Published On:
Posted by gossip lanka live

Chat With Himali siriwardana හොඳම නිළිය සම්මානය මගේ පස්වැනි සම්මානයයි



එදා වේදිකාවට ගොඩවුණ විදිය මට තවමත් මතක නැහැ



දම් පාට මැල් වැටුණු චීත්ත ගවුමේ මල් ගෙතුම බොඳ වෙලා. සායම් හේදුණු චීත්ත ගවුමේ පාණ්ඩු පාට මතු වෙලා. තැනින් තැන දියවුණු ඒ චීත්ත ගවුම ඇඟලා ගත් මද්දුමීගේ ගමන එක්වරම නැවතුණා. රාස්සිගේ අව්වෙන් නැහැවුණු ගහකොළ ඈට අත වැනුවා.

දිය කඩිත්ත ළඟ පඳුරේ දම් පාට බිනර මල මද්දුමීට හිනා වුණේ පුරුද්දට වගේ. බිනර මල මත වැටුණු රාස්සිගේ අව් දැල්ල බිනර මල සිප ගත්තේ ආදරෙන්. පරිසරයේ සොඳුරු බව විදින මද්දුමීගේ උවනට නැගුණේ හීන් හිනාවක්. ඒ හිනාවත් අරගෙනම අපේ නිහනට ගොඩ වදින්නට අපි ඈට ආරාධනා කළා.

සඳගිරි පව්වේ මද්දුමී

පසුගිය කාලයේ ස්වර්ණවාහිනිය නැරඹුව කවුරුත් ඈට ආමන්ත්‍රණය කළේ එහෙමයි. මේ චරිතයට පණ පෙව්ව හිමාලි සිරිවර්ධන කියන ඔබ ආදරය කරන රංගන ශිල්පිනියට පසුගිය දිනෙක ලැබුණේ සොඳුරු ආදරයක්. ඒ මද්දුමී කියන මුරණ්ඩු කෙල්ලගේ රඟපෑම වෙනුවෙන්. 2012 ඕ. සී. අයි. සී. සම්මාන උළෙලේ හොඳම නිළිය විදියට අභිෂේක ලබන්නට හිමාලිට වාසනාව ගේන්නේ ඒ මුරණ්ඩු කෙල්ල මද්දුමී.

ඉතිං මද්දුමී

සුපුරුදු නමින් මා ඈ ඇමතුවා.

සමන්කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ සඳගිරි පව්වටෙලි නාට්‍යයෙහි මද්දුමීගේ චරිත නිරූපණය සඳහායි මට මේ සම්මානය හිමි වුණේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ක්ෂේත්‍රයට ඇවිල්ලා වැඩි කාලයක් නොවුණා වගේම මා සම්බන්ධ වූ නිර්මාණ තිබෙන්නෙත් සීමිත ප්‍රමාණයක්. ඒ හරහා හොඳම නිළියට හිමි සම්මානය ලැබීම රංගන ජීවිතයේදී මා ලැබූ භාග්‍යයක්.

මට දැනෙන්නේ පියවර කීපයකින් ඉදිරියට ගියා කියන හැඟීමක්.ජීවිතයට ලැබෙන සොඳුරු හැඟීම් හදවතට තුරුළු කරගෙන හිමාලි පැවසුවා. ඒ සොඳුරු හැඟීම පරිපූර්ණ වුණේ පසුගිය දවසක වුණත්, ඊට පෙරදිත් ඈ සම්මාන කිහිපයකම අයිතිකාරියක්.

මේ කීවෙනි සම්මානයද?

පස්වැනි සම්මානය. පළමුවෙන්ම ලැබුණේ 2007 වසරේදී. ඒ රයිගම් සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක්. සුමති සම්මාන උළෙලේදී නැඟී එන නිළියට හිමි සම්මානයත්, රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ දී හොඳම නිළිියටත් නිර්දේශ වුණා. එහිදී මට ලැබුණේ විශේෂ ඇගයීම් සම්මානයක්. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී මේ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයක් ලැබුණා. ඊළඟට ලැබුණු හොඳම නිළිය සම්මානය මගේ පස්වැනි සම්මානයයි.

