Published On:
Posted by gossip lanka live

Samanala Sandevaniya Sinhala Movie By jayantha chandrasiri -සමනළ සංධ්වනිය ජයන්ත චන්ද්‍රසිරි

‘සමනළ සංධ්වනිය’
ජයන්ත චන්ද්‍රසිරි නවතම සිනමා සංධ්වනිය

වේදිකාව පුරා පැතිරුණු පරිපූර්ණ සිම්ෆනි වාද්‍ය වෘන්දය විසින් වාදනය කරමින් සිටිය් බිතෝවන්ගෙ හය වැනි තූර්ය සංවාදය හෙවත් ගවගෝපික තූර්ය සංවාදයේ එන ‘මහ කුණාටුවට’ පසු නිමේෂයයි.


සෙමින් ඇසෙන ක්ලැරිනට් වාදනයත් ඊට මුහු වූ මියුරු සංගීත නාදයත් ප්‍රේක්ෂකාගාරය නතු කර ගෙන සිටියේ හරිම අපූරුවටය.


වදීශ දේව චමින්ද වික්‍රමනායක.


මේ සංගීත වික්‍රමය මෙහෙයවනු ලැබුවේ ඔහුය. තාරුණ්‍යයේ ජවසම්පන්නත්වයත්, උත්පත්තියෙන් රැගෙන ආ සංගීතමය ගුණයත් උපයෝගී කර ගනිමින් සප්ත ස්වරයෙන් හරඹ පෑ ඔහු සැබවින්ම දක්ෂයකු බව දැනටමත් නරඹන්නන්ට සැල වී හමාරය.


වේදිකාවේ එක්තරා තැනක පියානෝවක් හා ඊට සබැඳි හිස් අසුනකි. එහි අසුන් ගන්නේ වදීෂ බව දැනටමත් සියල්ලන්ටම නොරහසකි.


ස්වල්ප මොහොතකින් සංගීත ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් වදීශ පියානෝව අසලට ගොස් අසුන් ගත්තේය.


දැන් මුලු මහත් ශාලාවම ගැඹුරු නිහඬතාවයකය. නොඉවසිලිමත් ප්‍රේක්ෂක මුහුණු ඔහු වාදනය කරමින් ගයන්නට යන්නේ කුමක් ද යන්න හඳුනා ගත්තාක් මෙන් සිටිති.


පියානෝවේ ස්වර පුවරු අතර ගමන් ගන්නා වදීශගේ දෙඅත් මන්දගාමී චලනයකය.


ඔහුගේ දසැඟිලි මතින් රසිකයන් බලාපොරොත්තු වූ සංගීත හඬ මතු වෙයි. ක්‍රමයෙන් වැඩි වුණු අත්පොළසන් නද මැදින් වදීශගේ ගැයුම ඇසෙයි.


‘ඉකි ගසා හඬන අතීතයක


කඳුළු එක්ක ගනුදෙණු කරනා


මට මගේ නොවනා


මගේම ආදරයක් තිබුණා . . . ’


වදීශ මේ ගයන්නේ කාටද? එම ගීයේ අරුත කුමක්ද? ඒ ගී පදයෙන් කී රහස කුතුහලයෙන් සපිරි එකකි. සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවන වදීශගේ සංගීතමය සොඳුරු දිවි පෙවෙත කන පිට පෙරළෙන්නේ එක්තරාකොළ කැබැල්ලක් නිසාය.


ඒත් සමඟම යොවුන් වදීශ තමාට වඩා වැඩිමහල් කාන්තාවක සමඟ ප්‍රේමයකට මුල පුරයි.


පුදුමය වනුයේ ඔවුන් එකිනෙකා හමු නොවීමයි. එසේ නම් ඔවුන් දෙපොළ ආදරයෙන් වෙළෙන්නේ කෙසේද?


ජයන්ත චන්ද්‍රසිරිගේ තෙවැනි අර්ථපූර්ණ සිනමා සිතුවමේ වදීශ සහ මැදි වියෙහි කාන්තාව සහ ඔවුන් සමඟ ගනුදෙණු කරනා පිරිවර ඔබට මුණ ගැසෙයි.


සමනළ සංධ්වනිය ඔස්සේ ජයන්ත අපව මෙවර රැගෙන යන්නේ අනූව දශකයේ මුල භාගයටය.


ඒ කාල වකවානුවේ සීමිත පහසුකම් යටතේ ඇති දක්ෂ යොවුන් සංගීතඥයකු ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය කාන්තාවක කෙරෙහි බැඳුණු ගැඹුරු සහ අධ්‍යාත්මික ප්‍රේමයක් පසුබිම් කර ගනිමින් ජයන්ත මෙහි තිර පිටපත රචනා කොට තිබේ.


අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං යන චිත්‍රපටයන් සේම ජයන්ත මෙහිදී ද සිය අනන්‍යතාවය සුරැකෙන පරිදි රූප රාමු සකස් කිරීමට උත්සුක වී ඇත.


පවුලේ චිත්‍රපටයක් ලෙස නම් කෙරුණ ද මෙය වඩාත් සුදුසු වන්නේ තරුණ තරුණියන්ට බව ජයන්ත පවසා සිටියි.


නව පරපුර නියෝජනය කරන උද්දික ප්‍රේමරත්න සමනළ සංධ්වනියෙහි වදීෂ චාමින්ද වික්‍රමනායකගේ චරිතය රඟයි. මැදි වියේ කාන්තාව ලෙස රංගනයට භාර වී ඇත්තේ යශෝධා විමලධර්මටයි.


රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානාච්චි, විල්සන් ගුණරත්න, දමිතා අබේරත්න, පුබුදු චතුරංග, චතුරිකා පීරිස්, රොෂාන් පිලපිටිය, දිමුතු චින්තක, සඳුන් බණ්ඩාර, රෙබෙකා නිර්මලී සහ රිදී තිරයට හඳුන්වා දෙන සූර්යා සඳරුවන් ඇතුළු පිරිස අනෙකුත් චරිත රඟමින් සමනළ සංධ්වනිය හැඩ කරයි.


මෙය ‘රූ’ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ සහ පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කොට තිබේ.


නුවරඑළිය සහ කොළඹ අවට ප්‍රදේශ දර්ශන තල ලෙස යොදා ගත් සමනළ සංධ්වනිය මේ වසරේ අග භාගයේදී තිරගතවීමට නියමිතය.


සමනළ සංධ්වනියෙහි තිරයේ පිටුපස සිටින ඇත්තන්:


සංගීතය – දර්ශන රුවන් දිසානායක


කැමරාකරණය – රුවන් කොස්තා


සංස්කරණය – රවීන්ද්‍ර ගුරුගේ


අංග රචනය – වසන්ත විට්ටච්චි


කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන


සහාය අධ්‍යක්ෂණය – නිමල් ෆ‍්‍රැන්සිස් සහ සරත් සේනාරත්න






About the Author

Posted by gossip lanka live on 1:20 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 1:20 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Samanala Sandevaniya Sinhala Movie By jayantha chandrasiri -සමනළ සංධ්වනිය ජයන්ත චන්ද්‍රසිරි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.