Published On:
Posted by gossip lanka live
Chat With Sanka Deneth ලොකු හීන මාළිගා නෑ...
මෑතකාලීනව මෙරට ගායන ක්ෂේත්රයට එක්වුණු කෙටි කාලයක් තුළ ජනප්‍රිය ගීත කිහිපයක්ම ප්‍රේක්ෂකයින් හමුවට ඉදිරිපත් කිරීමට සමත්වූ ගායන ශිල්පියෙකු මෙවර අද දෙරණ ආලින්දය සමග එක්ව සිටියි. "චංචල හැඟුමක", "පුංචි වතේ රංචු ගැහෙන", "පියමංකාර සිතැත්තී" ඔහුගේ හඬින් ගැයුණු එවැනි ජනප්‍රිය ගීත කිහිපයකි. එමෙන්ම මේ වනවිට ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි.
ඔහු සංඛ දිනෙත්...
*සම්පූර්ණ නම
සංඛ දිනෙත් මනීෂ ද සිල්වා
*උපන්දිනය
1986. 11. 12
*ලග්නය
කුම්භ
*උස
අඩි 05 අඟල් 06
*පදිංචිය
කඳාන
*ඉතිං, සංඛ කොහොමද ජීවිතේ?
සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා. ෂේප් එකේ ඉන්නවා ඉතින්.
*ඔබ විවාහ දිවියට ඇතුළු වුණේ මෑතකදී. මේ වෙලාවේ ඔබේ ආදරණීය බිරිඳ ගැනත් මතක්කරමු?
මම විවාහවුණේ ජනවාරි මාසේ. ඇය ටීනා. මගේ වයසෙමයි. පදිංචිය වත්තල. ඇය මගේ ප්‍රථම ප්‍රේමය. ඇය මට හමුවුණේ සාදයකදී. විවාහය ගැන එහෙම ලොකු දෙයක් කියන්න තරම් තවම අත්දැකීම් නෑ. මගේ ජීවිතයේ තිබුණු කාල සටහනේ ලොකු වෙනසක් වෙන්න කාලයක් ලැබුණේ නෑ. මාස කිහිපයක කාලයක් පමණයි ගතවුණේ. වැඩ කටයුතුත් එක්ක ජනවාරි මාසේ ඉඳන්ම මම කාර්යයබහුල වෙලා ඉන්නේ. කොහොමත් එහෙම ලොකු වෙනසක් මම ඇඟට අරගෙනත් නෑ. සුපුරුදු විදිහට අපි බොහොම ආදරෙන් ඉන්නවා.
*මේ වෙද්දි ඔබ වෘත්තීය ගායන ශිල්පියෙක්ද?
මම වෘත්තීය වශයෙන් ගායන ශිල්පියෙක් ද කියන එක මම දන්නේ නෑ. ඇත්තටම ඒක තීරණය කරන්න ඕනේ මම නෙමෙයි මගේ ගීත අහන ශ්රාවකයින්. මම ජාතික තරුණ සේවා සභාවේ කටහඬ පුහුණුව සම්බන්ධව උපදේශකයකු ලෙස වැඩකරනවා. ඊට අමතරව මගේ ආයතනයක් තියෙනවා. ඒ හරහා අපි ඉවෙන්ට්ස් සංවිධානය කරනවා සහ ඕඩියෝ ප්රඩක්ෂන්ස් වෙනම සිදුකරනවා. සහ වෙළඳ දැන්වීම් සඳහා සංගීතය සැපයීමේ කටයුතු කරනවා. ඒ වැඩ කටයුතු සමග තමයි මගේ ගායන කටයුතු සිදුවෙන්නේ.
*සංඛ, ඔබ ගායන ක්ෂේත්රයට පිවිසෙන්නේ ආධුනික ගීත ගායනා තරගයක් හරහායි. එවැනි වැඩසටහන් කිහිපයක්ම තුළින් මෑතකාලීනව බොහෝ නවක ගායන ශිල්පීන්, ශිල්පිණියන් ක්ෂේත්රයට එකතුවුණා. නමුත් දීර්ඝකාලීනව ක්ෂේත්රය තුළ රැඳීසිටින්න අවස්ථාව ලැබුණේ සුළු පිරිසකට පමණයි. ඔබ මේ තත්ත්වයට හේතුව ලෙස දකින්නේ කුමක්ද?
