marambary With edward jayakody In Nelum Pokuna 'මාරම්බරී' සමග ඒ සොඳුරු මිනිසා නෙළුම් පොකුණට එන වගයි.
රී ලංකීය සුභාවිත සංගීතයේ ජයදද බැන්දූ හෙළ නම රැන්ඳූ සුපැහැදිලි හඬ පෞරුෂය ඔහුගේය. ඔහු විශාරද එඩ්වඩ් ජයකොඩි නම් වේ. නව අවුරු දු උදාවේදීද, බක්මගේ අසිරියේදීද, තෙමඟුලේ සඳරැස් ගලා හැලෙන සමයේද ඔහුගේ හඬ අපට සමීපය. හරය විනය දැක්ම සමග අපේකම, අව්‍යාජ ගැමිකම මෙන්ම පන්සලේ පල්ලියේ ආධ්‍යාත්මයද කර පින්නාගෙන ගීයට ළබැඳිව ඔහු ආ ගමන දශක තුනහමාරකට ආසන්නය. ඒ වෙනුවෙන් ඔහුගේ ජන්ම දිනය යෙදෙන මොහොතේ පේරාදෙණිය සරසවියේ 82 කණ්ඩායම මේ සූදානම් වන්නේ හදවතින්ම කාටත් දයාබර වූ ඒ සංගීතවේදියාණන්ට උපහාර පිදීමටය. ඒ උපහාරය ලෙස ඔවුන් සංවිධානය කර ඇත්තේ "මාරම්බරී" ඒක පුද්ගල සංගීත ප්‍රසංගයයි. විශාරද එඩ්වඩ් ජයකොඩි මේ සූදානම් වන්නේ අප්‍රේල් 5 වැනි දින ආසිරිමත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ සැන්දෑවේ 7ට පැවැත්වෙන එම ප්‍රසංගය හැඩ කිරීම වෙනුවෙනි. ඒ සඳහා සූදානම් වන මාධ්‍ය ක්ෂේත්‍රයට හදවතින්ම ගරු කරන එඩ්වඩ් ජයකොඩි නමැති ඒ සොඳුරුතම කලාකරුවාගේ ආධ්‍යාත්මයේ ඇතුළාන්තයට මොහොතකට අපි එබිකම් කර බලමු.
කුඩා කාලය
හෙට්ටිමුල්ල සුන්දර කෘෂිකාර්මික ගමක්. පාසල් යන්න තිබුණේ හැතැප්මක් විතර පයින්. මුලින්ම ගියේ හෙට්ටිමුල්ල කනිෂ්ඨ විදුහලට. මේ පාසල් ගමන හරිම සුන්දර වුණා. බඩ වැටිල ඕවිට, ඇල-දොළ සියල්ලෙහි පීනා යමින්, අඹල ජම්බුල පේර ගස් වැල්වලට බැල්ම දාමින්, ඒවා කඩාකමින් ගත කළ කාලය ඉතාම සුන්දරයි. පින්තාලියෙන් වතුර බී යාළුවෝ එක්ක පාරවල්වල සෙල්ලම් කරමින් ඒ ගෙවූ කාලය නම් හරිම මිහිරියි. මුල් කාලයේදී අපි පදිංචිවෙලා හිටියේ පොල් අතු සෙවිලි කළ නිවසක. ඒ ගෙදර පුදුම සිසිලසක් තිබුණේ. එදා අපේ ගමට විදුලියවත් තිබුණේ නැහැ. හරියට පාරක්වත් තිබුණේ නැහැ. ඒත් අපි ළමා කාලය සුන්දරව ගත කළා. කුඹුරු වැඩ කාලයට ගිහින් ඒ වැඩවලට අපිත් දායකවුණා. සරුංගල් ඇරියා. මඩ නාගෙන ගෙදර ආවා. රාත්‍රියට පෙට්ට්‍රෝල් ලාම්පු තමයි තිබුණේ. ඇත්තටම ඒ ළමා කාලය සුන්දර චිත්‍රයක් වගෙයි.යොවුන් වියේ සිට තරුණ කාලය
