Published On:
Posted by gossip lanka live

Sanath Abeysekara Talk About Dalada Gamanaya Movie

සනත් අබේසේකර

මේ එළඹෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2556 ක් ගත වූ වෙසක් පුන් පොහොය දිනයයි. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම අසිරිමත් තෙමගුල සිහි කරමින් වෙසක් උත්සවය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව වෙත තවත් අපූරු බෞද්ධ නිර්මාණයක රුව ගුණ තේජස රැගෙන එන්නටයි මේ සූදානම.
ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ශ්‍රී ලංකාවට රැගෙන විත් මේ දිවයින බෞද්ධ රාජ්‍යයක් වූ ආකාරය පසුගිය වසරේ අපි සැමරූ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියත් සමඟම සිනමා නිර්මාණයකින් නැරඹුවා ඔබට මතක ඇති.
ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයෙන්. එතෙක් ටෙලිනාට්‍ය ලෝකයේ විවිධ නිර්මාණ කරමින් සිටි සනත් අබේසේකර සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස එළි දැක්වූයේ ‘මහින්දාගමනය’ චිත්‍රපටයයි.
මහින්දාගමනයෙන් පසු ඔහු සිය දෙවැනි නිර්මාණ කාර්යය සඳහා මේ දිනවල සියලු කටයුතු සැලසුම් කරමින් සිටී. ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙසින් සලකන, ජීවමාන ගෞතම බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනවා යන හැඟීමෙන් විදේශිකයින් ගේ පවා ගෞරවාදරයට පාත්‍රවන ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන්ගේ ලංකාගමනය පිළිබඳ වන චිත්‍රපටය මෙවර ඔහු අතින් නිර්මාණය වේ.
‘සිරි දළදාගමනය’ යැයි නම් ලැබූ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිටත් ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව අභියසින් ආරම්භ වී හමාරයි.
අපේ ඉතිහාසයේ සත්‍ය තොරතුරු ලියවී ඇති මහාවංශයට අනුව දළදා වහන්සේගේ ලංකාගමනය පිළිබඳ සියලු සවිස්තරාත්මක සිද්ධී වාර්තා වන්නේ දාඨාවංශයෙනි. ඒ අනුව කලක පටන් දාඨාවංශය පරිහරණය කරමින් ඒ පිළිබඳ පර්යේෂණාත්මකව අධ්‍යයනය කරමින් අධ්‍යක්ෂවරයා ‘දළදාගමනය’ තිර පිටපත සැකසූ බව පැවසේ.
“ඇත්තටම ‘දාඨාවංශයේ’ තමයි ශ්‍රී දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම සම්බන්ධයෙන් වන බොහෝ තොරතුරු ඇතුළත් වෙන්නේ. විශ්ව විද්‍යාල ප්‍රවේශයට තිබෙන බාහිර උපාධියටත් ‘දාඨාවංශය’ නිර්දේශිත ග්‍රන්ථ අතර තිබෙනවා. බොහෝ විට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා මේ පොත නිබඳවම පරිහරණය කරනවා.
‘දාඨාවංශය’ ලියවිලා තිබෙන්නේ 11 වැනි සියවසේ පොළොන්නරුවේ රාජ්‍යය කළ ලීලාවතී රැජන ගේ රාජ්‍ය සමයේදීයි. ධම්මකිත්ති නම් හිමිනමක් තමයි ‘දාඨාවංශය’ රචනා කර තිබෙන්නේ. ඉතින් මේ පොත කියැවීමෙන් සහ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අනුශාසනා ඇතිව තමයි ‘දළදාගමනය’ චිත්‍රපටයේ තිරපිටපත සැකසුණේ.
පුරා වසර දහස් ගණනක් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ ගෞරවාදරය පුද පූජා ලබමින් දැනට ඓතිහාසික සෙංකඩගල පුරවරයේ වැඩ සිටින්නේ ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාවයි. දාඨාවංශයට අනුව බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු වසර තුන්සියයක් තිස්සේ මේ දළදාවහන්සේ වැඩ සිටියේ ඉන්දියාවේ ය. ඉතිහාස කතාන්දර අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු ‘ඛේම’ නම් වූ රහතන් වහන්සේ එවකට දඹදිව අගරජු වූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට වම් දළදාව බාරදුන්නේ.