අපිට මේ ක්ෂේත්රයට එන්න කැමති බොහෝ තරුණ පිරිස් හමුවෙනවා. බහුතරයකගේ මතය වෙන්නේ සින්දුවක් කියලා හිට් වෙන්න ඕනේ කියන දෙය. ඒ තුළ ඔවුන්ට දීර්ඝකාලීන අරමුණක් නෑ. මම කියන්නේ සංගීත ක්ෂේත්රයේ පැවතෙන්න ඕනේ නම් හොඳ අධ්‍යයනයක් තිබිය යුතුයි. තමන්ගේ ප්රකාශනය සම්බන්ධව තමන්ට දැනුමක් තිබිය යුතුයි. එවැනි අදහසක් නොමැති වුණාමයි මගදි හිරවෙන්නේ.
*ක්ෂේත්රයට පිවිසුණාට පසු ප්‍රවීණ ශිල්පීන්ගෙන් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබුණේ?
මගේ සංගීත ජීවිතය ඉදිරියට අරගෙන යන්න මට උදව් කළ ප්‍රවීණයින් හිටියේ බොහොම අතළොස්සයි. නමුත් මගේ ජීවිතය තුළ මට සංගීතය එපාවෙන තැනට වැඩ කළ ප්‍රවීණයින් පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඒ වගේම මම හිස නමා ආචාර කරන ප්‍රවීණයින් අතළොස්සක් ඉන්නවා. ඒ අතළොස්ස මාව ධෛර්යයමත් කරලා තියෙනවා. මට අවශ්‍ය දැනුම ලබාදීලා තියෙනවා. ඔවුන්ට මම හැමදාමත් හිස නමා ආචාර කරනවා. මට විතරක් නෙමෙයි මේ ක්ෂේත්රයේ ඉස්සරහට එන්න ඉන්න තරුණ පිරිසට අකුල් හෙලන ළිං මැඩි ප්‍රවීණයෝ ටිකක් ලංකාවේ ඉන්නවා. ඒ ගැන කනගාටුයි. ප්‍රවීණයෙක් කියන්නේ කවුද කියන එක මට කියන්න තේරෙන්නේ නෑ. නමුත් කවදා හෝ මට ප්‍රවීණයෙක් වෙන්න අවස්ථාවක් ලැබුණොත් මම කිසිම පැකිලීමකින් තොරව හැමෝටම උදව් කරනවා. මොකද මට සමහර ප්‍රවීණයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර මත මගේ හිත රිදිලා තියෙනවා. ඒ සිත් රිදීම මේ ක්ෂේත්රයට එන්න ඉන්න මල්ලිලා නංගිලාට නොවෙන්න මම කටයුතු කරනවා.
*මේ දවස්වල වැඩිපුර දකින්න ලැබෙන ප්‍රවණතාවයක් තමයි පැරණි ගීත නව සංගීතය සමග මුසුකර නැවත ගායනා කිරීම. මේ නිසාම ඒ නව නිර්මාණ කරන ශිල්පීන්ට විවිධ චෝදනාත් එල්ල වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
ඔය චෝදනා එක් එක් විදිහට සාධාරණීකරණය කරන්න පුළුවන්. අපි පැරණි ගීතයක් අරගෙන ඒ ගීතයේ සංගීතය අලුත් කරන විදිහ වෙනස් කරලා, ඒ ගීතයේ සංගීතය පහල තැනකට දානවා නම් ඒක වැරදියි. ඒ ගැන කවුදරුහරි දොස් කියනවා නම් ඒක සාධාරණයි. නමුත් පැරණි සංගීතයත් අහලා එයින් ගත යුතු දේ අරගෙන හොඳ නිර්මාණයක් කරනවා නම් මම හිතනවා එය හොඳයි කියලා. මටත් මෑතකදී අවස්ථාවක් ලැබුණා "කඳුපාර ඈත අයිනේ" ගීතයේ නැවත නිර්මාණයක් කරන්න. මම එය කරපු හේතු 02 ක් තිබුණා. එකක් මම පොඩි කාලේ ඉඳලම ඔය ගීතයට බොහොම කැමතියි. මම හිතනවා ලොකු වාසනාවක් කියලා ඒ ගීතය ගායනා කරන්න ලැබීම සහ සංගීතය නිෂ්පාදනය කරන්න ලැබීම. මට ඔය ආරාධනාව සහ ඉල්ලීම කළේ අපේ ප්‍රවීණ සංගීතඥ සරත් අල්විස් මහතාගේ පුතා සුරංග අල්විස්. එම ගීතයේ සංගීතය කළේ ස්ටැන්ලි පීරිස්. ඔහු දිවියෙන් සමුගෙන වසර 10 ක් ගතවීම වෙනුවෙනුයි අපි ඔය ගීතය නිකුත් කළේ. මේ දවස්වල ගොඩක් චෝදනා තියෙනවා ගීතවල රින්ගින්ග් ටෝන්ස්වලින් සල්ලි හොයනවා කියලා. අපි මේ ගීතයෙන් උපයන මුදලින් කොටසක් ස්ටැන්ලි මහතාගේ පවුලේ සාමාජිකයින්ට ලබාදෙනවා. ඔය වගේ හේතු කාරණා ගොඩක් ඇතුළේ තමයි ඔය ගීතය කළේ. එවැනි ගීතයක් හරහා යම් කෙනෙක් ජනප්‍රිය වෙනවා නම් එය හොඳ දෙයක්. ඒ වගේම ඒ ගීතය නැවත අලුත් පරපුර අතරට යාම ගැන කවුරුත් කතාකරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. අපි රියැලිටි තරගයක් හරහා මේ ක්ෂේත්රයට එද්දිත් ගායනා කළේ වෙනත් ශිල්පීන්ගේ ගීත. අපි එදා ඒ ගීත ගායනා කරද්දි ඇතැම් අය ඒ ගීත ගැන දන්නෙත් නෑ. අපි කරන දෙය හරහා පැරණි ගීත අලුත් පරම්පරාවට සම්ප්‍රේෂණයවීමක් වෙනවා. ඒක හොඳ දෙයක්. පැරණි ගීතයක් අරං අලුත් ගායකයෙක් ජනප්රියවීමෙන් කාටවත් හානියක් වෙන්නේ නෑනේ. ඒකත් හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ. නමුත් මම ක්ෂේත්රයට ඇවිත් මගේ නම හදාගත්තේ මගේම ගීත කියලා. ඇතැම්විට"කඳුපාර ඈත අයිනේ" ගීතය මම කරන අවසන් නැවත නිර්මාණය වෙන්න පුළුවන්.
*ගායන ශිල්පියෙකු විදිහට ඔබ මුල්තැනක් දෙන්නේ රසික රසිකාවියන්ට හොඳ නිර්මාණයක් ලබාදීම, ජනප්‍රියත්වය සහ මුදල් යන කරුණු අතරින් කුමන කරුණටද කියලා ඇහුවොත්?
මම සංගීතය කරන්නේ මගේ තෘප්තිමත් බව වෙනුවෙන්. මගේ නිර්මාණවල මගේ හෘද සාක්ෂියට එකඟ නොවී කළ එක් නිර්මාණයක්වත් නෑ. ඔය කරුණු තුන ගැන ගත්තොත් ඒවා වෙනස් වෙන්න පුළුවන්. කාලයක් මම මුදල් සෙවීමේ අරමුණින්ම සංගීතය කරන වෙලාවල් තියෙනවා. කාලයක් මගේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන්ම සංගීතය කරන වෙලාවල් තියෙනවා. ඔය කරුණු තුනම තියෙනවා.
*ජනප්‍රියත්වය මුදලට අලෙවි කිරීම ගැන ඔබ මොකද හිතන්නේ?
අපි කරන ඕනෑම ක්‍රියාවකට මුදල් සම්බන්ධ වෙනවා. අනෙක් කලාකරුවන් ගැන මම දන්නේ නෑ. නමුත් මම නම් මගේ හරි මුදලට ආවොත් එතැනදී මම විකිණෙනවා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ඒ විකිණෙන එක මම පොඩි ක්‍රමයකට කරන්නේ. කිසිම හරයක් නැති නිර්මාණ ඇතුළේ මම විකිණෙන්නේ නෑ. මම කියන්නේ ජනප්‍රියත්වය මුදලට විකුණුවට කමක් නෑ ඒක ඇතුළේ හරි අරමුණක් තියාගෙන.
*ඔබ විවාහ දිවියට ඇතුළුවෙන්නේ ගායන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයේ ඉහළට ළඟාවෙමින් සිටින අවධියේදී. හිතෙන්නේ නැද්ද ඉක්මන් වුණා වැඩියි කියලා?