යොවුන් වියේදී කෑගල්ල ටවුමේ පල්ලියට ඒ මේ පුරුද්දක් තිබුණා. හැතැප්ම හතරක් විතර මඟ ගෙවාගෙන එතැනට ගියා. ඉරිදාට ගෙදර ඔක්කෝම එක්ක එතැනට ආවා. මම සිහින මැව්වේ ශාන්තමරියා විදුහලට ඇතුළු වෙන්න. අක්කලා ගියේ ශාන්ත ජෝෂප් බාලිකාවට. අය්යලා ශාන්ත මේරි විදුහලට. මටත් ඒ පාසලට ඇතුළත්වීමේ වරම ලැබුණා. හයේ පංතියේ සිටියදී ලස්සන සර් කෙනෙක් ආවා. සර් නැටුම් උගන්වන අතරේ එස්රාජය වාදනය කරමින් ගැයුවා. සර්ගෙ කාමරයේ අමරදේව සර්ගෙ පිංතූර එල්ලලා තිබුණා. මේ සියල්ල අතරේ ගුරුවරු ආදරය කරන චරිතයක් බවට මම පත්වුණේ, කවි, ගී ගැයීමට දක්ෂතා පෙන්වූ නිසයි. පාසලේ විවිධ දේ වලට දායක වුණා. ගෙදර ඇවිල්ලත් ගෙදර අය එක්ක බජව් දාපු අවස්ථා එමටයි. ඉගෙන ගනිද්දි ලොකු අරමුණක් නොතිබුණත් පූජකවරයෙකු වීමේ ආසාව තිබුණා. අර සර් මාව සංගීතයට යොමු කළේ බලෙන්ම වාගෙයි. අන්න මං තමුසෙ සංගීත විභාගෙකට දැම්මා ඒකට යනවා කියලා සර් කිව්වා. එච්.සමරපාල කියන මේ සර් හිටියෙත් අපේ ගෙවල් අසලමයි. විභාගයට අම්මා මාව එක්කගෙන ගියා. පරීක්ෂකවරයා මට රාගයක් කියන්න කීවා. මම රාග දැන සිටියේ නැහැ. අපේ සර් තොරණකට කළ ගීයක් මම ගායනා කළා. සර් මගේ හැකියාව හඳුනාගෙන මේ ළමයට හොඳ තැනක් තියෙන බව අම්මාට කිව්වා. ඒ පරීක්ෂකවරයා අන් කවරෙකුවත් නෙමෙයි ආචාර්ය ලයනල් එදිරිසිංහ සූරීන්. පාසලේදී එදා අපි සමස්ත ලංකා තරග බොහොමයක් ජයග්‍රහණය කළා. ඊරියගොල්ල ශූරීන් විටෙක ත්‍යාග ප්‍රදානෝත්සවයකදී කිව්වෙ අර කෑගල්ල කොල්ලා වගේ දෙතුන් දෙනෙක් හදාගත්තා නම් අපට හොඳටෝම ඇති කියලයි. ඒ කතාව අවසන මට ඩබ්.බීගමකුලොලුව සූරීන් යටතේ සංගීතය ඉගෙන ගන්න නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණා.උසස් පෙළ කළේ වාණිජ විෂයයන්.
හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විදුහලේ සිට පසුව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය හෙවත් ගමන වෙනස් වුණේ සෞන්දර්ය සරසවියට තේරුණාමයි. එහි සිටි ප්‍රකට චරිත වන මහගම සේකර, අමරදේව, පණීභාරත වැනි ශ්‍රේෂ්ඨයන් දුටුවාම අප මවිතයෙන් බලා සිටියා. ඉස්සර ගුවන් විදුලියේ ගීත ගයන්න එක්වර අවස්ථා ලැබුණේ නැහැ. හොඳ ගී තෝරා ඒ සඳහා අවස්ථා ලැබුණා. පී.එස්.බී.රාජ් පෙරේරා මහත්මිය නිෂ්පාදනය කළ වැඩ සටහනකින් තමයි මුල්වරට ගීතයක් ගැයීමේ අවස්ථාව ලැබුණා. "කරදිය ගැඹරේ" ගීතය එහි සංගීතය කළේ මගේ කාලයේදී බිහිවූ රෝහණ වීරසිංහයන් විසින්මයි. ඒ බැඳීම අද දක්වා පැවතීම මට දේවාශීර්වාදයක් වුණා. විශාරද එඩ්වඩ් ජයකොඩි තමාගේ ගෙවී ගිය යටගියාවෙන් බිඳක් ගෙන හැර පෑවේ එලෙසිනි. ඉන්පසු ඔහු ගායකයකු ලෙස ශ්‍රී ලාංකීය නිජබිමේ ඔහුගේ ලකුණ සනිටුහන් කර ගත්තේ එක් මොහොතක ප්‍රයත්නයක් නිසා නොවේ. හැදෑරීම්, පෙරහුරු, සතතා අභ්‍යාස ආදී සියල්ල මත සංයමයෙන් ආ ගමනක ඵලයක් ලෙසයි. විටෙක අමරදේව සූරීන් සහ නන්දා මාලනිය කළ ශ්‍රවණ ආරාධනා සඳහා අත්වැල් ගායනයට ඔහු පණ්ඩිත් අමරදේවයන්ගේ ශ්‍රවණ රමණී සඳහාද දායක විය. එඩ්වඩ් යනු එලෙසින් මුලාශ්‍ර ලබමින් අභ්‍යාස ලබමින් බිහිවූ සොඳුරුතම ශිල්පියෙකි. ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය මාරිම්බා පවත්වන්නේ 2010 වසරේදීය. ඒ දක්වා කිසිවිටෙකත් කිසිවකටත් කලබල නොවූ ඔහු අද වනවිට කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරදිග සංගීත විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙසය. විටෙක නාලන්දාවේ සහ තවත් පාසල් ගුරුවරයෙකු ලෙසද සේවය කළේය. ඕනෑම ගායන ශිල්පියෙකුගේ කූඨ ප්‍රාප්තිය වන්නේ ඒක පුද්ගල ප්‍රසංගයකි. ඒ සමඟ ලෝකය පුරා එඩ්වඩ් මේ වනවිට ගොස් තිබේ. ඒ කොතැන ගියද ඔහු කිසිදිනෙක අඩියක් උඩින් ගිය කලාකරුවක් නොවේ. ජාති ආගම් භේදයක් නැති ඔහුට පාසලේද පල්ලියද අනෙකුත් දේවස්ථානයද ජනතාවද එකම පිරිසකි. ඔහු ඔවුනට ආදරය කරන්නේ හදවතින්මය. මාධ්‍යයට මෙතරම් ගරු කරන තවත් කෙනෙකු නොවන තරමටම එඩ්වඩ් ගුණ යහපත් චරිතයකි. මේ සියල්ල ගැන අප කියනවාට වඩා ඔහුගේ මාමණ්ඩිය ආරියදාස පීරිස් කියූ කතාවකින් මේ සටහනට සමුදෙමි."මට දැන් අවුරුදු අසූ ගාණක් වෙනවා. ඇත්තටම එඩ්වඩ් කියන්නෙ හරි පුදුම මිනිසෙක්. මම මෙච්චර කාලයක් ජීවත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ මේ සුන්දර මිනිසාගෙ දයාව කරුණාව නිසයි. මම චරිතා දුවට ආදරේ තමයි. ඒත් ඊට වැඩිය එඩ්වඩ්ට මම හරිම ආදරෙයි."
ඉතින් විශාරද සොඳුරු සන්නිවේදකයාණෙනි, ඔබගේ මාමණ්ඩිය කියන ඒ කතාවෙන් පෙනී යන්නේ කලාකරුවෙකුට තිබිය යුතු හොඳම ගුණාංගය ඔබ සතුවීම ගැන නේද?
මේ මනුස්සකම රැව්දෙන අපූරු නිමේෂය 5 වැනිදා නෙළුම් පොකුණට එන්නේ මාරම්බරී සමඟ බව දැන් ඔබ දන්නා කරුණකි. සහතිකෙන්ම මේ රඟහල මෙදින ප්‍රේක්ෂකයන්ගෙන් පිරීඉතිරී යන බව ඒකාන්තය. ඒ නුඹගේ සොඳුරු හඬ සහ මනුස්සකම නිසාමය.