Published On:
Posted by gossip lanka live

kamal addararachchi Talk about Gossip මා ගැන විශ්වාසය තියන්න


කමල් අද්දරආරච්චි කවදත් ක්ෂේත්‍රය පුරා පුවත් මවන්නෙක්. ඔහු චිත්‍රපටයක රඟපෑවත්, ව්‍යාපාරයක් කළත්, පෞද්ගලික ජීවිතේ ගමනක් බිමනක් ගියත් අපේ මාධ්‍ය ලෝකයට ඕනෑ තරම් පුවත් මවනවා. පසුගිය දින කිහිපය පුරා ඔහුගේ නම කිසියම් අපකීර්තිමත් සිද්ධියක් සම්බන්ධයෙන් ගෑවී තිබෙනු අසන්නට ලැබුණා. මේ පිළිබඳ කරුණු පැහැදිලි කරගැනීමට පසුගිය දිනක අප කමල් ඇමතුවා. සුපුරුදු ළෙන්ගතු බවින්ම ඔහු ලේක්හවුස් ආයතනයට ගොඩවැදුණේ සියලු දේ අබියස නොසැලී සිටින පරණ කමල් අද්දරආරච්චිමයි.
මේ දිනවල ඔබ සම්බන්ධයෙන් පැතිරී යන කටකතා පිළිබඳ ඔබට මොනවද කියන්න තිබෙන්නේ?
මේක පළකරන මාධ්‍යයන්ගෙන්ම තමයි ඒ ගැන අහන්න වෙන්නේ. මේ හැම කටකතාවකටම මුහුණ දෙන්න පුළුවන් මානසික තත්ත්වයක මම ඉන්නවා. නමුත් මට කියන්න තිබෙන්නේ මම වරදක් කරපු කෙනෙක්වත්, කරන්න බලාපොරොත්තු වන කෙනෙක්වත්, වරදක් කරන්න පෙලඹෙන කෙනෙකුත් නෙවෙයි. මම මානව හිතවාදී කලාකරුවෙක්.
මානව හිතවාදී බව තිබෙන ඕනම කෙනෙක් කවදාවත් සමාජයට වරදක් කරන්නේ නෑ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබේ නම ගෑවෙන්න හේතුව කුමක්ද?
ගෑවෙන්න හේතුව විවිධ මිනිස්සුන්ගේ තිබෙන මානසිකත්වය. ඔයාට පුළුවන් වුණා කෙළින්ම මට කතාකරලා මේ ගැන අහන්න.
ඒත් සමහර පුවත්පත් වෙබ් අඩවි කිසිදු කරුණක් සනාථ නොකරගෙන හිතුමතේ ඒකපාර්ශ්වීයව ලියනවා.
ඇත්තටම මගෙන් කෙළින්ම ඒ ගැන අහන එකට මට සතුටුයි. මම මගේ ගැන කියන්න ආස කෙනෙක් නොවෙයි. මේ වගේ අවස්ථාවන්ට මාව පත්කළාම මට මගේ ගැන කියන්න වෙනවා.
මට මුදල් හම්බකරන්න මගේ ක්ෂේත්‍රයේ ඕනතරම් අවස්ථා තිබෙනවා. මට පුළුවන් ඕන තරම් මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්න. නමුත් ප්‍රතිපත්තියක් විදියට මම ඒක කරන්නේ නෑ.
හොඳ මුදලක් මට ඒ වෙනුවෙන් ගෙවන්න ලෑස්තියි. අනිත් පැත්තෙන් දවස ගානේ මගේ මූණ ප්‍රේක්ෂකයෝ දකිනවා. එහෙම නැතිනම් පහත් පෙළේ චිත්‍රපටවල රඟපාලා ඊටත් වඩා හොඳ මුදලක් මට ගන්න පුළුවන්. සල්ලි හම්බකරන්න ඕන නම් මගේ ක්ෂේත්‍රයේ ඉඳගෙන මට හොඳ මුදලක් හම්බකරන්න පුළුවන්.
මම යහපත් පවුල් ජීවිතයක් ගෙනියන කෙනෙක්.
සුන්දර පවුලක් ඇතුළේ මම දයාබර ස්වාමියෙක් ආදරණීය තාත්තා කෙනෙක්.
මම මේ හැම දෙයක්ම දරාගත්තට මගේ පවුලේ අයට මේක ලොකු මානසික පීඩාවක්. මගේ මවුපියන්ට, බිරිඳට, දරුවාට මේවා බලපානවා. මේවා ලියන අයට එහෙම ජීවිත නැතුව ඇති.
ඔබ හිතන්නේ මේවා පතුරුවන්නේ කිසියම් කුමන්ත්‍රණකාරී බලවේගයකින් කියලද?
අනේ එහෙම වෙන්න මම මේ රටේ මහා ලොකු නායකයෙක්වත් මහා ලොකු ව්‍යාපාරවල හිමිකරුවෙක්වත් දේශපාලන බලයක් ඇති කෙනෙක්වත් නොවෙයි. මේක ගැන සරලව කියනව නම් මේක තමයි මාකටින්කියන්නේ. තමන්ගේ පුවත්පතක් හෝ වෙබ් අඩවියක් ජනප්‍රිය කරවගන්න තමන්ගේ බඩගෝස්තරය රැකගන්න කරන දෙයක්. තමන්ගේ දෙයක් විකුණගන්න හදන ව්‍යාපාරයක් තුළ මාව ඉත්තෙක් කරගෙන.
මේ අපකීර්තිමත් බව ඔබේ චරිතයට, ඔබේ පවුලට දැඩි ලෙසම හානිකර වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ?
ඒ වෙනුවෙන් මම කරන්න තිබෙන දේ දැන් මෙතන බොරුවට කියන්න ඕන නැ. දැන් මම උපදෙස් පතනවා මොකද මම මේකට කරන්නේ කියලා. ඇත්තටම ඔබෙනුත් මම අහන්නේ කියන්න මම මොකක්ද මේකට කරන්න ඕන කියලයි.
