Published On:
Posted by gossip lanka live

Chat With roshan fernando About Mama Mukuth Kiyannema Na Mai Song



රොෂාන්ගෙන් අලුත්ම තාලයක මියුසික් විඩියෝවක්
මිනීමැරීමේ චෝදනා ලැබ සිටි රොෂාන් (චූදිතයා) නිදහස් වුවත් ඔහුට ඔහුගේ පෙම්වතිය (නිලූෂි) අහිමි වේ. බාල කාලයේදී පටන් බැඳි සෙනෙහසින් උරුම වූ සිත රිදවන කතන්දර බොහෝ ඇතත් ඔහු ඇයට ඒ කිසිවක්ම නොකියා නෙතු කඳුළින් සමුදෙන්න සූදානම්. ඉස්සර දවසක ඇගෙන් ලැබුණු මොනර පිහාටුවක් නිමා වූ අතීතයේ මිහිරි මතක යළි ඔහුගේ මනසේ අවදි කරවනවා. වැඩිහිටි වූ දා ඔහු ගුරුවරයෙක් සහ ඇය ගුරුවරියක් වී සෙනෙහසින් නොවෙනස්ව උන්නත් ඔහුගේ එක්වීමට ඇගේ දෙමව්පියන් එරෙහි වෙනවා.
දිනක් ඇගේ පියා රොෂාන්ට වෙඩි තබනවා. නමුත් සිදුවන්නේ නොසිතූ අයුරු පියාගේ මරණයයි. සිය පෙම්වතියගේ පියාගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා රොෂාන්ට නිදහස ලැබෙන්නේ පියාගේ මරණය සිදු වී ඇත්තේ හෘදයාබාධයකින් බව හෙළිදරව් වීමෙන් ය. එහෙත් ඔහුට ඇය හෝ ඇගේ ආදරය යළි හිමි වන්නේ නැත.
එලෙසින් මෙවර ස්වර වර්ණමුලින්ම කතා සාරාංශයකින් වර්ණවත් කළේ මේ කාලයේ ආදරවන්තයින්ගේ ආදරණීය ගායන ශිල්පියා වන රොෂාන් ප්‍රනාන්දුගේ නවතම මියුසික් වීඩියෝව ඇසුරෙන් ය. කතාවක් නැති හරයක් නැති වාණිජමය මියුසික් වීඩියෝ බුරුතු පිටින් බිහිවෙන මේ කාලයේ රොෂාන් නැවුම් වින්දනීය අත්දැකීමක් ගීතලෝලීන්ට ලබා දීමට සිය මියුසික් වීඩියෝවෙන් වෑයම් කර ඇති නිසාම මෙවර ස්වර වර්ණවර්ණ ගන්වන්නට අපි ඔහුට ආරාධනා කරමු.
මම මොකුත් කියන්නෙම නෑමයි
සිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නට බෑමයි
වෙන්වෙන්න හිතන්නෙත් ඔබමයි...!
(පද - විතානගේ නිමල්)
මේ ගීතය සිහින සිත්තරාවිඇල්බමයට මා ගැයූ ගීතයක්. මෙහි පදමාලාව මට ලැබුණේ තැපෑලෙන්. හැමදාමත් වගේම මා සමඟ ඉන්න මා ගයන ආදර ගීතවලට ඇලුම් කරන රසික රසිකාවියන් වෙනුවෙන් වෙනස් දෙයක් කරන්න මට ඕනෑ වුණා. අපේකම රැකගෙන ගමත් එක්ක කලාත්මකව මේ ගනුදෙනුව කරන්න මං වෑයම් කෙරුවා. මගේ වෑයම සාර්ථක වී ඇති බව ලැබෙන ප්‍රතිචාර වලින් වැටහෙනවා.
ඔබට මියුසික් වීඩියෝවේදී නිර්මාණ දායකත්වය සැපයූ අනිකුත් ශිල්පීන් කවුරුන් ද?
මා සමඟ රූප රාමු පණ පෙවූ නිලූෂි මධුෂිකා විශේෂ දායකත්වයක් ලබා දුන්නා වගේම මෙම ක්ෂේත්‍රයේ ඇත්දැකීම් බහුල ආයතනයක් වන වයිඩ් ඈන්ගල්කණ්ඩායමේ සියල්ලෝම සුවිශේෂ දායකත්වයක් ලබා දුන්නා, මෙම නිර්මාණය සාර්ථක කරගන්න. අපි ආනමඩුව පරමාකන්ද සහ කොළඹ රූප ගත කිරීම් කරද්දී නළු නිළියන් විසිපහක් පමණ මෙයට දායක කරගත්තා. කතාවක් තිබෙන සාර්ථක මියුසික් වීඩියෝවක් කිරීමේ තෘප්තිය මෙයින් මට ලැබුණා.
ඒ මිහිරි අතීතය නිම වී
නෙතු කඳුළු වලින් යමු වෙන් වී
ඔබ ගියත් කෙනෙකු හා ළං වී
මම ඉන්නම් සැමදා තනි වී...!
(මම මොකුත් කියන්නෙම නෑමයි)
වර්තමානයේ දී ගීත ජනපි‍්‍රය වීමට මියුසික් වීඩියෝ අවශ්‍ය බව ඔබ අනුමත කරනවා ද?
වර්තමානයේ පමණක් නොවේ, අතීතයේ දීත් රූප මාධ්‍යයෙන් තමයි වැඩි ජනපි‍්‍රයත්වයක් අදත් ජනපි‍්‍රයත්වයේ තිබෙන බොහෝ ගීතවලට ලැබුණේ. උදාහරණයක් කියනවා නම් එච්. ආර්. ජෝතිපාලයන්ගේ සෑම චිත්‍රපට ගීතයක්ම වාගේ අදත් ජනපි‍්‍රය ඒවායේ රූප රාමු සමඟ පේ‍්‍රක්ෂකයින්ගේ නෙත් සිත් ආකර්ෂණය කරගත් හින්දයි. වැඩිම මියුසික් වීඩියෝ’ (රූප රචනා) ගණනක් තියෙන්නේ එතුමාගේ ගීත සඳහායි. ඉතින් වර්තමානයේ අපිත් උත්සාහ කරන්න ඕනේ, දැන් තිබෙන තාක්ෂණය හා මාධ්‍ය හරහා ගීතලෝලීන් සමඟ මේ ගනුදෙනුව හරියාකාරව කරන්න.
එහෙත් ජෝතිපාලයන්ගේ ඇතැම් ගීත ගුවන් විදුලිය, කැසට් සහ ප්‍රසංග වැනි මාධ්‍ය ඔස්සේ පවා ජනපි‍්‍රය වුණා නේද?
ඔව්. ඒ, ඒ වකවානුවල ජනතාව අතර භාවිතයේ පැවති මාධ්‍ය ඔස්සේ ජෝතිපාලයන්ගේ ගීත මෙන්ම අනිකුත් ගායක ගායිකාවන්ගේ ගීත පවා ජනපි‍්‍රය වූ බව ඇත්තයි. අද වුණත් ගුවන් විදුලි නාළිකා වලින් ප්‍රචාරය කෙරෙනවා නම් ගීත ජනපි‍්‍රයත්වයට පත් නොවී තිබෙන්නේ නැහැ. එහෙත්
විද්‍යුත් මාධ්‍ය හරහා එය හරියාකාරව සිදුවන්නේ නැහැනේ. කැසට් හෝ සංයුක්ත තැටි එතරම් සාර්ථක මාධ්‍යයක් නොවේ ගීත ජනපි‍්‍රය කරවීමට. ප්‍රසංග වේදිකාවෙන් ජනපි‍්‍රයත්වය ලබා ගන්න නම් ඊට හරියන ගීත තිබෙන්න ඕනේ. අන්තර් ජාලයෙන් විවිධ නිර්මාණ ගනුදෙනු කෙරෙන යුගයක්නේ මේ වර්තමානය. එම නිසා අපි නිර්මාණ ශිල්පීන් වශයෙන් ගීතලෝලීන්ට වඩා සමීප වීමට පුළුවන් මාධ්‍ය විමසිලිවත්ව තෝරාගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. එහිදී මියුසික් වීඩියෝ අද ගීතයට නැතුවම බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා.
සිහින සිත්තරාවි
ඇස් බිම බලා සිනා සී
සබකෝළකම් කරාවි
හිත ආදරෙන් පිරේවි...
 
