Roshan pilapitiya - මං පොලිසියේ තණකොළ ගැලෙව්වා
නුවර ධර්මරාජෙට යන අතරතුර
රොෂාන්ගේ හිත නැවතුණේ
චිත්‍රපට ශාලාවේ.
විස්තර තීරුවේ තිබුණ
චිත්‍රපටය දිහා
හොරෙන් ඇහැ ගහගෙන හිටියරොෂාන්ට තවත් යාළුවෝ කිහිප
දෙනෙක් ළං වුණා. මුහුණින් මුහුණ බලාගෙන
මිමිණුව මිමිණිල්ල
අවසානයේ පාසල්
සගයෝ කිසිම කතාවක්
බහක් නැතිව චිත්‍රපට ශාලාව
ඇතුළට රිංගුවේ
හෙමින් හෙමින්.
තිරයේ දිග හැරුණේ ෆ්ලෑෂ් ඩාන්ස්’ කියක ඉංග්‍රීසි
චිත්‍රපටයේ රූප රාමුන්.
චිත්‍රපටය දෙස වශී වෙලා බලාගෙන සිටිය රොෂාන් වගේම යාළුවන්ට කාලය ගලාගෙන යනවා දැනුණේ
නැති තරම්. එක් වරම චිත්‍රපට ශාලාවේ හිටිය අය කලබල වුණත් මේ පිරිවරට නොවෙයි ගාණක්.
පොලීසියෙන් . . . පොලීසියෙන් . . .
කවුදෝ කෙනෙක් කෑ ගැසූවෙන් රොෂාන්ට දෙලොව රත් වුණා. ඊටත් ටිකකට පස්සේ රොෂාන් ඇතුළු
පිරිස පොලිසිය ඉස්සරහ තණකොළ ගැලෙව්වේ මුහුණු හංගමින්. පොලිසිය ඉස්සරහ තිබෙන
පුෂ්පදානේ බාලිකාවන් දැක්කොත් මුහුණ දෙන්න වෙන අකරතැබ්බයත් රොෂාන්ගේ සිහියට ආවේ
ඉබේටමයි. හොරෙන් චිත්‍රපට බලලා විඳින්න වුණු මේ දඬුවම රොෂාන්ගේ චිත්‍රපට බලන්නට
තිබුණු ආශාව තවත් දැඩි කළා.
ඒ ආකාරයෙන් ඔහු පැමිණෙන තුරු මගේ සිත නැවතුණේ ඔබ වඩාත් ආදරය කරන රොෂාන් පිලපිටිය
කියන ආදරණීය රංගන ශිල්පියාගේ අතීතයේ එක් අමතක නොවන සිදුවීමක් අසලයි. රංගන
ශිල්පියෙක් විදියට සුවහසක් ප්‍රේක්ෂක සිත් වසඟ කළ රොෂාන්ගේ රංගන ජීවිතයට අලුත්
බලාපොරොත්තුවක් උදා වෙලා.
* අලුත් අවුරුද්දේ ඔබගේ රංගන ජීවිතයේ අලුත් බලාපොරොත්තුව මොන වගේද?
‘කාලයකට පස්සේ චිත්‍රපට රංගනයට මට ආරාධනා ලැබුණා. ඒ රංගනය පිළිබඳ අලුත්
බලාපොරොත්තුවක් සිතේ පෙළ ගැසෙන්නේ අපේ සිනමා කිවිඳිය වුණු සුමිත්‍රා පීරිස්
මහත්මියගේ චිත්‍රපටයක මට රඟපාන්න ලැබීමයි.
‘වෛෂ්ණාවී’ කියන මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ මුදලාලි කෙනෙකුගේ ගෝලයාගේ චරිතයි. රංගන
ජීවිතයට නැවුම් අත්දැකීමක් අරගෙන එන මේ චරිතය වඩාත් හොඳින් නිරූපණය කිරීමට මම මේ
දවස්වල සූදානම් වෙනවා.