ඔබේ ජීවිත කාලය පුරාම මෙවැනි අපකීර්තිමත් අවස්ථා ගණනාවකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකට හේතුව කුමක්ද?
හේතුව කිසිදෙයක් නොවෙයි මම ලබල තිබෙන ජනප්‍රියත්වය. මගේ නම ගාවගත්ත ගමන් මිනිස්සු ඔක්කොම බලනවා මොකද මේ වෙලා තිබෙන්නේ කියලා. අද මට මගේ නඩුවක් සත පහක වියදමක් නැතුව කතා කරන්න පුළුවන් ඕන තරම් නීතිඥයෝ ඉන්නවා, මම කතා කළොත් පෙනී සිටින්න. මම ලබල තිබෙන ජනප්‍රියත්වයෙන් තව කෙනෙක් අයුතු ප්‍රයෝජන ගන්නවා මාව ඊට ගොදුරක් කරගෙන.
ඔබේ බිරිඳ සහ පවුලේ අයගේ ප්‍රතිචාර මොනවද?
පවුලේ අය මේ ප්‍රශ්නයට මටත් වඩා මුහුණ දෙනවා. ඔවුන්ට දුරකථනයට උත්තර දෙන්න වෙනවා. නෑදෑ හිතමිත්‍රාදීන්ට උත්තර දෙන්න වෙනවා. අනිත් පැත්තෙන් ඒ අයගේ මානසික සහනය ඔවුන්ට හොයාගන්න වෙනවා. මේක ලොකු මානුෂීය මෙන්ම මානසික ප්‍රශ්නයක්. පවුලක් හැටියට ගත්තම මා වටා හිතමිත්‍රාදීන් පිරිසක් ඉන්නවා. ඒ පරිසරයත් කැලඹීමකට පත්වෙලා තිබෙන්නේ.
අනිත් පැත්තෙන් මට හිතෙනවා, මේ වගේ සමාජය දැනුම්වත් කරන්න තිබෙන පුවත්පත් මෙවැනි දේ පලකරන කොට ඒ පුවත්පත්වල පළවෙන සත්‍ය තොරතුරු පිළිබඳවත් අපට ගැටලු ඇතිවෙනවා.
මේක ඔබේ නිර්මාණ ජීවිතයට කොයි විදියට බලපායිද?
නිර්මාණ ජීවිතයට ඉතාම හොඳයි. මොකද මම ගැන මිනිස්සු හැමෝම කතාකරනවා. පහුගිය කාලේ මා ගැන කතා කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. දැන් ආයෙත් මං ගැන කතාකරනවා. ඒ නිසා නිර්මාණවලට මේක හරිම හොඳයි.
ඔබ පසුගිය කාලයේ ඉංග්‍රිසි ගුරුවරයෙක් වෙලා හිටියා. ඇයි ඒක නැවැත්තුවේ?
මට ඒක කරන්න බැරිකමක් නෑ. නමුත් සතියකට දවස් දෙකක් මගේ කාර්යබහුල ජීවිතයෙන් වෙන්කරන්න අමාරුයි. මම ගුරුවරයෙක් හැටියට මාස 04ක් එක දිගට වගකීමෙන් ඒ වැඩේ කළා.
නමුත් අඛණ්ඩව ඒක පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා ඒ වෙනුවෙන් දැන් මම සතියකට එක දවසක් වැඩමුළුවක් මාත් සමඟ කරන්න අවස්ථාව ලබල දීලා තිබෙනවා. මාසයක් ඉගෙන ගන්න දේවල් දවස පුරා මෙතැනදි ඉගෙන ගන්න පුළුවන්. කාර්යබහුලකම නිසයි ඒ දේ මම කළේ. ඇත්තටම කිවුවොත් මට මගේ කාලය හරියට වටිනවා. මෙවැනි දේ සඳහා වුණත් වැය කරන කාලය අපරාදේ. මම හිතනවා මීට වැඩි යමක් මගෙන් සමාජයට ගන්න පුළුවන් කියලා.
ඒ කියන්නේ ඔබ කලකිරීමකින්ද ඉන්නේ?
ඇත්තටම ඔව්. සෑහෙන කලකිරීමකින් ඉන්නේ. මම මගේ කාලය මගේ දක්ෂතා ඇති දේට වඩා වෙනත් වල්පල්වලට වැය කරනවා.
අවසාන වශයෙන් ඔබට විශේෂ යමක් කියන්න තිබෙනවාද?
මා ගැන දෝෂාරෝපණය කරලා මොන දේ පළවුණත් ජනතාවට මම කියන්නේ මා ගැන විශ්වාසය තියන්න කියලයි. මම ජනතා හිතවාදී මිනිසෙක්.
ජනතාවගේ බලාපොරොත්තු සුන්වන විදියේ සමාජයට අහිතකර දේ කරන්න පෙලඹෙන්නේ නෑ. මම ගැන මොන ආරංචියක් ලැබුණත් මම ගැන විශ්වාස කරන්න.
හේමාලි විජේරත්න
ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
 source-Silumina.lk

About the Author

Posted by gossip lanka live on 1:14 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 1:14 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "kamal addararachchi Talk about Gossip මා ගැන විශ්වාසය තියන්න"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.