මේ ගීතය රසිකයන්ට මම දුන්න උපන්දින තෑග්ගක් - “චාමික සිරිමාන්න”
චාමික සිරිමාන්න ගායනා කරන අලුත්ම ගීතය තමයි ඒ. ගුවන් විදුලි නාලිකාවල, රූපවාහිනියේ වගේම ජංගම දුරකථනය තුළත් මේ ගීතයට විශාල ජනප්‍රියතාවක් හිමිවෙලා තියෙනවා. ගීතය වගේම එහි රූපරචනයටත් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඒ හින්දාම ගීතය අහන දකින අය එහි ඇතුළාන්තයේ තොරතුරු දැනගන්නත් කැමැති ඇති. ඒ හැමදේටම වඩා චාමික සිරිමාන්නගේ අලුත්ම අලුත් තොරතුරු දැනගන්නත් ඒ අය කැමති වේවි. මේ හැම දෙනාගේම කැමැත්ත “රිද්ම” තුළින් ඉටු කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ.මුලින්ම අපි “වෙන් වී දැන්” ගීතය ගැන කථා කරමු.
මේ ගීතය මම මගේ උපන්දිනය වෙනුවෙන් මගෙන්් මගේ රසික හිතවතුන්ට දුන්නු තෑග්ගක් කිවුවත් වැරදිත් නැහැ. මොකද එය නිකුත් කළේ පසුගිය ඔක්තෝබර් 17 වැනිදා, මගේ උපන්දිනය දවසේ. ගීතය රචනා කළේ ඩිලාන් ගමගේ. සංගීතවත් කළේ රධිෂ් වැන්දබෝනා “වෙන් වී දැන්” විෂුවල් එක කළේ ළහිරු මුදලිගේ. ළහිරුගේ “හරි ක්‍රියේෂන්” එකෙන් තමයි ගීතය රූප රචනයට නැඟුවේ. එහි රංගනයට දායක වුණේ හර්ෂණ බෙත්මගේ සහ භාග්‍යා
රූප රචනය රූපගත කළේ කොහෙද...?
නුවරඑළියේ අඹ්වෛල ෆාම් හා බ්ලැකපූල් එක වගේම ගෝල්ෆේස් එකත් රූපගත කිරීම්වලට යොදා ගත්තෙ.
ඒ දින කිහිපය තුළ අමතක නොවන සිදුවීම් සිදුවන්න ඇති.
මේ සිද්ධිය වුණේ අඹ්වෛල ෆාම් එකේ රූගත කිරීම් සිදුවෙන අවස්ථාවේ. ඒ ශීතල උහුලන්න බැරිතරම්. ශීතල වැඩිකමට මගෙ කකුලෙ කෙංඩා පෙරළුණා. එක දිගට නවතින්නෙ නැතුව කෙංඩා පෙරළෙනවා. ඒ වේදනාව උහුලගන්න බැරිව මම බිම පෙරළිලා කෑ ගැහුවා. ඒ වෙලාවේ නිෂ්පාදන අංශයේ කෙනෙක් ලුණු වතුර කෝප්පයක් ගෙනැත් දුන්නා. එහෙම කළේ ලුණු වතුර ටිකක් කෙංඩා පෙරළෙන තැනට දැම්මම ඒක අඩුවෙන හින්දා. ඒත් වේදනාව හින්දාම මට කිසි දෙයක් ගැන සිහියක් නැහැ. මම අර ලුණු වතුර කොප්පය අරගෙන බිගෙන බිගෙන ගියා.(හිනැහී)
ඊට පසුව මොකද වුණේ...?
(හිනැහී) කෙංඩා පෙරළීිම නම් ටික වෙලාවකින් අඩුවෙලා ගියා. හැබැයි එහෙම වුණේ ලුණු වතුර බිපු නිසා නමෛයි. ඉබේමයි අඩු වුණේ. ඒ වුණාට බඩ පපුව දැවිල්ල නම් සැහෙන වෙලාවක් යනතුරු අඩු වුණේ නැහැ. ඒ වේදනාව කකුලේ වේදනාවටත් වඩා වැඩියි.
රූප රචනාවල අපූරුවට රඟපාන චාමික දැන් ටෙලිනාට්‍ය රඟපෑමටත් යොමුවෙලා කියලා ආරංචියි...
ඔව්, දැනට ටෙලිනාට්‍ය දෙකක රඟපාලා තියෙනවා. ඉදිරීයේදී තවත් අලුත් ටෙලිනාට්යයන්ටත් ආරාධනා ලැබිල තියෙනවා.
මොනවද ඒ..?
පුංචිම කාලේ “සිතින් දිලින්දෝ, භාග්‍ය වන්තයෝය” කියලා නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යයක රඟපෑවා. මෑත කාලයේ දී “අංගාරේ ඉංගාරේ” නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍යය විකාශය වුණේ ජාතික රූපවාහිනීයේ රාත්‍රී 6.57 ට. ඒ නිසා ජනතාව අතරට යන ඉඩකඩ ටිකක් අඩුවුණා.
බිරිඳ ගැනත් කියන්න.
(හිනැහී) මගෙ බිරිඳ සජිනි කුලසේකර ඇය කලින් රූපවාහිනී නිවේදිකාවක්. ඒත් මම බැන්ඳට පසුව රැකියාවෙන් ඉවත්වෙලා ගේ දොර කටයුතු වෙනුවෙන් ඇය කැප වුණා. මගෙ කටයුතු ගැන මටත් වඩා උනන්දු වෙන්නෙ ඇයයි. දැන් අපි විවාහ වෙලා අවුරුදු 3ක්් විතර ඇති. අපි හරිම සතුටින්, සමාදානයෙන් ජීවිතේ ගෙනියනවා.