Chat with udari warnakulasooriya ජීවිතේ මල් යහනාවක් කියලයි මට හිතෙන්නෙ..
බොඳ
මීදුම් ටෙලි මාලාවේ සදාදරණීය පෙම්වතිය වූ ඇය, ඊළඟට සිහින පියාපත් නාට්‍යයේ
අව්‍යාජ පෙම්වතියක වූවාය. ඒ රංගනය පේ‍්‍රක්ෂකයන්ට වඩාත් සමීප කරවීමට උදාරි
වර්ණකුලසූරිය නමැති මේ සොඳුරු ශිල්පිනිය සමත් වූ බව නොරහසකි. ටෙලි තිරයේ
පෙම්වතියගේ චරිතයට දුන් ජීවය නිසාම බොහෝ දෙනා අතර ආදරණීය චරිතයක් වූ ඒ
උදාරි මේ දිනවල අපට හමුවන්නේ චන්ද්‍රරත්න මාපිටිගමගේ චිත‍්‍රපටය සමගිනි.
ඒත් ඇය ලංකාවේ නැත. ඇය මේ දිනවල සිටින්නේ, සිංගප්පූරුවේය. ඇයගේ සැමියා
ශල්‍ය වෛද්‍යවරයකු ලෙස එරටදී කටයුතු කරන අයෙකි. උදාරි එරටට ගොස් සිටින්නේ
දරුවකු ප‍්‍රසූත කිරීමේ අපේක්ෂාවෙනි. උදාරි සිංගප්පූරුවේ ගතකරන ජීවිතය ගැන
සඳැල්ලට කළ විශේෂ හෙළිදරව්වයි මේ.
ආසියාවේ දොරටුව ලෙස හැඳින්වෙන සිංගප්පූරුවේ ඇති සුපිරි බව බොහෝ දෙනා
දන්නා දෙයකි. ලෝකයේ විවිධ ජාතීන් නිරන්තරයෙන් දැක ගත හැකි සොඳුරු සංචාරක
පාරාදීසයක් වූ එහි නේක විද සිරි නරඹමින් අපි වීදි පුරා සැරිසරමින්
සිටියෙමු.
”ආ... කොහොමද? ඔයාලත් මෙහේද?”
නැෂනල් යුනිවර්සිටි හොස්පිටල් හෙවත් (NUH) නමින් හැඳින්වෙන සුපිරි රෝහලට
යන මාර්ගයේ දී හමු වූ උදාරි අපට ආමන්ත‍්‍රණය කළාය. කටහඬ නොවෙනස් වුවද ඇගේ
සිරුර තරමක් මහත් වී තිබේ.
මවක වීමට සූදානම් වන කාන්තාවකට එය ස්වභාවික දෙයකි.
ඉතිං උදාරි කොහොමද? අපි ඇයගෙන් විමසීමු.
”අනේ.. ගොඩාක් හොඳයි අයියෙ... ජීවිතේ මල් යහනාවක් කියලයි මට හිතෙන්නෙ...”
උදාරි කොඳුරන්නට වූවාය. හරියට ටෙලි නාට්‍යයක දෙබස් කණ්ඩයක් මෙන්
ලයාන්විතව ඇය සියල්ල කොඳුරන්නට පටන් ගත්තාය. පුංචි තිරයේදී පෙම්වතිය ලෙස
බොහෝ විට ඇයට නොයෙකුත් කරදරවලට මුහුණ පෑමට සිදුවුවද සැබෑ ජීවිතය ඇය ගෙවන්නේ
කිරිල්ලියක මෙන් සැහැල්ලූවටය. සෙනෙහස සතුට පෙරදැරිවය. ඒ සියල්ල ඇයට සැදුවේ
කවුද? ඒ වෙන කවරකුවත් නොව සැමියා සුජිත්ය.
ඇත්තටම අයියෙ මට සුජිත් හමුවන්නට ඇත්තෙ පෙර පිනකට වෙන්න ඇති. පුදුම හොඳ
සැමියෙක්. මම මෙහේට ආවේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා. ඒ කියන්නෙ අපේ රටට නිදහස
ලැබුණ දවසෙයි. මම ආව එක ඔයාලට ගොඩක් නිදහස් ඇති නේද?