හෙමින් හෙමින් අප අසලට ළං වුණු රොෂාන් කිව්වේ මුවඟේ රැඳෙන සුපුරුදු සිනහවෙන්. ඒ
සිනහව අපේ මතකයට කැන්ද ගෙන ආවේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න කැමැති රොෂාන් පිලපිටිය
කියන තරුණයාවයි.
* කාලයක් මේ තරුණයා දිගින් දිගටම ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණත් ළඟදි නම්
ඔහුගේ රුව පුංචි තිරයෙන් නොපෙනුණු තරම්. ඔබේ මේ නිහඬ බව අපට කියන්නේ ඔබ රංගනයෙන්
සමු අරගෙන බවද?
‘රංගනය කියන්නේ මගේ ජීවිතයයි. එහෙම වුණත් විශේෂ ආශාව තියෙන්නේ හොඳ නිර්මාණයකටයි.
මගේ නිහඬ බව අනිත් අයට වැඩියෙන් දැනෙනවා ඇත්තේ තෝරා බේරා ගත් හොඳ නිර්මාණ කිහිපයකට
පමණක් මා දායක වන නිසයි.
මේ දවස්වල ස්වර්ණවාහිනියෙන් විකාශය වන නාලන් මෙන්ඩිස් ගේ ‘දූවරු’ ටෙලි නාට්‍යයෙන්
ඔබ අතරට මා නැවත එනවා. ඒ වගේම ආනන්ද අබේනායකගේ ටෙලි නාට්‍යයකටත් මා රංගනයෙන් දායක
වෙනවා.
මේ මොන දේ කළත් රංගන ශිල්පියෙකුට නිරන්තර අධ්‍යයනය, අභ්‍යාසය බොහෝම වැදගත්. ඒ
අධ්‍යයන, අභ්‍යාස කටයුතුවල නියැලෙන්නේ මා වඩාත් උනන්දුවෙන්. අලුතින් පැමිණෙන හොඳ
චිත්‍රපට පිළිබඳ අවධානයෙන් සිටිමින් ඒවා නැරැඹීම මා වඩාත් ප්‍රිය කරන කාර්යයක්.
කොරියාව, ඉරානය වගේ රටවල නිර්මාණය වන චිත්‍රපට දෙස විමසිල්ලෙන් බලන විටදී ඔවුන්ගේ
නිර්මාණ පිළිබඳ අපට ඇති වෙන්නේ විමතියක්. ඒ විමතියට යම් හේතුවක් තිබෙනවා. මන්ද යත්
ඒ විශාල වියදමක් දරන්නේ නැතිව නිර්මාණය වන මේ සිනමා නිර්මාණ රැකිලා තිබෙන්නේ තිර
පිටපත නිසාවීමයි. ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක හෝ වේදිකා නාට්‍යයක ආදී කුමන
නිර්මාණයක වුණත් වඩාත් වැදගත්කමක් හිමි වන්නේ තිර පිටපතටයි. ඒ වගේම ශිල්පීන්ගේ
රංගනයත්, අධ්‍යක්ෂවරයාත් එවැනි නිර්මාණයකට බලපාන බව ඇත්තක්. මේ කුමන දේ වුණත් කොයි
තරම් මුදල් වියදම් කරමින් කළ නිර්මාණයක වුණත් තිර පිටපතෙහි අඩුව වසා ගන්නට මුදල්වලට
නොහැකියි. අද හොඳ තිර පිටපත්වලට තිබෙන්නේ ලොකු හිඩැසක්.’
* මේ හිඩැස පිරවිය හැකි පිරිසක් ලංකාව වගේ රටක නොමැති බවද ඔබ ඔය පවසන්නේ?
