Published On:
Posted by gossip lanka live

පැහැදිලිවම මමත් ටෙලි කම්කරුවෙක්‌ - ගිහාන්

සල්ලිවලට එහාගිය දෙයක්‌ නළුකම ඇතුලේ තියෙනවා
දේශපාලනඥයන් පසුපස ගිය බොහෝ කලාකරුවන්ට අද යන එන මං නැතිවෙලා


වේදිකාවෙන් ලැබූ පන්නරය තුළින් ඔහු පුංචි තිරයට නිතර ගොඩවෙන්නේ දාමරිකයෙක්‌ විදිහට. හැබැයි මේ දිනවල නම් ඔහු පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ බොළඳ චරිතයක්‌ ලෙසයි. මේකට හේතුව මොකක්‌ද කියලා දැනගන්න වේදිකාවේ පෙර පුහුණුවීම් සිදුකරමින් සිටින තැනකදීම අපි ගිහාන්ව මුණ ගැසුණා.


පසුගිය දිනවල චණ්‌ඩියෙක්‌ වුණ ගිහාන් මේ දවස්‌වල බොළඳ චරිතයක්‌ වෙලා කිව්වොත් ?

මම හිතන්නේ විශේෂයෙන්ම දීර්ඝ ටෙලිනාට්‍යවල රඟපාද්දී විවිධ චරිත රඟපාන්න වෙනවා. මොකද එවැනි චරිත රඟපෑවේ නැතිනම් ටික කාලයක්‌ යද්දී එකම චරිතයකට කොටුවෙන ලක්‍ෂණ පෙන්නුම් කරනවා. ඒ හින්දා මම හැමවෙලේම උත්සාහ කරන්නේ මට ලැබෙන චරිතයේ යම් වෙනසක්‌ කරන්න. සිහින පියාපත් ටෙලිනාට්‍යයේ පිටපත් රචක සනත් සමරනායක සහ අධ්‍යක්‍ෂ සඳුන් රාජකරුණා සමග කතාබහ කරමින් මම වෙන විදිහේ චරිතයකට අවතීර්ණ වෙලයි තියෙන්නේ.

හැබැයි රසිකයෝ ඔබට ආදරය කරන්නේ චණ්‌ඩියාගේ චරිතය හින්ද?. ඒක අපරාධයක්‌ කියා හිතෙන්නේ නැතිද?

ඉදිරියේදී මේ චරිතයේත් යම් යම් වෙනස්‌වීම් සිදුවීමට නියමිතයි. ඒ හින්දා හැමදාම එකම විදිහට දකිනවට වඩා වෙනස්‌ දෙයක්‌ කරන්න මටත් හිතුණා. ඒකට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ගිහාන් ප්‍රනාන්දු කියන්නේ වෘත්තීය නළුවෙක්‌ද?

පැහැදිලිවම මම වෘත්තීය නළුවෙක්‌.

නළුකම වෘත්තිය කරගත්තු නිසා නේද ලැබෙන ඕනෑම දෙයක්‌ කරන්න වෙලා තියෙන්නේ ?

එහෙම කියන්න බැහැ. ලෝකය ගත්තහමත් වෘත්තීයමය රංගන ශිල්පීන්ට තමයි පුළුවන් වෙන්නේ පූර්ණකාලීනව මේ වෙනුවෙන් කැපවෙන්න. විශේෂයෙන් අපේ වගේ රටක රැකියාවක්‌ කරන කොට ඊට අදාළ විවිධ ගැටලු මතුවෙනවා. විශේෂයෙන් නළුවෙක්‌ නිළියක්‌ රැකියාවක්‌ කරන කොට ඔහුට රටේ පිළිගැනීමක්‌ ඇතිවෙන කොට රැකියා කරන ස්‌ථානයේ අනෙක්‌ අයට ඔහු හෝ ඇය ගැන යම් ඊර්ෂ්‍යාවක්‌ ද්වේෂයක්‌ ඇතිවෙනවා. එතකොට තමන් කරන කාරණය හරියට කරගන්න බැරිවෙනවා. හැබැයි වෘත්තීය නළුවෙක්‌ වුණහම තමන්ට ඊට සාධාරණයක්‌ ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා. හැබැයි ලංකාවේ බොහෝ අය එහෙම කරන්නේ නැහැ.

ඇයි ඒ ?

වෘත්තීයමය කියලා හිතාගෙන ඉන්නේ සල්ලිවලට රඟපාන එක විතරයි කියලයි ගොඩක්‌දෙනා හිතන්නේ. හැබැයි සල්ලිවලට රඟපානවාට වඩා එහාට ගිය විශාල වැඩකොටසක්‌ වෘත්තීයමය නළුවෙකු සතුයි. මම හිතනවා අපේ වගේ රටවල වෘත්තීයමය වීම නොවෙයි ප්‍රශ්නය.

එහෙනම් මොකක්‌ද ප්‍රශ්නය ?

වෘත්තියට ගෙවන මිලයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

අපේ රටේ වෘත්තීය නළුවෝ කියන්නේ දවස්‌ පඩිකාරයෝ කියලනේ ඔය කියන්නේ ?

හරියට හරි. මම ඒකට කියන්නේ ටෙලිකම්කරු කියලා. ඉතිං අපි ටෙලිකම්කරු තත්ත්වයට ඇදවැටිලයි තියෙන්නේ. බොහොම අඩු මුදලට තමන්ගේ වෘත්තිය විකුණන්න සිද්ධවෙලා තියෙනවා.

ගිහාන් කියන්නෙත් ටෙලිකම්කරුවෙක්‌ද?

පැහැදිලිවම ටෙලිකම්කරුවෙක්‌. අපේ ආත්ම තෘප්තිය තකා, එහෙමත් නැතිනම් රංගනය කියන විෂය සම්බන්ධයෙන් මගේ තිබෙන තෘප්තිය තකා කරන බොහෝ දේවල් සිද්ධවෙන්නේ වේදිකාව උඩයි.

එදා නළුවාට මීට වඩා හොඳ තැනක්‌ තිබුණා... ?

එදා නළුවෙක්‌ ගත්තහම ඒ අයට ගෙවන මිල වගේම රටේ ආර්ථික තත්ත්වය සමගත් ඒ අයට ජීවත්වෙන්න තිබුණ අපහසුතාව මීට වඩා අඩුයි. අද වෙනකොට මම හිතන්නෙ නළුවෙක්‌ නෙමෙයි ඕනෑම වෘත්තියක නියෑළෙන කෙනෙකුට ජීවත්වෙන්න විශාල මුදලක්‌ සොයන්න වෙලා තියෙනවා. ඉතිං මේ වගේ අස්‌ථාවර රැකියාවක නිරත වෙන කෙනෙක්‌ හැටියට වඩා හොඳ මිලකට විකිණෙන එක තමයි කරන්න සිද්ධවෙලා තියෙන්නේ.

ඇයි මේ වගේ අස්‌ථාවර රස්‌සාවක්‌ තෝරාගත්තේ ?

මම මුලින්ම රැකියාව කළේa විශ්වවිද්‍යාලයේ. අවුරුදු 12 ක්‌ මම රජයේ සේවකයෙක්‌ විදිහට විශ්වවිද්‍යාලයේ වැඩකළා. ඊට පසුව පූර්ණකාලීනව මේ වෘත්තිය තෝරාගැනීමට හේතුවක්‌ වුණේ ආත්ම තෘප්තිය උදෙසායි. මම කරන්නේ මට විඳින්න පුළුවන් රැකියාවක්‌.

තෘප්තිමත් වෙලා මදිනේ, ජීවත්වෙන්න සල්ලි එපායෑ ?

මම හැමතිස්‌සේම කියන්නේ ලෝකයේ වාසනාවන්තම රස්‌සාව තමයි අපි කරන්නේ. හැබැයි අවාසනාවන්ත රටක.