උදාරිගේ විහිළුවලද අඩුවක් නැත. සැමියා ඇයට ගෙන දුන් සතුට සැබැවින්ම ඇය
බුක්ති විඳින බව හැඟේ. ඉතින් ඉතින් කියන්නකො තවත් විස්තර අපි උදාරිට
කීවෙමු.
පෙබරවාරි මාසේ මෙහේ ආවට පස්සෙ මගේ උපන් දිනය වෙනුවෙන් සුජිත් මාව සති
දෙකකට විතර යුරෝපයට එක්කගෙන ගියා. ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය වගේ
රටවල අපි සැරිසැරුවා. එයා මාව පුදුම විදියට සතුටින් තියන්න උත්සාහ ගන්නා
පුදුම සැමියෙක්.
සැමියා ගැන ඇය කතා කරන්නේ පුදුම ආඩම්බරකමකිනි. සතුට වැඩි කමට නෙත් පුරා
කඳුළු කැට පිරී තිබේ. වචන ගලපාගත නොහැකි තරමට මොහොතකට ඇය ගොළුවී සිටී.
එතකොට පසුගිය කාලයේ ලංකාවට ආවෙම නැද්ද? අපි විමසීමු.
”පසුගිය අපේ‍්‍රල් මාසයේදී දවස් පහකට විතර ලංකාවට ආවා. ඇවිත් කෙලින්ම
ගියේ හෝර්ටන් තැන්නට. ලංකාවේ මම ආසම කරන තැන එතැනයි. ඒ පළාතේ එක කඩයක්
තියෙනවා. එතන හදන රොටී කන්න මම හරි ආසයි.
එතකොට සිංගප්පූරුවෙ ඉඳලා එකපාරටම හෝර්ටන් තැන්නට ආවේ රොටි කාලා යන්නද? ඈ උදාරි?
”අයියෝ ඔයගොල්ලො විහිළු කරන්න එපා අනේ” සුපුරුදු සිනහව සමග ඇය එලෙස කීවාය. ඇයි සිංගප්පූරුවේ ඇවිද්දෙ නැද්ද?
ගියා ගියා සැන්තෝෂ දුපතට, යුනිවර්සල් ස්ටුඩියෝ එකට, බර්ඞ් පාක් එකට, සූ එකට ඔය ඔක්කෝම වගේ තැන්වලට ගියා. හරි ෂෝක් අනේ...
මොකක්ද? මෙහේ ගෙවන ජීවිතේ අයියො. පුදුම සැහැල්ලූවක් දැනෙන්නෙ.
උදාරි ගෙවන ජීවිතයේ සැහැල්ලූව ඒ වචන වලින්ම ප‍්‍රකාශ වේ. සැහැල්ලූව
ජීවිතයට දැනුන ද මව් බිමෙන් ඈත්ව ගෙවන ජීවිතය ඇයට විටෙක මහා පාළුවක් ගෙන
දෙන බව කියන්නීය. ඇය එය වචනවලට ගොනු කළේ මෙලෙසිනි.
”සැමියා ළඟට වෙලා ඉන්න ලැබුණු එක ලොකුම ලොකු සතුටක් තමයි. ඒත් මව්බිමෙන්
ඈත් වෙලා ඉන්න එක තරම් පාළුවක් ලෝකයේ තවත් නැතිව ඇති. මෙහේ ගෙවන්නෙ හරිම
නිදහස් ජීවිතයක්. නිදහස උපරිමයෙන් දැනෙනවා. ඒත් මව්බිම මතක් වෙද්දී පපුව
හෝස් ගාලා යනවා. අපේ‍්‍රල්වල ලංකාවට ආවේ දොස්තරලා එපා කියලා තිබියදියි.
