාවකින් සටහන්වීමට හේතුවී තිබේ. මර්කරි (Mercory), කැඩ්මියම් (Cadmium) හා ටෙලලුරයිඩ් (Telluride) මූලද්‍රව්‍යයන් සංයෝජනය කරමින් මහාචාර්ය සිවලිංගම් විසින් නිමවන ලද අර්ධ සන්නායකය MCT යනුවෙන් හඳුන්වන ලද අතර, ඇමෙරිකානු හමුදාවට බාධා ඉවත්කරමින් ආරක්ෂිත මාර්ගයක් සාදා දීමට එයට හැකි විය.

බින් ලාඩන් මෙහෙයුමට පසුව පාකිස්තානයේ හෝ අසල්වැසි රටවල ගුවන් ආරක්ෂක පද්ධතියන්හි රේඩාර් යාන්ත්‍රණයට හසු නොවී නේවි සීල් භටයන් විසිපස් දෙනකු පාකිස්තානයේ බින් ලාඩන් සැඟව සිටි සුවිසල් මන්දිරය අසලටම ප්‍රවාහනය කළේ බ්ලැක් හ්වෝක් (Black Hawk) හෙලිකොප්ටර් යානා දෙකකිනි. එම හෙලිකොප්ටර් යානාවන්හි මතුපිට ස්තරය රේඩාර් කිරණවලට සංවේදී නොවන විශේෂ මතුපිට ආලේපයකින් යුතු වූයේද යන සැකය මතුවිය. මෙතෙක් එහි රහස ඇමෙරිකාව අනාවරණය නොකළද එකී වික්‍රමය පසුපස ද අපේ මහාචාර්යවරයා ද සිටින්නට බැරි නැත.


එසේම බින් ලාඩන් රහසේ සැඟවී සිටි ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා මන්දිරය පිළිබඳ දැනගැනීමට ලැබුණු පසු ඇමෙරිකානු රහස් ඔත්තු සේවය වන CIA හි නිලධාරීන් ඒ ආසන්නයේ නිවෙසක් කුලියට ගෙන එහි සිට විශේෂිත දුර කැමරා මඟින් ඡායාරූප ලබාගනිමින් එහි වාසය කරන්නවුන් ගැන වැඩිදුර තොරතුරු ලබාගත් බව කියැවේ. එම කැමරා අධෝරක්ත කිරණ තාක්ෂණය භාවිත වූ කැමරා බවද කියැවේ. එසේම එම මන්දිරය තුළ වූ කතාබහට වැඩිදියුණු කළ ශ්‍රවණ උපකරණ ඔස්සේ ඇහුම්කම් දුන් බවද, හදිසි ප්‍රහාරයකදී මන්දිරයේ වාසය කරන්නවුනට පලා යා හැකි රහස් ‍ෙදාරටු පිළිබඳව සැටලයිට් රේඩාර් තාක්ෂණය යොදාගෙන ප්‍රහාරයට කල්තියාම සොයා බැලූ බවද කියැවේ.

මුහුදේ, ගුවනේ මෙන්ම ගොඩබිමේද මෙහෙයුම් කිරීම සඳහා විශේෂ පුහුණුව ලැබූ නාවික භටයන්ගෙන් යුතු වූ නේවි සීල් භට කණ්ඩායම පාකිස්තානයේ ප්‍රහාරය එල්ල කරන මොහොතේ ඇමෙරිකාවේ ධවල මන්දිරයේ සිට එය සජීවීව නැරැඹීමට ජනාධිපති ඔබාමා ඇතුළු නිලධාරීන්ට හැකිවී තිබුණේ ඔවුන් පැලැඳ සිටි ආරක්ෂිත හිස්වැසුම් (Helmet) වල සවිකොට තිබූ කැමරා හරහාය. එම කැමරාවලින් වීඩියෝ කළ දසුන් සජීවීව රැහැන් රහිත (Wireless) තාක්ෂණය ඔස්සේ ධවල මන්දිරයට ළඟා වූ අතර පසුව මෙහෙයුම සාර්ථක වූ බවට හමුදාමය නිල පණිවුඩය ද වීඩියෝ පටයක් ලෙසින් ධවල මන්දිරයට එවනු ලැබිණි.