ලංකාවේ තරුණයෙකුට නළුවෙක්‌ වෙන්න තියෙන්න ඕනෑ අවම සුදුසුකම් මොනවාද?

ලංකාවේ මේ මොහොතේ තරුණයෙකුට වඩා තරුණියකට නිළියක්‌ වෙන්න අවස්‌ථාව වැඩියි. ලංකාවේ නම් දැන් තියෙන්න ඕනෑ මොකක්‌ හරි සම්බන්ධකම් ජාලයක්‌ විතරයි. හැබැයි ඒක නෙමෙයි නියම නළුකම කියන්නේ. ඒ වගේ අය අද නළුවෙක්‌ වෙලා හෙට අනිද්දා දක්‍ෂතා නැති නිසා මේ ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙන්න සිද්ධවෙනවා. ලංකාවේ නළුවෙක්‌ වෙන්න මම විශ්වාස කරන කරුණු දෙකක්‌ තිබෙනවා.

මොනවද ඒ කරුණු ?

එකක්‌ ප්‍රතිපත්තියක්‌ තියෙන්න ඕනෑ. ඒ වගේම අදහසක්‌ මතයක්‌ තියෙන්න ඕනෑ. ඊට අමතරව කලාව කරන කෙනෙකු විදිහට අධ්‍යයනය කිරීමක්‌ කළ යුතුයි. අධ්‍යයනයක්‌ නැතිනම් මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න අමාරුයි.

ඔබට ඔය කියන සුදුසුකම් තිබෙනවාද?

මම ජීවිතයේ වැඩි කාලයක්‌ කළේ මේ විෂය හදාරපු එක. දැනටත් මම මේ විෂය හදාරනවා.

ඔබ කිව්වා ප්‍රතිපත්තියක්‌ තියෙන්න ඕනෑ කියලා. ඔය කියන ප්‍රතිපත්ති ඔබට තියෙනවාද?

පැහැදිලිවම. තමන් කරන නිර්මාණ ගැන යම් අදහසක්‌ මතයක්‌ තිබිය යුතුයි. මේ මොහොතේ ලංකාවේ කලාව සම්බන්ධ එකතුවෙලා ඉන්න බොහෝ අය දේශපාලනඥයන්ව, පාලකයන්ව පවා රවට්‌ටගෙන තමන්ගේ ව්‍යාපෘති සඳහා කලාව පාවිච්චි කරන එක තමයි කරන්නේ. බොහෝ චිත්‍රපට කරන අය, බොහෝ රූපවාහිනි වැඩසටහන් කරන අය කරන්නේ ඒ කටයුත්ත. ඉතිං ඒ වගේ පටු දේශපාලන අරමුණු සඳහා කලාව යොදාගැනීම තමයි මම හිතන්නේ ලංකාවේ මේ මොහොත වෙනකොට කලාව විනාශවීමට හේතුව.

ඔබ ඔය කියන්නේ කලාව දේශපාලනීකරණය වෙලා කියලනේ ?

පැහැදිලිවම.

කලාකරුවාට දේශපාලනය සුදුසු නැතිද?

කලාකරුවෙක්‌ දේශපාලනිකයි. කලාකරුවෙක්‌ට අදහසක්‌ මතයක්‌ තියෙන්න ඕනෑ. හැබැයි ඒක සාමාන්‍ය ජනතාවගේ සුබසිද්ධිය සඳහා වන අදහසක්‌ මතයක්‌ මිසක්‌ තමන්ගේ පවුල නඩත්තු කරන බැංකු ගිණුම වැඩිකරගන්න කාට හරි කඩේයන වැඩක්‌ වෙන්න බැහැ. ලංකාවේ බොහෝ වෙලාවට දේශපාලනයට යොමුවෙලා ඉන්න කලාකරුවෝ පසුගිය කාලේ කළේ කාටහරි කඩේයන එක තමයි. හැබැයි කරුමෙක කාරණාව කියන්නේ එහෙම ගිය කිසිකෙනෙකුට මේ වෙනකොට සෙතක්‌ වෙලා නැහැ.

