Published On:
Posted by gossip lanka live
Chat With Yashoda wimaladharma සසරේ මා සමඟ පැමිණි කෙනා කොහේ හෝ ඇති
යශෝධා විමලධර්ම
ඉතාම කෙටි කලකදී වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් හරහා පේ්රක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් විශිෂ්ට චරිතාංග රංගනයක නියැළෙන රංගන ශිල්පිනියක් විදිහටයි අප ඇය හඳුනා ගන්නේ. වසර 26 ක සිය කලා ජීවිතයේ ලැබුණු සෑම චරිතයකටම හැකි උපරීම සාධාරණය ඉටුකරන රංගන ශිල්පිනියක් ලෙස අනන්‍යතාවක් ගොඩනඟා ගත් යශෝධා විමලධර්ම කලක් ගත කළේ නිහඬ ජීවිතයක්. එහෙත් ඒ නිහඬ බව බිඳිමින් කාලයකට පසු ඇය මේ දිනවල ස්වර්ණවාහිනියේ ‘දූවරු’ ටෙලි නාට්‍යය හරහා කරළියට ඇවිත්.රංගන ශිල්පිනියක ලෙස කාලයකට පස්සේ අපි ඔබ නැවත දකිනවා ‘දූවරු’ ටෙලි නාට්‍යයෙන්.
ඔව් අවුරුදු ගණනාවකට පසුවයි මම ටෙලි නාට්‍යයකට එක්වුණේ. පසුගිය කාලයේ මම නිහඬව හිටියා. ඇත්තටම ඒකට හේතු වුණේ හොඳ තිර පිටපතක් නොමැතිකම.
මම හිතන්නේ 2000 වර්ෂය ආරම්භයත් එක්ක ටෙලි නාට්‍ය කියන දේ මූලික පිටපත් රහිතව දීර්ඝ ටෙලි නාට්‍යවලට ගියා. අවුරුදු 26 ක මගේ කලා ජීවිතයේ මම පුරුදු පුහුණු වෙලා හිටියේ තිර පිටපත සමඟ අධ්යක්ෂවරයා, තිර රචකයා හා කතා කරලා චරිතය ගොඩනඟා ගන්න. නමුත් ඒ ගුණාත්මක බව දකින්න ලැබුණේ නැහැ. ඔය අතරෙදියි දූවරු ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබුණේ. ඇත්තටම මම හරිම කැමැත්තෙන් ඒ සඳහා දායක වුණේ.
විශේෂයෙන් මාලනි ෆොන්සේකා මහත්මිය සමඟ එකට රඟපාන්න ලැබීම මම ලබපු විශාල භාග්‍යයක්. අනෙක් දේ නාලන් මෙන්ඩිස් සමඟ මම මීට කලින් නිර්මාණ ගණනාවක් කළා. මෙය හොඳ පිටපතක් වගේම අධ්යක්ෂවරයාට තියෙන ගරුත්වයත් අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණ ශිල්පීන් සමඟ නැවත රඟපාන්න ලැබීමත් ‘දූවරු’ ටෙලි නාට්‍යයට එකතු වෙන්න හේතුවක් වුණා.
නමුත් ඒ මඟ හැරුණු කාලය ඔබේ රංගන ජීවිතයට සිදුවුණු විශාල බලපෑමක් පාඩුවක් සිදුවුණා කියලා හිතෙන්නෙ නැද්ද?
ඇත්ත මට හිතෙනවා ඒ මඟ හැරුණු කාලය අපරාධයක් කියලා. මොකද 2006 දී මම ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘සතර දෙනෙක් සෙන්පතියෝ’ ටෙලි නාට්‍යයෙන් පස්සේ නිර්මාණයක් කළේ නැහැ. මා මුලින් කී පරිදි හොඳ නිර්මාණ විරල වීමයි හේතුව වුණේ.
ඒ නිහඬව සිටි කාලයේදී රංගනය පිළිබඳ මම බොහෝ දේ හෙව්වා. හොඳ වේදිකා නාට්‍ය කිහිපයක් කළා. ‘ට්‍රොජන් කාන්තාවෝ’, ‘මකරාක්ෂයා’ නව නිෂ්පාදනය මේ හරහා රට වටා ගියා. ඉතිං ක්ෂේත්රයෙන් ඉවත්වීමක් සිදුවුණේ නැහැ. නමුත් රූපවාහිනි තිරයේ දකින්නට නොලැබීමයි සිද්ධ වුණේ.
රූපවාහිනිය පමණක්ම නෙමෙයි සිනමාව පැත්තෙනුත් ඔබ දුරස් වෙලා හිටියා කියලයි හිතෙන්නෙ.