හොඳම නිළියක් ලෙස අභිසෙස් ලැබීමට හැකි වන්නේ අහම්බෙන්. ජීවිතයේ ලැබෙන ඒ සුවිශේෂී මොහොතට මුහුණ දුන් හිමාලි සිරිවර්ධනට මේ සම්මානය රටක් වටිනවා.

හොඳම නිළිය කියන සම්මානය ගැන මොකද හිතෙන්නේ?

මා පියවරෙන් පියවර ඉදිරියට ආව බවක් මට දැනෙනවා. සම්මානවලදී වුණත් එහෙමයි. ඒ නිසා මට ගොඩක් සතුටුයි. එවන් සම්මානයක් ලබන්නට නම් වාසනාවන්ත විය යුතුයි. අපේ හොඳ රංගන ශිල්පිනියක් ඕන තරම් ඉන්නවා. ඒ අය කොයි තරම් හොඳ වුණත් සම්මානයක් ලැබෙන්නේ කලාතුරකින්.

ඒ අතරම නිතරම සම්මාන ලබන අයත් මේ අතර ඉන්නවා. එවන් වකවානුවක ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළත සම්මානයක් ලැබීම මගේ ජීවිතයට ගොඩාක් වටිනවා. ඒ ලැබීම ලබන්න මම වාසනාවන්ත වගේම මොනව හෝ පිනක් කරලා ඇති කියලා හිතනවා.

සම්මානය ලැබෙන අවස්ථාවේ දැනුණ හැඟීම මොන වගේද?

සම්මානයක් ලැබීමට නිර්දේශිත වී ඇති බව මට කිව්වේ දුරකතනයෙන්. ඒ අවස්ථාවේ මගේ සිතේ යම් සතුටක් තිබුණා. ඒත් නිර්දේශිත වුණේ කුමකටදැයි ඔවුන් පැවසුවේ නැහැ. මා රඟපෑ මද්දුමීගේ චරිතය නිසා ඒ සම්මානය ලැබෙන්නට නියමිත බව පමණක් මගේ මතකයට නැඟුණා.

මේ චරිතය ස්වර්ණවාහිනියෙන් විකාශය වුණාට පස්සේ බොහොම දෙනෙක් කිව්ව කතාවක් තිබුණා. ඒ මේ චරිතය මා හොඳින් රඟපෑව බවයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මට මෙවර සම්මානයක් හිමි විය යුතු බවත් ඔවුන් පැවසුවේ අවංකවමයි. කොහොම නමුත් සම්මාන දෙන අවස්ථාවේ අනෙක් එක් සම්මානයක් සඳහාවත් මගේ නම නොකිය වුණු නිසා මා හොඳම නිළිය ලෙස තේරී ඇති බවත් මට සිතුණා.

ඒ සතුට සැබෑ කරමින් හොඳම නිළිය විදියට මගේ නම කියැවෙද්දී මගේ කකුල් දෙක වෙව්ලන්න ගත්තා. හැමදාමත් මට එහෙමයි. මාව කොයි තරම් වෙව්ලුවා ද කිව්වොත් වේදිකාවට නැග්ගේ කොහොමද, සම්මානය ගත්තේ කොහොමද කියලා තවමත් මට අමතකයි.

හිමාලි සිරිවර්ධනගේ දෙනෙත් දිළිසුණා. සඳගිරි පව්වේ චරිතය කමලා වුණත් ඈව හැමෝම ඇමතුවේ මද්දුමී කියලා. යුවතියකගේ අවදියේ පසුවෙන මද්දුමී බොහොම හිතුවක්කාරියක්. මේ හිතුවක්කාර යුවතියගේ හිතේ ඇතිවන ආදරය නිසාම ඈ ගැබ්බර වෙන්නේ මේ අතරදි. දුප්පත්කමේ පතුලේ හිරවෙලා ඉන්න මුද්දුමී ඉන් ගොඩ එන්නයි කොහොම හරි හිතන්නේ. ඒ නිසයි ගමේ පොහොසත් පවුලක පිරිමි ළමයෙක් සමඟ ආදර සම්බන්ධයක පැටලෙන්නේ. අවසානයේදී ඈ ගැබ් ගන්නවා.

