Published On:
Posted by gossip lanka live
Chat With jackson anthony With Lakbima Ridma
ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී විසින් “මනමේ” සිනමාවට ගෙන එන්නට සැරසෙන බව පසුගියදා දැනගන්නට ලැබුණා. මේ දිනවල කුස පබා චිත්‍රපටයේ කුසගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන ජැක්සන් පිළිබඳ විවිධ පුවත් නිතර අසන්නට ලැබෙන්නේ ඔහු විවිධ ක්ෂේත්රයන් ඔස්සේ විවිධාකාර කාර්යන්හි නිරතව සිටින්නකු නිසා. මේ සියලුම කරුණු ගැන කතා කරන්නට අපි ජැක්සන් ඇන්තනී සමග කතා බහකට එක්වුණා. “මනමේ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය චුල්ලධනුද්ධර ජාතකයේ එන චපල ස්ත්‍රියද නැතිනම් සරත්චන්ද්‍රයන්ගේ මනමේ තුළ හමුවූ මනමේ කුමරියද?ගැහැනිය චපලයි කියන මතය පුරුෂාධිපත්‍යය රජ වූ සමාජය තුළ ගොඩනැගුණු එකක්. අද වන විට එය වෙනස් වෙලා ගැහැනිය චපලයි කියන තැන අද සමාජය නැහැ. මගේ සිනමා නිර්මාණයේදී මම සරත්චන්ද්‍රයන්ගේ දැක්ම මනමේ කුමරියගෙ චරිතය ගොඩනගන්නට උපකාර කරගන්නවා. හැබැයි මම මනමේ නාට්‍යයෙන් ආභාෂයට ගන්නේ එපමණයි. ඒ හැරුණම මෙහි වෙනස්කම් රාශියක් පවතිනවා.
මොනවද ඒ
මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදි රජු යන තිදෙනා පමණක් නොවෙයි මෙහි ප්‍රධාන චරිත වන්නේ. වේදිකාවක් මත මේ චරිත තුනෙන් පමණක් නිර්මාණය ගොඩනැගිය හැකියි. එහෙත් සිනමාව තුළ ඊට වඩා පුළුල් ඉඩක් තියෙනවා. කුමරු හා කුමරිය වන මැදින් යන ගමනට විශාල පිරිවරක් එකතුවනවා. වැදි රජුටත් සේනාවක් සිටිනවා. ඒ අතර මේ ප්‍රධාන චරිත තුන හා සමාන්තරව යන චරිත තිබෙනවා.
තවමත් මනමේ කුමරු, කුමරිය හා වැදි රජ යන චරිත සඳහා තෝරා ගත් නළු නිළියන් රහසක් ලෙස තබා ගෙන ඉන්නේ ඇයි?
ඒ සෑම චරිතයක් සඳහාම නළු නිළි ලැයිස්තුවක්ම තිබුණත් තවමත් අවසන් තීරණයකට එළැඹී නැහැ. මම අබා චිත්‍රපටයේ භුම්බකභූතාගේ චරිතය තුළින් නවක නිළියක් හඳුන්වා දුන්නා. එම චරිතයටත් ප්‍රවීණ නිළියන්ව පවා මුලදි මගේ හිතට ආවා. අවසානයේදී තමා දුලානි අනුරාධා කියන නිළියව තෝරා ගත්තේ. මගේ තෝරා ගැනීම සාර්ථක වුණා. ‘මනමේ’ චිත්‍රපටයේත් අවසන් මොහොත වනතුරුම සුදුසු අය තෝරමින් සිටිනවා. රංගනයට ලැදි නවක පිරිසටත් අවස්ථා ලබා දෙන්න කැමතියි. ඒ නවකයින් අතර හෝ මා සොයන චරිත තිබෙන්නට පුළුවනි.
ඔබේ කලා ජීවිතේ වෙනත් තොරතුරු
මම “අකාල සන්ධ්‍යා” ටෙලිනාට්‍යය රඟපාලා වසර 13කට පසුව ආනන්ද අබේනායකගේ ‘අප්පච්චි’ ටෙලිනාට්‍යයට එකතු වුණා. මම ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කරන මහා සංචාරය වැඩසටහනට 100 පිරෙනවා.
ඔබ ඉතිහාසය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි?
අපේ අධ්‍යාපනය තුළ ඉතිහාසය ඉවත් කිරීම අපට සිදු වූ ලොකු අතපසු වීමක්. මම මහා සිංහලේ වංශ කතාව ආරම්භ කරන්න අදාළ නාලිකාව සමග වසර දෙකක් සාකච්ඡා කළා. අන්තිමට මට ලැබුණේ පෝය දවසේ උදේ 10-12 කාලය. පසුව ආයතනය විසින්ම එයට රාත්‍රී 9.30ට ලබා දුන්නා. බොහෝ ප්‍රවීණයින් ශාස්ත්‍රීය මට්ටමින් කතා කළ දේ මම පොදු ජනතාව අතරට ගෙන ආවා. එය සිදුවිය යුත්තක්.
වාණිජ පරමාර්ථ මුල්කරගෙන මෙවැනි කටයුතු කරන බවට චෝදනා එල්ල වනවා නේද?
සම්භාව්‍ය හා වාණිජ කියන බෙදීම කලාව තුළ වූ තවත් වරදක්. සම්භාව්‍ය දේ අලෙවි කරන්නට බැහැ. වාණිජ විය යුත්තේ සරල බොළඳ දේ කියලයි මෙතැනදි කියන්නේ. එහෙම වුණාම පොදු ජනතාව අතරට යන්නේ සරල බොළඳ දේ. ඔවුන් හැමදාම ඉන්නෙ එතැන. ඒක වැරදියි. මගේ අරමුණ ගුණාත්මක දේ ජනප්‍රිය දේ බවට පත් කිරීම. එතැනදි ගුණාත්මක දේ පොදු ජනතාව අතරට යනවා. ඒකයි විය යුත්තේ.
එතැනදි ඔබ කී ආකාරයේ චෝදනා එල්ල වීම විය හැකියි. එහෙත් “මනමේ” “පඬු අබා” වැනි මගෙ ඉදිරි නිර්මාණත් බිහි වන්නේ ඔය පදනම මත.