Published On:
Posted by gossip lanka live

Chat With jackson anthony මුකුත්ම ඉගෙන ගත්ත නැති කෙනකුට කරන්න තිබෙන හොඳම රස්සාව තමයි රඟපෑම.

-ජැක්සන් ඇන්තනී


ජැක්සන් ඇන්තනී නම් වූ ප්‍රවීණ රංගවේදියා ගැන පසුගිය දිනවල අප කතාබහ කළේ ඔහු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘කුස පබා’ චිත්‍රපටයේ කුස රජු ගේ චරිතය නිරූපණය කිරීම නිසාවෙනි. එහෙත් මෙවර අපේ අවධානය ඔහු වෙනුවෙන් යොමු වනුයේ වෙනත් කරුණක් හේතුකොටගෙනය. කුස රජුට සමුදෙන පමාවෙන් ඔහු නැවත අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් වටකොට සිටින රූපවාහිනිය මාධ්‍යය කරා පිය ඔසොවයි. එදා වේදිකාවෙන් සිය ගමන් මඟ ආරම්භ කරමින් ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය රැල්ලෙන් ජනගත වූ ජැක්සන් වැන්නෙක් නැවත රූපවාහිනි නාට්‍යයට එක්වීම සුවිශේෂ සිද්ධියක් වන්නේ කෙසේදැයි මේ මොහොතේ ඔබට සිතෙන්නට ඉඩ ඇත.
මෙවර ජැක්සන් ඇන්තනී ගේ රූපවාහිනී සම්ප්‍රාප්තිය සුවිශේෂී වන්නේ ඔහු පුරා වසර 15කට පසු නැවත ටෙලිනාට්‍යයක රඟපෑම නිසාය. පුරා වසර 15ක් තිස්සේ ටෙලිනාට්‍ය මාධ්‍යයෙන් ඔහු බැහැරව සිටියේ කුමක් නිසාද? වසර 15ට පසු මෙවර ටෙලිනාට්‍යයකට එක්වන්නට තරම් මේ ටෙලිනාට්‍යය සතු සුවිශේෂිත්වය කුමක්ද? යන්න පිළිබඳ කතාබහකට පසුගිය දිනක අප ඔහු මුණගැසුණා. මේ පිළිසඳර ඒ නිමිත්තෙනි.
වසර 15ට පසු ඔබ ටෙලිනාට්‍යය රංගනයකට එක් වෙනවා යැයි ලැබුණු ආරංචිය සත්‍යයක්ද?
සත්‍යයි. මෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ අවුරුදු 15කට පස්සේ මම ටෙලි නාට්‍යයක රඟපානවා කියන එක සහ ඒ ඇයි? කියන එකයි. මම නතර කරපු තැනින් පියවරක් ඉස්සරහට තියනව මිසක් මට පස්සට යන්න බෑනේ. මම රඟපාලා තියෙන්නේ ටෙලිනාට්‍ය අතළොස්සක පමණයි. ඒ හැම එකක්ම සාකච්ඡාවට බඳුන් වුණු, සම්මානයට පාත්‍ර වුණු ටෙලිනාට්‍ය. ‘පළිඟු මැණිකේ’ ගෙන් පටන් අරගෙන ‘කන්දෙ ගෙදර’, ‘තාරා දේවි’, ‘කඩුල්ල’, ‘ඇල්ල ළඟ වලව්ව‘, ‘පිටගම්කාරයෝ’, ‘අකාල සන්ධ්‍යා’ කියන ටෙලි නාට්‍යවල තමයි මම රඟපෑවේ. ‘අකාල සන්ධ්‍යා’ ටෙලිනාට්‍යයෙන් පස්සේ මට ඊට එහා යන චරිතයක් සහිත ටෙලිනාට්‍යයක් හම්බවුණේ නෑ.
මෙච්චර කාලයක් ටෙලි නාට්‍යයක රඟනොපාන්න හේතුව ඒකද? එහෙම නැතිනම් ආරාධනා නොලැබීමද?
