Chat With Sunil T Fernando
ඔහු ‘සිනමාව‘ නම් වූ අසිරිමත් මාධ්‍යයට
ආදරය කරන්නට පටන්ගත්තේ පාසල් යන ශිෂ්‍යයකුව සිටියදීය. ඒ ආදරය අද
බොහෝ දුර දිග ගොස් දැවැන්ත වෘක්ෂයක්ව ලියලා වැඩුණු එකක් බවට පත්
වී හමාරය. එදා පුංචි කොලු ගැටයකු ලෙසින් සිනමා කර්මාන්තයට එක් වූ ඔහු අද සිනමාවේ
සිටින ජනපි‍්‍රයතම නිෂ්පාදකවරයාය. දශක තුනකට ආසන්න සිය සිනමා දිවියේ චිත්‍රපට
පනස් හතරක් නිපදවීමේ අපූරු වාර්තාව ඔහු සතු වෙයි. ඔහු සුනිල් ටී. ප්‍රනාන්දු
ය. තම දායකත්වය යටතේ චිත්‍රපට දෙකක් නිෂ්පාදනය වෙමින් තිබියදී, ඔහු පසුගියදා
සිය පනස් හතරවැනි චිත්‍රපටයේ ආරම්භය සනිටුහන් කළේය.
ඒ සමඟම ඉදිරි මාස දෙක
ඇතුළත මේ වන විට නිෂ්පාදන කටයුතු හමාර කර ඇති ඔහුගේ ‘දරුවනේ’ චිත්‍රපටය මුදාහරින්නට
ද ලහි ලහියේ සූදානම් වෙයි. මේ සියලු කාරණා මූලික කර ගනිමින් පසුගියදා
සුනිල් ටී. සමඟ පැවැත්වූ කතාබහකි මේ.
චිත්‍රපට
නිෂ්පාදනයෙන් අර්ධ ශතකයක් පසු කරමින් අද ඔබ මේ ක්ෂේත්‍රයේ ගමන් කරනවා. අපි අතීතයට
ගියොත් එදා ඔබ පළමු නිෂ්පාදනය කරත්දි චිත්‍රපට නිෂ්පාදනයෙන් මේ තරම් දුර ගමනක්
පැමිණේවි යැයි සිතුණා ද?
නෑ. කවදාවත්ම හිතුණේ
නෑ. මගේ පළමුවැනි චිත්‍රපට නිෂ්පාදනය කරන්න එක්වෙනකොට මම පාසල් යන
ශිෂ්‍යයෙක්. ඒ කාලේ කවදාවත් මට හිතුණේ නෑ මේ කර්මාන්තයේ මේ තරම් දුර දිග යයි කියලා.
මේ තරම් ජනපි‍්‍රය පුද්ගලයෙක් වෙයි කියලා මට හිතුණෙත් නෑ. මගේ චිත්‍රපට නිෂ්පාදනයේ
අතීතය මතක් කරන්න මම ආසයි. මේ අතීතය තුළ කිව හැකි, කිව නොහැකි සුන්දර කතා
ගොඩාක් තිබෙනවා. ඒ කාලේ මා නිෂ්පාදනය කළ චිත්‍රපට ගැන අද හිතනකොට එදා මම මොනවද කළේ
කියලා දැන් හිතෙනවා. වර්තමානයේ මේ මාස තුන හතර ඇතුළත බැලුවොත්, දැන් නිෂ්පාදනයේ පවතින
උදයකාන්ත වර්ණසූරියගේ ‘කොස්තාපල්
පුඤ්ඤසෝම, නිලේන්ද්‍ර
දේශපි‍්‍රයගේ ‘තණ්හා රති
රඟා’ තව
නොබෝ දිනකින් තිරගත වීමට සූදානම් වන ‘දරුවනේ’ ජනවාරි
මාසයේ තිරගත වීමට නියමිත සුදේශ් වසන්ත පීරිස් ගේ ‘ජීවිතේ ලස්සනයි’
වැනි චිත්‍රපට ගත්තම
මට හිතෙනවා මගේ නිෂ්පාදන ජීවිතේ හොඳම කාලය, සතුටුම කාලය තමයි මේ එළඹිලා තිබෙන්නේ
කියලා.
එදා ඔබ
චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙත්දි මුහුණ දුන් දුෂ්කරතා, අසීරුතා මොනව ද?