ඈ ඇති කරගන්නා මේ තත්ත්වය නිසා මුළු පවුලම විනාශය කරා ඇදී යනවා. අම්මා හා අක්කා මිය යනවා. අයියා බන්ධනාගාර ගත වෙනවා. මද්දුමීගේ ජීවිතයේ විවිධ කාල වකවානුවලදී ඈ හැසිරෙන ආකාරය වෙනස්.

ඈ යුවතියක අවදියේ හැසිරෙන ආකාරය, ඊට පස්සේ අම්මා කෙනෙක් කියන භූමිකාවේදී, දරුවා ලැබුණු පසුව දරුවාත්, නංගීිවත් බලාගෙන ජීවිතයට මුහුණ දෙන අයුරුයි මේ චරිතයෙන් කියැවෙන්නේ. ඒ නිසා ඒ ඒ අවදිවලදී ඒ චරිතයට උචිත අයුරින් මගේ රංගනය නිර්මාණය කරගන්න මා මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵලය අද මට ලැබිලා තිබෙනවා.

සඳගිරි පව්වරූගත වුණේ ගල්ගමුව කියන දුෂ්කර ගම්මානනයේ. දුෂ්කර ගමක දුප්පත් පවුලක උපන් මද්දුමී කියන්නේ දුප්පත් කෙල්ලක්. ගමේ බොරළු පාරේ ඇවිදින්න ඈට සෙරප්පු දෙකක් තිබුණේ නෑ. ඒ ගමේ තිබුණු බොරළු පාරේ ඇවිදින්න මට සිදු වුණේ සෙරප්පු දෙකක් නැතිවයි. තද අව්වේ බොරළු පාරක ඇවිද ගෙන යනකොට බොරළුවලට කකුල කැපිලා ලේ ගලනවා. මද්දුමී ගේ තරුණ කාලය ගෙවෙන්නේ අගහිඟකම් මැද්දේ නිසා ඊට උවමනා විදියට මට ශරීරය කෙට්ටු කර ගන්න සිදු වුණා.

සමහර දවසකට උදේ රූපගත කිරීම් සඳහා නැඟිට්ටේ පාන්දර දෙකට විතර. මේ වගේ කැපවීමකින් තමයි මද්දුමීගේ චරිතය මා රඟපෑවේ. මේ චරිතය සාර්ථකව ඉදිරිපත් කරන්න මාත් සමඟ රඟපෑ රංගන ශිල්පීන්, ශිල්පිනියන්, අධ්‍යක්ෂවරයා වගේම කණ්ඩායමේ අනිත් අයගෙන් ලැබුණ සහයෝගයත් මතක් කරන්න ඕනෑ. ඒ වගේම මගේ මහත්තයා, නිවෙසේ අනිත් අයගෙන් ලැබෙන සහයෝගය නැත්නම් මේ තරම් දුර ගමනක් මට එන්නට ලැබෙන්නේ නෑ. ඔවුන් හැමෝටම මා ස්තුතිවන්ත විය යුතුයි.

මේ දවස්වල හිමාලි මොකද කරන්නේ?

සුරංග අල්විස්ගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පෙව්වා. අර්ජුන කමලනාත්, රන්ජන් රාමනායකත් සමඟයි ඒ චිත්‍රපටයේ රඟපාන්නේ. මෙතෙක් මා චිත්‍රපට සඳහා රංගනයෙන් සහභාගි වුණේ නෑ. මේ චිත්‍රපටය මට සුවිශේෂයි. චාමර පීරිස්ගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අවසානයි. ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වීමේ අදහසක් තිබෙනවා.

මද්දුමීගේ හිනාවෙන් සරසවියආලෝකමත් වුණා. ඒ ආලෝකය ඈට සුන්දරත්වයක් ගෙනාවා. වාසනාව ගෙනාවා. හිමාලි ඔබට සරසවියෙන් සුබ පැතුම්!

සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

තිලානි ශානිකා විතානාච්චි

About the Author

Posted by gossip lanka live on 4:16 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:16 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Himali siriwardana හොඳම නිළිය සම්මානය මගේ පස්වැනි සම්මානයයි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.