දේශපාලනය කරපු කලාකරුවෝ කලාවට යමක්‌ කරලා නැතිද?

නැහැ. කිසිම කෙනෙක්‌ කිසිම දෙයක්‌ කරලා නැහැ.

ඇයි ඔබට දේශපාලනය කරන්න බැරි ?

මම හිතනවා මගේ දේශපාලනය මම සම්බන්ධවෙන නිර්මාණත් එක්‌කයි කරන්නේ කියලා.

දේශපාලනඥයන් වෙනුවෙන් කඩේ යන්න සූදානමක්‌ නැද්ද ?

දේශපාලනඥයන් වෙනුවෙන් කඩේ යන්න මගේ කිසිම සූදානමක්‌ නැහැ.

දේශපාලනය කරලා තනතුරක්‌ අරගෙන පැත්තකට වෙලා සිටියා නම් මීට වඩා හොඳ නැතිද?

(සිනාසෙමින්.) කලාව තුළින් මම බලාපොරොත්තු වෙන්නේ ළමයිව පිටරට උගන්වන්න, එහෙමත් නැතිනම් ලොකු ගෙයක්‌ හදාගන්න නෙමෙයි. මම කලාව කරන්නේ තෘප්තිය උදෙසායි. ඒ හින්දා මම කරන දේ ගැන මම තෘප්තිමත්.

අද වැඩිපුර දකින්නේ ඒ වගේ කලාකරුවෝ නේද?

වැඩිපුර නෙමෙයි බොහොම ටිකදෙනෙකුටයි ඒ වරප්‍රසාද හිමිවෙලා තියෙන්නේ. ඊට අමතරව දේශපාලනඥයන් පසුපස ගිය බොහෝ කලාකරුවන්ට අද යනඑන මං නැතිවෙලා තියෙනවා.

කලාවට ඇයි මෙහෙම වෙන්නේ ?

කලාවට සම්බන්ධ අය තමන් ගැන වටිනාකමක්‌ තමන් නොදන්නා නිසා. කලාකරුවා කියන වචනය පාවිච්චි කරන්න මම කැමැති නැහැ. මොකද ලංකාවේ කලාකාරයෝ නැහැ.

ඔබට නිසි වටිනාකමක්‌ තිබෙනවා කියලා හිතනවද?

මම හිතනවා මම කරන වෘත්තිය තුළ මට වටිනාකමක්‌ තිබෙනවා කියලා.

දවසක මේ නළුකම හා ජනප්‍රියත්වය අහිමි වුණොත් ?

ජනප්‍රියත්වය කියන්නේ කොහොමටත් පවතින දෙයක්‌ නෙමෙයි. විශේෂයෙන් රූපවාහිනි ජනප්‍රියත්වය කියන්නේ හරිම තාවකාලික දෙයක්‌. ඒකට ඉතිහාසය සාක්‍ෂි දරනවා. ඒක නැතිවුණයි කියලා ජීවිතයේ වෙනස්‌කම් සිද්ධවෙන්නේ නැහැ. රඟපානවට අමතරව මට තව බොහෝ දේවල් කරන්න පුළුවන්.

හැබැයි එදාට දුක්‌වෙන්න වෙයි නේද කලාව කරලා තමන්ට කියලා දෙයක්‌ කරගත්තෙ නැහැ කියලා ?

කිසිදෙයක්‌ කරගන්න නෙමෙයි මම කලාව කළේ. මම කරන්නේ කලාව. මම මගේ එදිනෙදා ජීවිතයේ පවත්වාගෙන යන්න රඟපානවාට අමතරව මුදල් හොයන දේවල් කරනවා. හැබැයි කලාව කරන්නේ ඒකට නෙමෙයි.


දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන

About the Author

Posted by gossip lanka live on 7:32 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:32 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "පැහැදිලිවම මමත් ටෙලි කම්කරුවෙක්‌ - ගිහාන්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.