එකම හේතුව ඒකයි. හුඟදෙනෙක් හිතනවා පසුගිය කාලයේ මම හරිම කාර්ය බහුලයි ඒ නිසා රඟපාන්නේ නෑ කියලා. එහෙම එකක් නෑ. ආරාධනා නොලැබුණත් නොවේ.
මම තරුණයන්ට, හරියට ගෞරව කරන කෙනෙක්. ඊළඟ පරම්පරාවට මගේ තියෙන්නේ විශාල ගෞරවයක්. විශාල ආදරයක්. ඒ නිසා මම ඔවුන් සමඟ ගැටෙන්න බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් මගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරගෙන එහෙම ගැටෙන්න යන්නේ නෑ. මම ඒ අය සමඟම සම්බන්ධ වෙන්න පුළුවන් තරම් උත්සාහ කළා. මෑත භාගයේ විකාශය වුණු ටෙලිනාට්‍ය කිහිපයක්ම මට ආරාධනා ලැබුණු ඒවා. සමහර ඒවා මම කියවලා පිටපතටත් එකඟ වෙලා ඊළඟ සාකච්ඡාවලදී එපා කියල හිතුණු ඒවා. බොහෝ ඒවා පිටපත් කියවීමෙන්ම බැහැයි කියපු ඒවා. සමහර ඒවා දුරකථනයෙන් තේමාව දැනගත්ත ගමන්ම බැහැයි කියපු ඒවා. ඔය විදියට මම කාලය ගත කළා. මම විවිධ ක්‍ෂේත්‍රවල කාර්ය බහුලව හිටියට මගේ කැමැතිම විෂය රඟපෑම. ඒ අතරින් ටෙලිවිෂනයේ රඟපාන්න ඉතාමත්ම කැමැතියි.
ටෙලිවිෂනය කියන්නේ එකවර විශාල වශයෙන් ජනගත වන මාධ්‍යයක්. අනිත් පැත්තෙන් මේ අපි ඉපදුණ මාධ්‍යය. වේදිකාවෙන් ආවත් අපි ප්‍රකට වුණේ රූපවාහිනියෙන්. ඒ නිසා කාර්ය බහුලත්වයක් මට කවදාවත් නෑ. කාල කළමනාකරණයෙන් මම වැඩ කටයුතු සැලසුම් කරගන්නවා. ඒ නිසා මගේ කාලය ඕනෑම වෙලාවක මාව සන්තෝෂයට පත් කරන නිර්මාණයක් වෙනුවෙන් විවෘතයි.
ඔබට තරුණ පරම්පරාවත් සමඟ වැඩ කිරීමේ දැඩි කැමැත්තක් ආශාවක් තිබෙනවා කිව්වා. ඒකට හේතුව මොකක්ද?
මගේ බලපොරොත්තුව මගේ පැළැන්තියේ මාව මීට පෙර අධ්‍යක්ෂණය කළ අයගේ ටෙලිනාට්‍යයක රඟපෑමට නොවෙයි. මම ඔවුන්ගෙන් තෘප්තිමත් වී හමාරයි.
මට හැම මොහොතේම තිබෙන අවශ්‍යතාව තමයි ඊළඟ පරම්පරාවත් සමඟ සබඳතාවයක් ගොඩනඟා ගැනීම. ඊළඟ පරම්පරාවේ ටෙලිනාට්‍යකරුවන් සමඟ එකතුවෙන්න මට ලොකු කැමැත්තක් තිබුණා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වන්න අවුරුදු 15ක් ගියා.
ඔබ මෙවර සම්බන්ධ වී සිටින්නේ එවන් තරුණ අධ්‍යක්ෂවරයකු සමඟද?
මෙවර මට ඒ තරුණ සම්බන්ධතාව ලැබුණේ අධ්‍යක්ෂවරයා සමඟ නොවෙයි. මේ අධ්‍යක්ෂවරයා මීට පෙර මාව අධ්‍යක්ෂණය කළ කෙනෙක්. මම ආනන්ද අබේනායකගේ ‘කන්දෙ ගෙදර’ ටෙලි නාට්‍යයේ ‘සඳුන් මහත්තයා’ වුණු හැටි තාමත් ප්‍රේක්ෂකයින්ට හොඳට මතකයි. මෙවර ආනන්ද මාව මුණගැහෙන්න ආවේ මම ආදරය කරන තරුණයකුගේ පිටපතක් අරගෙන. ඔහු නාමල් ජයසිංහ. පසුගිය කාලයේ මම කැමැත්තෙන් නැරඹූ ටෙලි නාට්‍ය කිහිපයකම රචකයා ඔහු.
