
බළන්ගොඩ මොරහැල ගම් ප්‍රදේශයේ නිවසකට ඉකුත් 16 දා අලුයම් කාලයේ දී පෙට්‍රල් ගසා ගිනි තැබීමෙන් තුවාල ලබා රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනාගෙන් දෙදෙනකු ඊයේ (17 දා) මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ එල්. එල්. විමලාවතී (42) සහ ඇයගේ දියණිය වූ මධුකා චතුරංගනී නමැති 11 හැවිරිදි පාසල් සිසුවියකි.මෙම සිද්ධිය වූ අවස්‌ථාවේ මවත්, පියාත්, දියණියත් එකම ඇඳක නිදා සිටියදී මෙම ගිනි තැබීම සිදු කර ඇත. මොවුන්ගේ විලාප හඬ ඇසී වෙනත් කාමරයක නිදා සිටි පවුලේ තිදෙනකු පැමිණ ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇත. එම තිදෙනාද තුවාල ලබා දැනට බළන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබති. ඩි. එම්. ධනපාල නමැති පියාද පිළිස්‌සුම් තුවාල හේතුවෙන් රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වයද බරපතළ බව වෛද්‍යවරු පවසති.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන මියගිය දියණියගේ වැඩිමහල් සොහොයුරියගේ සැමියා මීට පෙරදින රාත්‍රියේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට රත්නපුර සහකාර පොලිස් අධිකාරී ජී. ධනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බළන්ගොඩ පොලිසිය පුළුල් පරීක්‌ෂණයක් අරඹා ඇත.