(පද - දිලිප් නුවන් කොට්ලින්)
පසුගියදා සන්ෆ්ලවර්සිදු කළ අයුරු සංගීත කණ්ඩායමක සාමාජිකයින් කලින් කලට වෙනස් විය යුතුයි යන මතයේ ඔබත් සිටිනවා ද?
එය සංගීත කණ්ඩායමේ නායකයා හෝ කළමනාකරු සතු වගකීමක් බවයි මගේ හැඟීම. කාලයෙන් කාලයට එවැනි වෙනස්කම් කරන්න වෙනවා. ආරම්භ කළ දා සිට අද වන
තුරු එකම ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායමක් ලෝකයේ කොහේවත් ඉන්නවද, නැහැනේ. එදා ක්‍රිකට් ගැසූ අය අද නැහැ. මොන යම් හේතු මත හෝ කාලානුරූපීව එවැනි වෙනස්කම් කරන්න සංගීත කණ්ඩායමකටත් සිදුවිය හැකියි.
මේරියන්ස්සංගීත කණ්ඩායම එළිමහන් සංගීත ප්‍රසංග සංගීතවත් කිරීමෙන් ඉවත් වී තිබෙනවා.
සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ගේ ද හැසිරීම් රටා පාලනය කිරීම අපේ වගකීමක්. ළමයි දඟකාරයි කියලා විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය පාසල හැර යාමක් කළොත් දරුවන්ට මොකද වෙන්නේ? එම වගකීම් තේරුම් අරගෙන කටයුතු කරන හින්දා අපි සංගීතවත් කරන එළිමහන් සංගීත ප්‍රසංග රසවිඳින්න සමාජයේ සෑම තරාතිරමකම පවුල් පිටින් සහභාගි වෙනවා.
පිනි වැටුණට සුදු නෙළුමට
බර වැඩි වෙන්නෑ
මල පිපුණට පිනි බිඳු වල
වෙනසක් වෙන්නෑ
ළඟ නොමැතිව දුර හිටියට
අමතක වෙන්නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට
දුකක් දෙන්න බෑ...!