මම හැමවෙලාවකම මගේ පොදු ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි දෙකක් විදිහට තමයි හිතන්නේ. මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් මම හිතනවා මම විවාහ දිවියට ඇතුළුවීම මට හොඳ අවස්ථාවක් කියලා. මගේ පොදු ජීවිතය තුළ ඇතැම්විට මට එය තර්ජනයක් වෙන්න පුළුවන්. තරුණ ගායන ශිල්පීන්ට බොහෝ තරුණ තරුණියන් ආදරය කරන බව කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්. නමුත් මම දක්ෂයි නම්, මගේ හැකියාවන් හොඳයි නම් මට පුළුවන් වෙන්න ඕනේ ඒ තර්ජනය පොදු ජීවිතය තුළ හොඳ අවස්ථාවක් කරගන්න.
*මේ දක්වා ගායන ක්ෂේත්රය තුළ ඔබ පැමිණි ගමන තුළ අමතක නොවන ලෙස මතකයේ රැඳුණු අත්දැකීමක් ගැන සඳහන් කරන්න පුළුවන්ද?
සෑහෙන අත්දැකීම් තියෙනවා. ඇත්තටම එය හිතාගන්න බැරි වෙනසක්. මම එහෙම සල්ලි ගොඩක් තියෙන පවුලකින් ආව කෙනෙක් නෙමෙයි. බොහොම මධ්‍යම පාන්තික පවුලකින් තමයි මම ආවේ. ඒ කාලෙයි මේ කාලෙයි ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා.
*ඔබේ ජීවිතයේ මේ දක්වා පැමිණි ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?
සෑහීමට පත්වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. දැන් මම ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 04 ක විතර කාලයක් ගතවෙලා තියෙනවා. මම ක්ෂේත්රයට ආවේ ආධුනික ගායකයෙක් විදිහට. අද මේ වනවිට මම සංගීත උපදේශකවරයෙක්, චිත්‍රපට සංගීත අධ්යක්ෂවරයෙක්. පසුබිම් ගායකයෙක්. ඔය කියන හැමදෙයම මට ආවරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. රෙකෝඩ් ලේබලයක හිමිකරුවෙක් වෙන්න විතරයි තවම බැරිවුණේ. මම හිතන්නේ අනිත් කාරණා මම සෑහෙන දුරට ඉෂ්ට කරගෙන තියෙනවා. එහෙම බැලුවොත් මේ වසර 04 තුළ වුණු දේවල් ප්‍රමාණවත්.
*කවදා හෝ ඔබට කලා ක්ෂේත්රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න සිද්ධවුණොත් ඔබ මොනවගේ ක්ෂේත්රයකට යොමුවෙයිද?
මම ගායන ක්ෂේත්රයට එද්දිත් අලෙවිකරණ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා හිටියේ. ඒ පැත්තේ හැකියාවන් තවම මම හදාගෙන යනවා. සංගීතය නැතිවුණත් මට මේ වනවිට ලෝකයේ ඕනෑම රටක ඒ ක්ෂේත්රයේ වැඩ කරන්න පුළුවන්.
*අනාගත බලාපොරොත්තු?
මට එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මට හීන නැත්තේ නෑ. නමුත් ලොකු හීන මාළිගා නෑ. මට ඕනේ අද දවසේ වැඩ ටික කරගෙන පැත්තකට වෙලා ඉන්න. මම හරි කැමතියි පැත්තකට වෙලා ඉන්න. කාටවත් කරදරයක් නොවී පැත්තකට වෙලා ඉන්නයි මම සැලසුම් කරන්නේ.
HARD TALK
*කිසියම් දේශපාලකයකු වෙනුවෙන් ඉහළ මුදලකට, දේශපාලන අරමුණක් වෙනුවෙන් සැකසුණු නිර්මාණයකට දායකවෙන්න ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවද?
නැහැ.
*ජීවිතයේ වැදගත් අවස්ථාවලදී ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවද?
නැහැ.
*කවදා හෝ ඔබේ බිරිඳ කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ගායන ක්ෂේත්රයෙන් ඉවත්වෙන්න කියලා ඉල්ලීමක් කළොත් භාරගන්නවද?
නැහැ.
*ඔබේ ප්‍රථම ප්‍රේමය කොපමණ කල් පැවතුණාද?
විවාහය දක්වා.
*කවදා හෝ ක්ෂේත්රයේ ශිල්පිණියක් ගැන ආදරයක් හෝ ආකර්ෂණයක් ඇතිවෙලා තියෙනවද?
ආකර්ෂණයක් ඇතිවෙලා තියෙනවා.
*ක්ෂේත්රයේ කිසියම් ශිල්පියෙකු හෝ ශිල්පිණියක සමග මත ගැටුමක් ඇතිවෙලා තියෙනවද?
ඔව්.