ඒ වගේම අපි අද කරන්නේ ටෙලි නාට්‍යවල බනින එකම පමණයිනේ. නමුත් සොයා බලද්දි මට දැනගන්නට ලැබුණේ ස්වර්ණවාහිනියේ දැනට විකාශය වන සතිඅන්ත ටෙලිනාට්‍ය අතරින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සටහන් වෙලා තියෙන්නේ ‘අහසින් වැටුණා’ කියන ටෙලි නාට්‍යයට. මේ ටෙලිනාට්‍යය රචනා කරන්නේ නාමල් ජයසිංහ. අධ්‍යක්ෂණය කරන්නේ ආනන්ද අබේනායක. කාලයක් පුරා ආනන්ද අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය සඳහා වැඩිම ප්‍රතිචාරත් ලැබුණා. සම්මානත් ලැබුණා. ගුණාත්මක අතින් ඉහළ ටෙලි නාට්‍ය කිරීමෙන් ප්‍රේක්ෂක ග්‍රහණය ලබා ගත නොහැකිය කියන මිත්‍යාව ආනන්ද වෙනස් කරලා තිබෙනවා.
අපේ රටේ එහෙම මිත්‍යාවක් තිබෙනවා. වැඩි ප්‍රේක්ෂක ග්‍රහණයක් ලබාගන්න නම් බොළඳ ප්‍රේමය, ඕලාරික ප්‍රේම කතා, භාවාතිශය සිදුවීම් සහිත මෝඩ ටෙලිනාට්‍ය කතා තිබිය යුතුයි කියලා ව්‍යාජ අධිකාරි මතයක් හදාගෙන ඉන්නවා. මේ මතය මම කියන්නේ අපේ රටේ ජනතාවට විශාල අගෞරවයක්. වෙනත් රටකට වඩා අපේ රට අනාදිමත් කාලයක් උසස් කලාවක් රසවින්ද ජනතාවක් ඉන්නේ.
ඒ පරම්පරා උරුමයේ වර්තමානිකයින් අද ටෙලිනාට්‍ය බලන්නේ ‘කව් සිළුමිණ’ කියවපු ‘සැළලිහිණි සංදේශය’, ’අමාවතුර’, ‘බුත්සරණ’ කියවපු පරම්පරාවක වර්තමානිකයින් අද ඉන්නේ. රසඥතාව ටෙලි නාට්‍ය නිසා හානිවෙලා කියන මතයට මම කවදත් විරුද්ධයි. අපේ රසඥතාවයට කාටවත් එහෙම හානි කරන්න බෑ. මේ ආනන්ද සහ නාමල් ජයසිංහගේ එකතුවෙන් පසුගිය කාලය පුරාම හොඳ නිර්මාණ බිහිවුණා. මේකත් මට හොඳ නිර්ණායකයක් වුණා. ආනන්ද ‘අප්පච්චි’ නමැති ටෙලිනාට්‍යය පිටපත මගේ ඉදිරියෙන් තබනකොටම පළමු තෝරාගැනීම මම කරලා ඉවරයි.
’අප්පච්චි’ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය කොයි වගේද?
මේ පිටපත කියවත්දි මට හිතුණා මීට පෙර ටෙලිවිෂන්වල කියවල තියන පිටපත් ගත්තම පළමු තැන ගන්නේ තිලක් ජයරත්න කියලා. ඔහු තමයි ලංකාවේ ටෙලිනාට්‍ය පිටපත් රචනයේ මගේ මුදුන් මල්කඩ. ඔහු උග්‍ර දේශපාලනික, ආර්ථික, විමර්ශන සරල ටෙලිනාට්‍යවලට ගත්තා.