‘බොහෝ දක්ෂයෝ තරුණ පරපුර අතර ඕනෑ තරම්. මම මෙහෙම කියන්නේ පසුගිය කාලයේ මට දකින්නට
අසන්නට ලැබුණු කාරණා ඔස්සේයි. පසුගිය දවසක මට කෙටි චිත්‍රපට උළෙලක් නරඹන්න ලැබුණේ
අහම්බයෙන්. ඒ නිර්මාණ පිළිබඳ සැලකිල්ලෙන් බලන කෙනෙකුට පේන්නේ යමක් කළ හැකි තරුණ
පිරිසක් අපට සිටිනා බවයි. ඒත් ඔවුන් ඉදිරියේ තම නිර්මාණ කිරීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාව
පිළිබඳ ගැටලු රාශියක් පෙළ ගැසිලා. ඊට අදාළ අයගේ අවධානය යොමු වෙනවා නම් මේ හිඩැස
පුරවන්න වැඩි කාලයක් යන එකක් නැහැ.
ඒ වගේම හොඳ නිර්මාණවල අඩුවක් වුණත් දකින්නට නොලැබේවි.’
තමා නියැලෙන රංගන ක්ෂේත්‍රය පිළිබඳ විමසිල්ලෙන් අවබෝධයෙන් සිටින තරුණ රංගන ශිල්පීන්
අතර රොෂාන්ට ලැබෙන්නේ පළමු තැනක්. ඔහුගේ මේ තියෙන දැනුවත්කම නිසාදෝ ඔහුත් චතුරිකාත්
ආරම්භ කළ ‘චලරූ’ ආයතනය ඔස්සේ ඔවුන් බොහෝ දුර ඇවිදින්.
* යමක් දන්නා රොෂාන් පිලපිටිය කියන මේ රංගන ශිල්පියාගේ ඊළඟ පියවර අධ්‍යක්ෂවරයා කියන
භූමිකාවෙන් රසික සිත් සතන් පිනවීමද?
‘අධ්‍යක්ෂවරයෙක් වෙන්න මට තාම සුදුසුකමක් නැහැ. මම හිතන්නේ මගේ අතින් එහෙම දෙයක්
වෙන්න තවත් බොහෝ කාලයක් ගත වේවි. ඒ තරමටම අධ්‍යක්ෂවරයාගේ භූමිකාව සංකීර්ණයි. නමුත්
ලංකාව වගේ රටක නම් අධ්‍යක්ෂවරයාගේ භූමිකාව පිළිබඳ අපට සතුටට පත් වෙන්න බැහැ.
අද හිතලා හෙට අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන් එකම රට ලංකාවයි. ලෝකේ වෙන කොහේවත් එහෙම
ක්‍රමයක් ඇත්තේ නැහැ. අධ්‍යක්ෂවරයාට විතරක් නෙමෙයි රංගනයටත් අද සිද්ධ වෙලා තිබෙන්නේ
මේකමයි. ජනප්‍රියත්වය උඩ රංගන ශිල්පීන්, ශිල්පිනියන් වීම මම දකින්නේ භයානක දෙයක්
විදියටයි. අධ්‍යක්ෂණයට, රංගනයට එනවා නම් ඔහු හෝ ඇය අඩුම තරමේ ස්වයං අධ්‍යයනයක් කළ
යුතුයි. එහෙම නොවුණොත් අනාගතයේදී කලාවට මොනවා වේදැයි හිතා ගන්නවත් බෑ. විශේෂයෙන්ම
මේ කාරණය ටෙලි නාට්‍ය කලාවට සුවිශේෂයි. මේ විදියට ගියොත් මතු යම් දිනෙක ටෙලි නාට්‍ය
නරඹන්නට ප්‍රේක්ෂකයින් සොයා ගැනීමත් ප්‍රශ්නයක් වේවි. අපි අද ඉන්නේ විශාල
ඛේදවාචකයක් අභියසයි.
ජයන්ත චන්ද්‍රසිරි, ධර්මසිරි පතිරාජ, පරාක්‍රම නිරිඇල්ල වගේ වටිනා නිර්මාණකරුවන්
පවසන්නේ නැවතත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නැති බවයි. සුදත් රෝහණ වගේ
අධ්‍යක්ෂවරයෙක් කියන්නේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට දෙපාරක් සිතිය යුතු බවයි.
මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ කාලය ඇවිත්. අපි ඉන්නේ ටෙලි නාට්‍ය කලාවට ජාතික
ප්‍රතිපත්තියක් අවශ්‍ය කාලයකයි.’
තවදුරටත් ඔහු පවසන්නේ කලාවේ හරය, විනය, කලාවේ අරමුණ කියන මේ සියල්ල වර්තමාන ටෙලි
නාට්‍ය හරහා අද විනාශයේ ආගාධයට ගමන් කරනා බවයි. තරුණ රංගන ශිල්පියෙක් විදියට සිදු
වෙන්න යන මේ විනාශය පිළිබඳ ඔහුගේ සිතෙහි ඉපදී ඇත්තේ සැබෑම දුකක්. ඒ නිසයි ඔහු ජාතික
ප්‍රතිපත්තියක් පිළිබඳ කතාබහ ගෙන එන්නට උත්සාහ කරන්නේ.
* ඔබ සිතන විදිහට මේ ජාතික ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනෑ කොහොමද?
‘අනු මණ්ඩලයක් යටතට ටෙලි නාට්‍ය පිවිසීම කියන ජාතික ප්‍රතිපත්තියට අප පැමිණිය
යුතුයි. අද සිනමාවටත්, වේදිකාවටත් අනු මණ්ඩලයක් තිබෙනවා නම් ටෙලි නාට්‍ය සඳහා
නැත්තේ මන්දැයි අපේ සිතට නැඟෙන්නේ ප්‍රශ්නයක්. දැන් තිබෙන මේ ක්‍රමය යටතේ එක් චැනල්
එකකින් විකාශය සඳහා බාර නොගත් නිර්මාණ තවත් චැනල් එකක විකාශය වෙනවා.
මේ හැම ටෙලි නිර්මාණයක්ම අනු මණ්ඩලයක් යටතට අරගෙන ඒ, බී, සී කියන වර්ග කිරීමකට ලක්
කිරිමෙන් නිර්මාණ තෝරා ගත්තොත් හොඳ නිර්මාවලට ඉබේම තරගයක් ඇති වේවි. ඒ විතරක්
නෙමෙයි, ඒ සඳහා හොඳ මිලක් නියම වේවි. රාජ්‍ය අනුග්‍රහය ඔස්සේ ගෙනෙන නියමිත
ප්‍රතිපත්ති මාලාවකින් අද තිබෙන තත්ත්වය වෙනසකට ලක් කළ හැකියි. මේ කියන කාරණය ජය
ගන්න නම් අපි හැමෝම සමගියෙන් ඒකරාශි වී කටයුතුª කිරීම වැදගත්. සුදත් රෝහණ මහත්තයලා
මේ සඳහා යම් උත්සාහයක් ගන්නා බව මා දන්නවා. කොහොම වුණත් ඔබට මේ කාරණයත් කියන්නට
අවශ්‍යයි. ඒ මේ හැම කාරණයක් පිළිබඳ මා යම් අදහසක් ප්‍රකාශ කළේ කාත් සමඟවත් තිබෙන
තරහකින් නම් නොවෙන බවයි. අනාගතයේ යහපත උදෙසායි.’
මේ ක්ෂේත්‍රයට ආදරය කරන රංගන ශිල්පියෙක් විදියට රොෂාන්ගේ හිතේ හැඟෙන වේදනාව ඔහු
වචනවලට පෙරළුවා. ඒ වචන අපට කිව්වේ මේ කලාවට ඔහුගේ සිතේ හැංගිලා තිබෙන සැබෑ ආදරයයි.
‘මේ ඇවිත් තිබෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ කතිකාවක් ගොඩනඟා ක්‍රියාත්මක විය
යුතු කාලයයි.
ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු අංශවල අවධානය යොමු වන්නේ නම් සැවොම එකතු වී ඊට මඟ
පෙන්වන්නේ නම් මතු පරපුර වෙනුවෙන් සිදු විය යුතු යුතුකම එය නොවේදැයි අපට සිතුණේ
රොෂාන්ගෙන් සමු ගන්නා ඇසිල්ලේ.