නේවි සීල් කණ්ඩායම මඟින් ඝාතනයට ලක්වූයේ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ම දැයි සැක හැර දැනගැනීම සඳහා ඔහුගේ කළු ඉංගිරියාව ස්කෑන් කරගනු ලැබිණි. ඇඟිලි සලකුණු හා මුහුණේ හැඩරුව සසඳන ලදී. මෙම සියලු සැසඳීම් සඳහා ද උපයෝගී වූයේ නවීන තාක්ෂණය උපයෝගී කරගත් රාත්තල් හතරකටත් අඩු බරක් ඇති සිගරැට් පෙට්ටියක තරමේ විශාලත්වය ඇති උපකරණයකි. ජෛවීය දත්ත ස්කෑන් කිරීමට මෙන්ම ඒවා පිටතට යැවීමට හැකි වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියක් ඇති සම්පූර්ණ පරිගණකයක් වන මෙම මෙවලම තොරතුරු එවේලේම පාකිස්තානයේ සිට ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI වෙත යවා ඝාතනය වූයේ ඔසාමා බින් ලාඩන්ම බව තහවුරු කරගැනීමට හැකි තාක්ෂණයකින් සමන්විත විය.



මෙසේ බින් ලාඩන් ඝාතන මෙහෙයුමේදී ප්‍රවර්ධනය කරන ලද නවීන තාක්ෂණයෙන් ඇමෙරිකාවට ලැබුණු සහාය අපමණය. එයින් සෑහෙන ප්‍රමාණයකට ශ්‍රී ලාංකික ශිවලිංගම් ශිවනාදන් මහාචාර්යවරයාද දායක වී ඇති බවට ඉඟියක් ලැබෙන්නේ නවීන තාක්ෂණ ප්‍රවර්ධනයට ඔහුගේ දායකත්වය මෙන්ම 1998 තරම් කලෙක සිට ඇමෙරිකානු යුද හමුදා අංශයට ඔහුගේ විශේෂ ඥානයෙන් දක්වා ඇති දායකත්වය හේතුවෙනි.



ශ්‍රී ලංකාවේ උපත ලද සිවලිංගම් සිවනාදන් මහාචාර්යවරයා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ යාපනයේ හින්දු විද්‍යාලයෙනි. ඒ 1967-1975 දක්වා කාලය තුළය. උසස් පෙළ සමත්වන ඔහු 1976දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර භෞතික විද්‍යාව සඳහා උපාධිය ලබා 1980දී විශ්වවිද්‍යාලයෙන් පිටවේ. අනතුරුව ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ඇමෙරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියට යයි. ඉලිනොයිස් සරසවියෙන් ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබාගන්නා අතර එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස මේ දක්වා සේවය කරයි.



සිවනාදන් මහාචාර්යවරයාගේ ජීවන තතු එසේ සරලවම පැවසිය හැකි නමුදු ඔහු ජීවිතයේ අමිහිරි කටුකතාවනට මුහුණ නොදුන්නා නොවේ. 1983 ශ්‍රී ලංකාවේ අමිහිරි ජනවාර්ගික ගැටුම් ඇතිවන සමයේ ඔහු සිටියේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධියේ අවසන් පරීක්ෂණය සඳහා නිබන්ධනය සැකසීමේ ආරම්භක අවස්ථාවේය. එය ඇසූ වනම ඔහුට ශ්‍රී ලංකාව බලා ආපසු ඒමට වුවමනා වූයේ ශ්‍රී ලංකාවේ සිටි බිරියගෙන් කිසිදු ආරංචියක් නොලැබීම හේතුවෙනි. ඇය කොතැනක සැඟවී ඇත්දැයි කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වී තිබිණි.