1981
දී තමයි ඉස් ඉස්සරම මම චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණේ. ඒ කාලේ මම උසස් පෙළ හදාරන
සිසුවෙක්. පුරා අවුරුදු 30
ට ආසන්න කාලයක් තුළ මේ ක්ෂේත්‍රයේ බොහොම දරුණු දේවල්වලටත් සුන්දර
දේවල්වලටත් මම මුහුණ දුන්නා. 1983 දී පළමුවරට මම ‘චණ්ඩි පැටව්’ චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඊට පස්සෙ ‘මද්දුම බණ්ඩාර’, ‘පුතුනි මට සමාවෙන්න’,
‘කෝ හතුරෝ’
වැනි චිත්‍රපට කළා.
මේ චිත්‍රපට හතරම මට පාඩුයි. වෙන කෙනෙක් නම් මේ කර්මාන්තය අතහැරලා
දාන්නේ ඒ කාලේදීමයි. නමුත් එදා මම හිතුවා ළිඳේ වැටිච්ච මිනිහා ළිං
කටින්ම ගොඩ ආ යුතුයි කියලා. ඊට පස්සේ මම සෝනියා දිසා එක්ක එකතු වෙලා ‘ජය අපටයි’ හැදුවා. ඊට පස්සේ
තවදුරටත් මේ කර්මාන්තයේම රැඳී ඉන්නවා කියන චේතනාව මට තිබුණා. එහෙම හිතපු
නිසා තමයි අද එතනින් මට ගොඩවෙන්න පුළුවන් වුණේ.
චිත්‍රපට
කර්මාන්තය තුළ මේ තරම් දුර ගමනක් එන්න හේතු වුණේ කුමක් ද?
හේතුව මගේ සුන්දර
හිත. සිනමාව තුළ මම බොහෝ සොඳුරු දේ දැක්කා. සිනමාව හින්දා අපූරු රසාස්වාදයක්
වින්දනයක් මම ලැබුවා. නිෂ්පාදනය කරන ගමන්ම මේ කර්මාන්තය නිසා මම සතුටු වුණා.
චිත්‍රපට 54
ක් කරත්දි කොයිතරම් නළු නිළියෝ ප්‍රමාණයක් මම හඳුනගන්න ඇත්ද? ඒ විතරක්
නොවෙයි සිනමාව නිසා අතිගරු ජනාධිපතිතුමාගේ සිට විවිධ තරාතිරම්වල විවිධ පුද්ගලයින්
මට හඳුනා ගැනීමට හැකි වුණා. අනිත් විශේෂ කාරණාව තමයි මගේ චිත්‍රපට කරපු හැමදෙනාත්
එක්කම මම සුහදව වැඩ කරපු ආකාරය. ඒ කිසිම කෙනෙකුට මම බොරු කරලා නෑ. ගාණක් ගෙවන්න
පොරොන්දු වුණානම් ඒ හැම දේම වෙලාවට කරලා ඇති. කාටවත් පොලු තියලා නෑ. සමහර චිත්‍රපට
මට පාඩු වුණත් මම ගෙවීම් හරියට කළා. එදා මහා නළු ගාමිණී ෆොන්සේකාගේ සිට අද ඊයේ
ක්ෂේත්‍රයට පැමිණි නළු නිළියොත් මාත් එක්ක සුහදව වැඩ කරලා තිබෙනවා. මේ දියුණුවට,
ආශිර්වාදයට හේතුව ඒක
කියලයි මම හිතන්නේ.
අර්ධ
ශතකයකටත් එහා ගිය ඔබේ නිෂ්පාදන ලැයිස්තුවේ චිත්‍රපට අතරින් සම්භාවනීයත්වයට, සම්මානයට පාත්‍ර වූ නිර්මාණ ඇත්තේ අල්පයයි. එවන් නිර්මාණ කරන්නට ඔබ
උනන්දු නොවුණේ ඇයි?
මේකට මම හොඳ
උදාහරණයක් කියන්නම්. අපේ රටේ විතරක් නොවෙයි විදේශීයව පවා සම්මානයට පාත්‍ර
වුණු ‘කලියුගය’,
‘යුගාන්තය’ වැනි චිත්‍රපට
නිෂ්පාදනය කළ විජය රාමනායක ගැන ඔබ දන්නවා ඇති. ඔහු ‘තරංගා’ ලේබලය යටතේ කැසට් පට
නිෂ්පාදනය කළ විශාල මුදල් සම්භාරයක් තිබුණු පුද්ගලයෙක්.
නමුත් අද ඔහු කිසිදු ආකාරයකින් ඇගැයීමකට ලක්වෙනවා මමනම් දැකලා නෑ.
ඒ තියා සිනමාවට සම්බන්ධ කිසිදු උත්සවයකටවත් ආරාධනා ලැබ පැමිණ සිටිනවා මා දැක නැහැ.