මම රඟපාපු ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ තිලක් ජයරත්න රචනා කළ ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය ගත්තොත් එහි තිබෙන්නේ සම්පූර්ණ ආර්ථික විද්‍යා පාඩමක්. ඒ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය ආර්ථික අතින් සමෘද්ධිමත් වෙලා දේශපාලන බලය අත් අඩංගුවට ගැනීම නිසා උග්‍ර ශාස්ත්‍රීය මතවාදය. කුමාරි ජයවර්ධනලා මේක රචනා කරලා තිබුණේ විශාල පොත්වලින්.
මෙන්න මේ ගැඹුරු ආර්ථික දේශපාලනික විෂය පථය ජනකාන්ත ටෙලිනාට්‍යයක් බවට පත්කළා තිලක් ජයරත්න. මෙන්න ටෙලිවිෂනයේ කාර්යභාරය. ‘අප්පච්චි’, ටෙලිනාට්‍යය පිටපත කියවත්දි මට දැනුණේ මේ කියන ‘අප්පච්චි’ අපේ රටේ වර්තමාන සමාජයේ හැමකෙනෙක් තුළම ජීවත්වන ‘අප්පච්චි’ කෙනෙක්. අපි ප්‍රාර්ථනා කරන ‘අප්පච්චි’ සේම අපි කිසිවෙකුටවත් නොලැබුණු ‘අප්පච්චි’ මේ පිටපතේ ඉන්නේ. මේ ‘අප්පච්චිගේ’ චරිතය තමයි මම නිරූපණය කරන්නේ.
මේ චරිතය ක්‍රියාත්මක වෙන්නේ අප්පච්චි සහ දියණිවරුන් හතර දෙනෙක් අතර. මේ කතා ප්‍රවෘත්තිය හරි පුදුමයි. සුන්දර විවාහ ජීවිතයක් ගෙවන යුවළක් හා දරු හතරදෙනෙක් වටා ගෙතෙන කතාව. බිරිඳගේ හදිසි වියොවත් සමඟ මේ අප්පච්චි ජීවිතේට මුහුණ දෙන හැටි තමයි කතාව පුරාම තිබෙන්නේ. මේ අප්පච්චි තුළ ‘මම’ කෙනෙක් ජීවත් වෙනවා. මට හරි ළඟයි මේ අප්පච්චි. මමත් දරුවෝ තුන්දෙනෙක් හා සුන්දර බිරිඳක් එක්ක ජීවත්වෙන කෙනෙක්.
මගේ ගෙදර සිද්ධවෙන බොහෝ සිදුවීම් මේ ගෙදරත් සිද්ධ වෙනවා. මම ඒ තැන්වලදි හරිම හැඟීම්බර වෙනවා. මම දරුවන්ට හරියට ආදරය පෙන්වන අප්පච්චි කෙනෙක්. මගේ අම්මා තාත්තත් මට හරියට ආදරය පෙන්නපු දෙන්නෙක්. අපේ අම්මා හරිම කැමැතියි මාව වැළඳගන්න. මමත් ආසයි ඒකට. මගේ දරුවෝ දැන් ලොකුයි. සමහරු විවාහත් වෙලා. ඒත් තවම මම උන්ට ආදරෙයි කියනවා, වැළඳ ගන්නවා. මේ ටෙලිනාට්‍යයේ එන අප්පච්චිත් ඒ වගේමයි. මට හරියට මගේ ජීවිතය මතක් වුණා. ඒ නිසා මේක හරිම මිහිරි අත්දැකීමක් මට.
අද වන විට අවර ගණයේ ටෙලි නාට්‍ය බිහිවෙනවා රඟපාන්න බැරි අයට සම්මාන ලැබෙනවා. නමක්වත් අහලා නැති අය ජනප්‍රිය තරු වෙනවා. මෙගා ටෙලි නාට්‍ය බිහිවෙනවා ආදී වශයෙන් විවිධ මැසිවිලි මේ ක්‍ෂේත්‍රයට ලැබෙනවා. වසර 15ට පසු ටෙලිනාට්‍යයක රඟපාන, ටෙලි නාට්‍ය ආරම්භ වූ අවදියේ සිට මේ මාධ්‍යයේ හිටපු ඔබට වර්තමාන ටෙලි නාට්‍ය කලාව ගැන මොනවද කියන්න තිබෙන්නේ?