මේ දළදා වහන්සේ අවසාන භාගයේ වැජඹෙන්නේ මුහුදින් එතෙර තිබෙන සිහළ දීපය කියන කුඩා දිවයිනකය. එතෙක් දළදා සමිඳුන් ආරක්ෂා කරගන්නැයි කියා ය. බ්‍රහ්මදත්ත රජුගෙන් පසු රාජ්‍යය කළ නොයෙක් රජවරු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල දළදා වහන්සේ තැන්පත් කරමින් පුද පූජා කරමින් පුරා වසර තුන්සියයක් ආරක්ෂා කළහ.
බ්‍රහ්මදත්ත රාජ්‍ය පරම්පරාවේ අවසාන රජ වූ ගුහසීව රජුගේ රාජ්‍ය සමයේ දළදා වහන්සේ අපේ ශ්‍රී ලංකාවට වැඩම කරවූ බව ඉතිහාසයේ සඳහන්වේ. ඉන්දියාවේ මලය දේශයේ රජ කළ කීරධාර රජු ගුහසීව රජුට යුද්ධ ප්‍රකාශ කිරීම, දළදා වහන්සේගේ ලංකාගමනයට හේතු විය. මේ යුදමය වාතාවරණය තුළ ගුහසීව රජු සිය දියණිය වූ හේමමාලා කුමරියට පැවසුවේ මේ සටනින් හදිසියේ හෝ තමා මිය ගියහොත් බමුණු වෙස් ගෙන දළදා වහන්සේ ලංකාදීපයට වැඩම කළ යුතු බව ය. ඒ වන විට ලංකාවේ රජකම් කරනුයේ ‘මහාසේන’ නම් රජ කෙනෙකු බවත් ඔහු බුදුන් සරණ ගිය කෙනෙක් හා ගුහසීව රජුට ඉතා හිතවත් කෙනෙක් බැවින් නුඹලාට හොඳින් සලකාවි යැයි ප්‍රකාශ කර ඇත.
හේමමාලා කුමරිය දන්ත කුමරු ද සමඟ ශ්‍රී දළදා වහන්සේ රැගෙන බඩු ප්‍රවාහනය කළ නෞකාවක නැඟී ලංකාවට ගොඩ බසින විට මහාසේන රජු මියගොස් පොහොය දෙකක් ද ගත වී හමාර ය. ඒ වනවිට ලංකාවේ රාජ්‍ය පාලනය බාරව සිටියේ කිත්සිරි මෙවන් රජු ය.
මෙවන් අසිරිමත් ඓතිහාසික සිද්ධි සමුදායකින් යුත් ‘දළදාගමනය’ චිත්‍රපටය අති විශාල වියදමක් දරා සමස්ත ශ්‍රී ලංකාවාසී මෙන් ම ලෝකවාසී බෞද්ධ ජනතාව වෙතම තිළිණ කරන්නට දැන් සූදානම් ය.
“දළදාගමනය’ චිත්‍රපටය සඳහාත් අතිගරු ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය නො අඩුවම හිමි වුණා. පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිපාණන් ගේ හා පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ ආරාධනයෙන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට ඕස්ට්‍රේලියාවේ ඩැන්ඩිනෝස් භාවනා මධ්‍යස්ථානයේ නායක පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිපාණන් වහන්සේ ඉදිරිපත් වුණා. ඒ හා සමඟම අපේ සිනමා ඉතිහාසයේ නිෂ්පාදන කර්තව්‍යය වෙනුවෙන් කීර්තාමත් නමක් දිනාගත් සෝමා එදිරිසිංහ මහත්මිය මේ සඳහා නිෂ්පාදනයට දායක වෙනවා. එදා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරගන්නට හේමමාලා කුමරිය ඉදිරිපත් වූවා සේ මෙදා ‘දළදාගමනය’ නිමවන්නටත් පින්වත් කාන්තාවක් ඉදිරිපත් වීම හරිම සුවිශේෂීයි.
දැනට අපි සැලසුම් කරගෙන යන ආකාරයට ලක්ෂ 800 කට අධික මුදලක් මේ නිර්මාණ කාර්යය සඳහා වැය වෙනවා.
‘දළදාගමනය’ චිත්‍රපටයේ ගුහසීව රජුගේ චරිතය ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙනියත් ගුහසීව බිසව ලෙසෙ දිල්හානි ඒකනායකත්, පණ්ඩු රජු ලෙස ශ්‍රියන්ත මෙන්ඩිසුත් බ්‍රහ්මදත්ත බිසව ලෙස ගීතා කුමාරසිංහත් කීරධාර රජු ලෙස ඉෂාන් ගම්මුදලිත් ඛීර භීෂණ ලෙස ගයාන් වික්‍රමතිලකත්, ඛීර ජන්තු ලෙස වසන්ත දුක්ගන්නාරාලත් රංගනයට එක්වෙනවා.
“මහින්දාගමනය චිත්‍රපටය නිර්මාණය කරලා ලංකාවේ පමණක් නොව විදේශ රටවල පවා බෞද්ධ අබෞද්ධ ජනතාවගේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මම ලැබුවා. මට හිතෙන්නේ ඒක මම කරගත්ත විශාල පුණ්‍ය මහිමයක් කියලා. ඇත්තටම කියනවා නම් ඒ පිනෙන් තමයි මට හිතෙන්නේ දෙවැනි වතාවටත් එවැනි පුණ්‍ය කර්මයක් කරන්න මට අවස්ථාව හිමි වුණේ කියලා.