කෙසේ වුවද දැනට විශ්‍රාම ගෙන සිටින ජේම්ස් ගාර්ලන්ඩ් නම් මහාචාර්යවරයා සිවනාදන් අස්වසාලමින් මෙම ගැටුම්කාරී අවස්ථාවේ ශ්‍රී ලංකාවට ගොස් අමාරුවේ වැටීමට ඉඩ ඇති බැවින් එහි නොයෑමට ඔහු එකඟ කරවාගත්තේය. එසේම ආචාර්ය නිබන්ධනයේ කටයුතු දිගටම කරගෙන යෑමට දිරිමත් කළේය. මෙම දිරිමත් කිරීම් තීරණයක් ගැනීමට පහසුවක් වූ බව මහාචාර්ය සිවනාදන් පසු අවස්ථාවක සඳහන් කොට තිබේ.

පසු කාලෙක බිරිය ද චිකාගෝ කරා ගෙන්වා ගැනීමට ඔහුට හැකිවී ඇති අතර චිකාගෝ නිවහන කරගත් ඔවුනට දියණියන් දෙදෙනක් ද සිටිති.මහාචාර්ය සිවනාදන් ඔහුගේ නව සොයාගැනීම් වාණිජ මට්ටමින් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා 1998 දී EPIR ටෙක්නොලොජිස් නම් සමාගම චිකාගෝහි බොලිංබෘෘක්හි ආරම්භ කළේය. එම විද්‍යාගාරය තුළ ඔහු නොකඩවා වෙහෙසුණේ බලශක්ති අර්බුදයෙන් පීඩාවිඳින ලෝකයාට ලාභදායී සූර්ය බලශක්ති කෝෂ නිෂ්පාදනය කිරීමටය. භාවිතයේ පැවැති අධිබල සිලිකෝන් කෝෂ (Silicon-cell technology) වෙනුවට ඊට වඩා ලාභදායී හා කාර්යක්ෂම කැඩ්මියම්-ටෙල්ලුරයිඩ් (Cadmium-Telloride) සංයෝගය සිලිකන් මත ආලේප කර යොදාගැනීමට ඔහු සමත් විය. ඔහුගේ සූර්ය කෝෂ වැඩසටහන් සඳහා ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවෙන් අරමුදල් ලැබිණ.



1998දී ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාගාරයේදී කළ පරීක්ෂණ අනුව මර්කරි-කැඩ්මියම් හා ටෙල්ලුරියම් මූලද්‍රව්‍ය සහබන්ධනය කරමින් සෑදූ ස්ඵටික යොදා ගනිමින් නිපද වූ අධෝරක්ත කිරණ (Infrared) නයිට් විෂන් තාක්ෂණය සඳහා වාණිජ වශයෙන් යොදා ගනිමින් ආරම්භ කළ සමාගමට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බොහෝ ඇණවුම් ලැබෙන්නට විය.



එසේම සිවනාදන් මහාචාර්යවරයාගේ නිමැවුමක් වන බෙල් මාදිලියේ ඉන්කියුබේටරයද විද්‍යාත්මක ලෝකයේ මහත් ප්‍රසිද්ධියට ලක් වූ නිමැවුමකි.සිවලිංගම් සිවනාදන් මහාචාර්යවරයාගේ මෙතෙක් නොවූ විරූ විස්මිත නිමැවුම් හේතුවෙන් මීට පෙරද ඔහු සම්මානයට පාත්‍ර වී තිබේ. 2005 වසරේදී ඉන්ෆෙරෙඩ් සංවේදී තාක්ෂණය (Infrared Sensor Technology) වෙනුවෙන් Electronic Sensors Directorate යන සම්මානයෙන්ද එම වසරේදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවෙන් නයිට් විෂන් තාක්ෂණය වෙනුවෙන් Friend of the Night සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.



මේවන විට මෙම සම්මානිත මහාචාර්යවරයා සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ලාභ නොලබන අධ්‍යයන ආයතනයක් පවත්වාගෙන යන අතර ඇමෙරිකානු විද්‍යා සඟරා කිහිපයකම සංස්කාරකවරයා ලෙසද කටයුතු කරයි.

About the Author

Posted by gossip lanka live on 10:28 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:28 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Champion of Change | Sivalingam Sivananthan"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.