ඔහු මේ හොඳ නිර්මාණ කරන්න ගිහින් මුදලුත් කාලයත් ව්‍යාපාරත් පාඩු කර ගත්තා. ඉතින්
මම හිතුවා එවැනි මුදල් පාඩු මම කරගත යුතු නැහැයි කියා. මගේ ව්‍යාපාරවල මූලික අරමුණ
විය යුත්තේ මුදල් හම්බ කිරීම. මුදල් තිබුණොත් තමයි මේ හැම දෙයක්ම කරන්න පුළුවන්
වෙන්නේ. ඒ හින්දම තමයි මම ඒ කාලේ ජනපි‍්‍රයම චිත්‍රපට අධ්‍යක්ෂවරයා වූ සුනිල්
සෝම පීරිස් මගේ නිර්මාණ සඳහා යොදා ගත්තේ.
ඔබ
නිෂ්පාදනය කළ චිත්‍රපට 54න් 38 ක්ම සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළේ ඒ නිසා ද?
ඔව්. ඒ කාලේ ඔහු මට
අවශ්‍ය දේ නියම ආකාරයෙන් කරලා දුන්නා. ඒවා බොහොමයක් මුදල්මය පැත්තෙන්
සාර්ථකයි.
මෙවර
ඔබ ඔහුගේ පුතා සුදේශ් වසන්ත පීරිස් තෝරා ගත්තේ ඇයි?
මේ චිත්‍රපටයත්
සුනිල් සෝමට තමයි කරන්න දීලා තිබුණේ. ඒත් එක දවසක මට හිතුණා මේක ඔහුගේ
පුතාට දීලා බලන්න. ඊට පස්සේ මම සුනිල් සෝමට කතා කරලා ඔහුගේ පුතාට මේක දෙමු කියලා
යෝජනා කළා. සුනිල් සෝම බොහොම බැති සිතින් ඒකට එකඟ වුණා. අඩු තරමින් ඔහු තමාට අයිති
මුදලවත් ගත්තේ නෑ. ඒ වෙලාවේ සුනිල් සෝම ගැන මට හරියට ආඩම්බර හිතුණා. ඔහු කොයිතරම්
ආදරණීය තාත්තා කෙනෙක් ද කියලා.
තමන්ගේ ආදරණිය පුතා
වෙනුවෙන් ඔහු තමාට ලැබුණු අවස්ථාව කිසිම ලෝබ කමක් නැතුව පරිත්‍යාග කළා.
එතෙන්දි නම් මට සුනිල් සෝම ගැන ඇතිවුණේ කියන්න බැරි තරම් පැහැදීමක්.
ඔහු එදා වගේම අදත්
මාත් සමඟ සුහදව කටයුතු කරනවා. ‘ජීවිතේ
ලස්සනයි’ සුනිල්
සෝමගේ පුතු
සුදේශ් මට අවශ්‍ය ආකාරයට ඉතාම ලස්සනට කරලා දුන්නා.
චිත්‍රපට
නිෂ්පාදනය ඔබ දීර්ඝව කරගෙන ආවේ වෙනත් ව්‍යාපාර කටයුතුත් සමඟයි. සිනමාව පමණක් ඔබේ ව්‍යාපාරය කරගත්තා නම් ආර්ථික වශයෙන්
මෙවැනි තැනක ඉන්නට හැකියාවක් නෑ නේද?
සිනමාව විතරක් කළා
නම් කවදාවත් මට ආර්ථික වශයෙන් මේ තැන ඉන්න බෑ. සිනමාවෙන් මම ලාබ ලැබුවේ
නෑ කියන්නේ නෑ. සමහර චිත්‍රපටවලින් පාඩුත් වුණා. නමුත් චිත්‍රපට 54 ත් එක්ක ගණන්
හදාගෙන එනකොට මගේ අනිත් ව්‍යාපාරවලින් ලබපු ලාභත් මම මේවට යොදාගෙන තිබෙනවා.
අද ඔබ
වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් තැනූ නිෂ්පාදකවරයා වී හමාරයි. මේ කර්මාන්තයට අලුතින් එන නිෂ්පාදකවරුන්ට ඔබදෙන උපදෙස කුමක් ද?
අලුතින් චිත්‍රපට
නිෂ්පාදනයට එන අය ගැන මට හරි කනගාටුවක්, දුකක් ඇති වෙනවා. මම හරිම කැමැතියි
අලුත් නිෂ්පාදකවරුන් මේ ක්ෂේත්‍රයට එනවට. ඒ එනවා වගේම ඔවුන් ක්ෂේත්‍රයේ දීර්ඝව
රැඳී සිටිනවා දකින්නත් ආසයි. මේ ගැන කතා කරන්නත් වැඩිය මම ආස නෑ. කොහොම වුණත්
මට කියන්න තිබෙන්නේ දැනගෙන කතරගම යනවා විනා මාතරින් බැහැල කතරගම කියන්න බෑ කියන
එකයි.