මමත් අකරවිට සංඝානන්ද ස්වාමීන් වහන්සේත්, සෝමා එදිරිසිංහ මහත්මියත් දළදා මැදුරට ගිහින් ඒ සඳහා වරම් ඉල්ලුවා. මම මහින්දාගමනය කරන්න පේ වුණා වගේ ම ‘දළඳාගමනය’ කරන්නත් පේ වෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මස් මාංශ කන්නේ නෑ. සෑම පෝයටම සිල් සමාදන් වෙනවා. එවැනි වතාවත්වල යෙදෙන ගමන් තමයි චිත්‍රපටය කරන්නේ. මම හිතනවා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන අයත් හරිම පින්වන්තයි කියලා.
මේ දවස්වල අපි චිත්‍රපටයට අවශ්‍ය රජ මාලිගා සහ දර්ශන තල ඉදි කරමින් සිටිනවා. සියලුම නළු නිළියන් සඳහා ඇඳුම් පැලඳුම් සහ ආභරණ අපි ඉන්දියාවෙන් ගෙනාවා.
අවි ආයුධ සියල්ලම මේ වනවිට අපි තනාගෙන යනවා. නළු නිළියන් සඳහා අශ්වයින් පුහුණු කිරීම් ආදිය මේ දිනවල සිදුවෙනවා.
ඉන්දියාවේ අවසන් රජු දළදා වහන්සේ තැන්පත් කර තිබූ දළඳා මාලිගාව මේ දිනවල මිහින්තලය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. දළදා වහන්සේ ඉහළ මාලයේ සිට පහළ මාලයට වඩම්මවන විට දළදා වහන්සේගේ ආශ්චර්යය පෙන්නුම් කරන්නට මහා විශාල වර්ෂාවක් වහිනවා. ඒ සඳහා විශාල වියදමක් දරල 500 ට අධික වන්දනාකරුවන් යොදලා දර්ශනය රූගත කරන්න සැලසුම් කරලා තිබෙනවා. ප්‍රධාන නළු නිළියන්ට අමතරව 800 ට අධික නළු නිළියන් ප්‍රමාණයක් මේ සඳහා දායක වෙනවා.
කැමරාකරණයෙන් සුමින්ද වීරසිංහ, ඇඳුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙනිය, පසුතල නිර්මාණයෙන් වෙලේගෙදර රණසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් රංග දසනායක, සහාය අධ්‍යක්ෂණයෙන් ධම්මික තිසේරා , අංග රචනයෙන් ප්‍රියන්ත ඊශ්වර ගීත රචනයෙන් එල්ලාවල මේධානන්ද හිමි, පල්ලේගම හේමරතන හිමි, සනත් අබේසේකර මේ සඳහා එක්වෙනවා. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහගෙනි.
‘බෞද්ධයකු වශයෙන් කලාකරුවකු වශයෙන් ජීවිතේ කරන්න පුළුවන් ඉහළම පූජාව තමයි මම මේ කරන්න හදන්නේ. ‘දළදාගමනය’ චිත්‍රපටය 2013 වෙසක් දිනයට පසු දින පටන් ඊ.ඒ.පී. සිනමා ශාලාවල තිරගත වීමට නියමිත ය.


About the Author

Posted by gossip lanka live on 4:36 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:36 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Sanath Abeysekara Talk About Dalada Gamanaya Movie"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.