ගර්භනී මාතාවකට මාස හත වෙද්දි ගුවන් ගමන් සුදුසු නැහැ. ඒත් රට නොදැක ඉන්න
බැරිකමට තමයි ආවේ. ගුවන්යානය ලංකා පොළව සිප ගනිද්දී ඇති වූ සතුට
අප‍්‍රමාණයි. මගේ පරිසරයෙත්, මගේ යහළු යෙහෙළියන්ගෙන් ඈත්වෙලා ඉන්න වග දැනෙන
කොට ඇඬෙන තරමට දුකක් වෙලාවකට ඇතිවෙන්නෙ. හෙට අනිද්දට සුජිත්ගෙ අම්මලාත්
මෙහෙ ඒවි. අපේ අයත් ඒවි. මම වගේම මගේ සුජිත් වගේම පවුල්වල ඔක්කෝම බලා ඉන්නෙ
දරුවා ලැබෙනකල්. ඒ සුන්දර සිහිනය තව ටික දිනකින් අපට ලැබේවි.
සිංගප්පූරුවෙ සිට වඩාත් සුවපහසු ජීවිතයක් ගත කළත් විටෙක දැනෙන පාළුව
උදාරි වචන වලට පෙරලූවේ එලෙසිනි. ඇය ඒ පාළුව බොහෝ විට තුනී කරගන්නෙ මෙහි
සිටින යහළු යෙහෙළියන්ට ෆේස්බුක් අඩවිය හරහා අදහස් හුවමාරු කර ගනිමින් බවද
ඇය සඳහන් කරයි.
”ශලනි තාරකා එක්ක නිතරම වගේ කතා කරනවා. සාරංගත් කතාකරනවා. අපේ රිපීටර්,
(සිහින පියාපත්) අකිලත් කතා කරනවා. ඒ වගේම ලලිත් අයියා ඇතුළු හැමෝම නිතරම
වගේ මගේ දුක සැප විමසනවා. ඇත්තටම අපි වැඩ කළේ සහෝදරයන් වගේ. ඒ බැඳීම අපි
හැමෝටම තියෙන දෙයක්. ඒ අතරේ තවත් දෙයක් කියන්නම ඕනෙ.
ඒ මොකක්ද උදාරි?
මේ දිනවල තිරගත වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ අලූත්ම චිත‍්‍රපටය වන
”සිහිනය දිගේ එන්න” ප‍්‍රධාන චරිතයට තෝරා ගැනීම ගැන මගෙ හිතේ තියෙන්නෙ
සතුටක්. ඒ චිත‍්‍රපටය හරිම වෙනස්. පවුලේ කවුරුත් නැරඹිය යුතුම
චිත‍්‍රපටයක්. ලස්සන සහ ආදර්ශවත් කතාවක්. ඉතින් මම ලංකාවේ නැති එකේ ඔක්කෝම
ගිහින් මං වෙනුවෙන් ඒ චිත‍්‍රපටය නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලට මාව
සජීවීව දැනේවි.
උදාරිගේ ඒ ආරාධනය ඔබට කියන්නට පොරොන්දු වෙමින් අපි ඇය සහ සැමියා
සුජිත්ගෙන් සමුගන්නට සැරසෙන මොහොතේ ඇය කඳුළු පිරි දෙනෙතින් බලා සිටියාය.
ඇයි මේ උදාරි? අපි විමසීමු.
මේ රට කොච්චර නිදහස් වුණත් මගේ රටේ මිනිස්සු තරම් ලෙංගතු නැහැ. අපේ රටේ
මිනිස්සු හිනාවෙන්නෙ ලෝබ නැතිවයි. මම මගේ රටේ මිනිස්සුන්ට හරිම ආදරෙයි
අයියේ...
මුදු වදනින් ඇය තෙපළන අතරේ අපි ඇයට සුබ පැතුවෙමු.
”අයියලාට සුබ ගමන් අපේ අයට කියන්න මම ඉක්මනට ලංකාවට එනවා කියලා. හැබැයි තනියම නෙවෙයි. මගේ ආදරණීය සුජිත් සහ පුංචි දු කුමාරිය එක්කයි.
ඔව් උදාරි ඒ සියලූ ප‍්‍රාර්ථනා ඉටුවේවා... ඒ ප‍්‍රාර්ථනය සමග අපි ඇයගෙන් සමුගෙන නික්ම ගියෙමු.