මේ
දීර්ඝ නිෂ්පාදන චාරිකාවේදී ඔබේ සමහර චිත්‍රපට වෙනුවෙන් අපට මතකයි නොයෙක් චෝදනා, විවේචන එල්ල වුණු ආකාරය. මේ සියල්ල විඳ දරා ගත්තේ කොහොම ද?
මට චෝදනා, විවේචන බොහොමයක් එල්ල
වුණේ මම කරපු සිංහල චිත්‍රපටවලට නොවෙයි. මම චිත්‍රපට
නිෂ්පාදකවරයෙක් වගේම චිත්‍රපට ආනයනකරුවෙක්. මගේ සිනමා ශාලා සඳහා දෙමළ, හින්දි, ඉංගි‍්‍රසි චිත්‍රපට
මම ආනයනය කළා. මේ ප්‍රශ්නෙදි ඒ ඒ යුගවල තිබුණු ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති
නිසාත් මම හුඟාක් දුරට අපහසුතාවන්ට පත් වුණා. මේ තත්ත්වය නිසා කලක්
මම කලකිරීමෙන් හිටියා. නමුත් ඒ කාලේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා
වූ මහාචාර්ය සෝමරත්න බාලසූරිය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එතුමා
ලිබරල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ උගත් බුද්ධිමතෙක්. එතුමා මගේ චිත්‍රපට තහනම්
කළා. ඊට පස්සේ යම් යම් කොන්දේසි පනවලා ඒවා තිරගත කිරීමටත් අවසර දුන්නා.
ළඟදීම
තිරගත වීමට නියමිත ඔබේ ‘දරුවනේ’ චිත්‍රපටය ගැන කිවුවොත්?
‘දරුවනේ’ චිත්‍රපටය මම
නිර්මාණය කළේ අපේ රටේ පුංචි දරුවන් වෙනුවෙන්. මගේ පළවැනි චිත්‍රපටය වුණු ‘චණ්ඩි පැටවු’ චිත්‍රපටයට පස්සේ
දරුවන් වෙනුවෙන් කරපු නිර්මාණය තමයි මේ. මේ චිත්‍රපටයට
බොහෝ විට අන්තර්ගත වුණේ මගේ නැති වුණු පුතා ‘රිකී’ ගේ ක්‍රියාකාරකම් හා
ඔහුගේ කෙටි කාලීන ජීවිතය ඇසුරින් ලබපු දේ. ‘දරුවනේ’ චිත්‍රපටය පාසල් දර්ශන සඳහාත්
අනුමැතිය ලබා දීලා තිබෙනවා. මට හිතෙනවා මේ චිත්‍රපටය මගේ සිනමා ජීවිතේ
එක්තරා කඩඉමක් කියලා.
ඔබේ
පුතු ‘රිකී’ ගේ වියෝවෙන් පස්සේ ඔබේ පෞද්ගලික ජීවිතේ හා සිනමා ජීවිතේ කිසියම් වෙනස් වීමක් සිදු වුණා ද?
ඔව්. රිකී ගේ වෙන්ව
යාම මට දැඩි ලෙස බලපෑවා. මේ චිත්‍රපටය දරුවන් වෙනුවෙන් කළේ ‘රිකී’ වෙනුවෙන්මයි. පුතා
නැතිවුණාට පස්සේ මම කරපු පළමුවැනි නිර්මාණයත් මේකයි.
පසුගිය
කාලයේ පේ‍්‍රක්ෂක අවධානය දැඩි ලෙසම දිනාගත් ‘කුස
පබා’ චිත්‍රපටයේත් ඔබ එක් නිෂ්පාදකවරයකු නේද?
ඔව්. මගේ ‘දරුවනේ’ චිත්‍රපටය තිරගත
වෙන්න තිබුණේ ඒ කාලයේයි. ‘කුස
පබා’ චිත්‍රපටය නිෂ්පාදනය
කළේ සාමූහිකව. නිෂ්පාදකවරුන් රැසක් සමඟ. නමුත් ‘දරුවනේ’ මගේ තනි නිෂ්පාදනයක්. ඒ නිසා
ඒ අවස්ථාව මම ‘කුස
පබා’ වෙනුවෙන්
ලබා දුන්නා.