මම අවුරුදු 15න් නැවත ටෙලි නාට්‍ය දර්ශන තලයට යනකොට තාක්ෂණය පුදුමාකාර විදියට දියුණු වෙලා. කැමරාව, ආලෝකකරණය, හඬ පටිගත කිරීම ආදිය ඉතාම ඉහළයි. ඒ පැත්තෙන් ඔවුන් නිර්මාණාත්මකව ඉහළ තලයක ඉන්නවා. නමුත් මානව සම්පත තමයි අඩුවෙලා තිබෙන්නේ. ලංකාවේ නාමල් ජයසිංහගේ තිබෙන දුර්ලභකම මොකක්ද? එවැනි පිටපත් රචකයෝ හොයන්න අමාරුයි.
පිටපතක තිබෙන දුර්වලකම නිසාද මෙවැනි අවර ගණයේ ටෙලි නාට්‍ය බිහිවෙන්නේ?
පළවැනි කාරණාව පිටපත් හිඟය. එහෙම නැත්නම් ‘මෙගා ටෙලිනාට්‍යය කියන සෝප් ඔපෙරා ආකෘතිය තුළත් මීට වැඩිය විශ්වකර්ම වැඩ කරන්න පුළුවන්. ලෝකේ, වෙනත් රටවල් එහෙම කරනවා. මේක මුලින්ම ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යයෙන් සෝමවීර සේනානායක කළා. නමුත් අද ටෙලි නාට්‍යවල ඉන්න ආදරවන්තයින්, ආදරවන්තියන් මේ ලෝකේ ඉන්න අය නොවෙයි. හීනවල ඉන්න අය. ඒ නිසා ස්වභාවධර්මය, අපේ සමාජයට දිය යුතු පාඩම ආදිය කැටිකොටගත් පිටපත් රචනාවකින් හොඳ මෙගා ටෙලිනාට්‍යයක් බිහිකළ හැකියි. මම මෙගා රැල්ලට විරුද්ධ කෙනෙක් නොවෙයි. හේතුව දීර්ඝ ටෙලි නාට්‍ය ලෝකේ හැම තැනම තිබෙනවා.
ඒවා අපට විතරක් පිටුවහල් කරන්න බෑ. දිනපතා විකාශය කරන ටෙලිනාට්‍ය මඟින් පුදුමාකාර දේවල් කතා කරනවා ලෝකේ බොහෝ රටවල්. අපට නැත්තේ මෙවැනි පිටපත් රචකයෝ. දෙවනුව තමයි අධ්‍යක්ෂවරයා වෙත යන්නේ. අධ්‍යක්ෂවරයා වෙතිනුත් පිටපතට එකතු වෙන යම් යම් දේ තිබෙනවා.
අද අපේ බොහෝ අධ්‍යක්ෂවරු කරන්නේ පිටපත ෆොටෝ ගහන එකයි. ඉස්සර එහෙම නෑ. මේකයි අඩුවෙලා තිබෙන්නේ. ඊළඟ කාරණාව තමයි නිරූපණය. අද රඟපෑම කියන විෂය ලංකාවේ හුඟක් අශාස්ත්‍රියයි. මුළු ලෝකයම මේක ශාස්ත්‍රයක් ලෙස ගෞරවයෙන් ගන්න කොට ලංකව පුන පුනා කියනවා මේකෙ ඉගෙන ගන්න දෙයක් නෑ කියලා. මුකුත්ම ඉගෙන ගත්ත නැති කෙනකුට කරන්න තිබෙන හොඳම රස්සාව තමයි රඟපෑම.




About the Author

Posted by gossip lanka live on 2:06 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 2:06 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With jackson anthony මුකුත්ම ඉගෙන ගත්ත නැති කෙනකුට කරන්න තිබෙන හොඳම රස්සාව තමයි රඟපෑම."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.