(පද - සත්‍යජිත් ලක්මාල්)
ඔබ ඉදිරිපත් කරන හීන හතක්රූපවාහිනී වැඩ සටහනට සහ ගායන ශිල්පියෙකු ලෙස ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. තරුණ පරම්පරාවේ පමණක් නොවේ බාල, මහලු පරම්පරාවල සෑහෙන රසික රසිකාවියන් පිරිසක් අප වටා ඉන්නවා. හීන හතක්වැඩ සටහන දැන් අවුරුදු හතක් පුරා කරගෙන එනවා රසිකයින් සමඟ සමීපව. වේදිකාවේ ජනපි‍්‍රය වූ වෙනත් ගායකයෙකුට නොලැබෙන තරම් අවස්ථා රූපවාහිනී නාළිකාවන්ගෙන් මට ලැබෙනවා. හොඳ පිළිගැනීමක් සහ රසික ආදරයක් මට මේ හැම කටයුත්තකදීම ලැබී තිබෙනවා.
ඔය තරම් ප්‍රතිචාරයක් ලැබෙන්න හේතුව ලෙස ඔබට හැඟෙන්නේ කුමක් ද?
ප්‍රධාන වශයෙන්ම මට යහපත් පවුල් ජීවිතයක් තිබීම සහ සංගීත ක්ෂේත්‍රයේ කටයුතු සඳහා කරන කැපවීම තමයි මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙන්න හේතුව. වැඩිපුරම ආදර ගීත ගයන මම මගේ බිරියට, දරුවන්ට, ඥාතින්ට, හිතවතුන්ට වගේම මගේ රසික රසිකාවියන්ටත් ආදරෙන් තමයි කරන කොයි යම් දෙයක් වුණත් කරන්නේ කියන්නේ. ආදරය භාවනාවක් කියලයි මං හැමදාමත් හිතන්නේ. ඒ භාවනාවට සම වැදි හැකි තරම් කාලයක් මේ රටේ ගීතලෝලීන්ව පිනවීම තමයි මගේ බලාපොරොත්තුව.
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙම් සිතේ
ඔබයි මගේ ජීවිතේ...!

(
පද - අවන්ත ප්‍රනාන්දු)
ජෝජ් රොබ්සන් ද සිල්වා
 source - Silumina.lk 
 

About the Author

Posted by gossip lanka live on 7:10 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:10 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With roshan fernando About Mama Mukuth Kiyannema Na Mai Song"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.