සිනමාවට අවසානයට මම එක්වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාර්කටිං’ චිත්‍රපටයට. ඒත් 2006 අවුරුද්දේ. මේ අවුරුද්දේ ආරම්භයත් එක්ක නැවතත් මම සිනමා පට දෙකකට සම්බන්ධ වුණා. එකක් සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘වෛෂ්නාවි’ අලුත්ම චිත්‍රපටයට. මුලින් 1995 දී මම එතුමියගේ ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ රංගනයෙන් එක්වුණා. මම විශ්වාස කරනවා ‘වෛෂ්නාවි’ සිනමා පටයේ මෙම චරිතය සුවිශේෂි වෙයි කියන දේ. අනෙක් දේ සිනමාවේ මව්පියන් වගේ ඉන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයයි සුමිත්‍රා පීරිස් මහත්මියයි යටතේ රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක් කියලා කියන්න ඕන.
ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය. එයත් මගේ සිනමා රංගනයේ සුවිශේෂ සංධිස්ථානයක් වෙයි කියලා මට හිතෙනවා. මම විශ්වාස කරනවා කාලයකට පස්සේ හරි මගේ රංගන පරාසය පෙන්වීමට හැකි නිර්මාණ දෙකක් මට ලැබුණා කියලා.
මඟ අතහැරපු කාලය තුළ තිබුණු ජනපි‍්‍රයත්වය අඩුවෙලා ගියා කියලා හිතුණේ නැද්ද?
මෙහෙමයි ටෙලි නාට්‍ය තුළ සිනමාව තුළ දකින්න නොලැබුණාම ගොඩක් දෙනෙක් මගෙන් අහන්න ගත්තා දැන් රඟපෑමෙන් අයින් වෙලා ද කියලා. පාරේ තොටේ හමුවුණත් එහෙමයි. සමහර අයට මුල් කාලේ අපි කළ චරිත, දෙබස් පවා තාම මතකයි. ඇයි ඒ වගේ නිර්මාණ කෙරෙන්නේ නැත්තේ කියලා අහනවා. ඒත් ඒ අයගේ මතකයේ මාව රැඳිලා තියෙනවා කියලා දැනගත්තම සතුටක් දැනෙනවා. කාලයක් කරපු චරිත තාමත් පේ්රක්ෂකයින්ගේ හදවතේ තියෙනවා කියන්නේ යම් දක්ෂතාවයක් මම සමාජයට දීලා තියෙනවා කියලා හිතෙනවා. එක රැයකින් ජනපි‍්‍රය වෙලා යන ගමනක් මගේ කලා ජීවිතය තුළ එදා ඉඳන්ම තිබුණේ නැහැ.
හින්දි භාෂාව පිළිබඳ ඔබ තුළ ඇති දැනුම අපි දකිනවා ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සුභානි රාත්’ හරහා.
මම ගොඩක් ආසාවෙන් එම වැඩසටහන කරන්නේ. විශේෂයෙන්ම හින්දි ගීත රස වින්දනය, පැරැණි හින්දි ගීත සාහිත්‍යය පිළිබඳ මගේ පියා (රවිධර්ම විමලධර්ම) ගුවන්විදුලිය ඔස්සේ දශක තුනකට අධික කලක් විවිධ වැඩසටහන් කළා. ගී අමදහර, ස්වර මධු, සප්ත රංග, වැනි වැඩසටහන් ජනපි‍්‍රය වුණා. මම හිතන්නේ ජාතික නාළිකාව හරහා එවැනි වැඩසටහනක් කරන්න ලැබීමම මම තාත්තාට කරන ගෞරවයක් විදිහටයි දකින්නේ.
‘සුභානි රාත්’ වැඩ සටහන හරහා පැරැණි හින්දි ගීත රස විඳින විශාල පේ්රක්ෂක පිරිසක් මා වටා එක්වුණා. ඔවුන් ඉහළින් මේ වැඩ සටහන අගය කළා. එහි ගෞරවය යන්න ඕන සම්මානනීය දක්ෂ නිෂ්පාදකවරියක් වන ‘ආලකමන්දාව‘ වැනි වැඩ සටහන් කරන විනීතා කරුණාරත්නට. ඇය ඉතා හොඳින් ‘සුභානි රාත්’ වැඩ සටහන අධ්‍යක්ෂණය කරනවා. නමුත් අද මෙම වැඩ සටහන යම් සීමා වීමක් තියෙනවා. හින්දි ගීත රස විඳින විශාල පේ්රක්ෂක පිරිසක් මේ වටා ඉන්න නිසා තවදුරටත් ජාතික නාළිකාවෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය මට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
හොඳයි දෛවය කියන දේ ඔබ විශ්වාස කරනවා.
ඔව් මම හිතන්නේ එහි යම් සත්‍යතාවයක් තියෙනවා කියලා මට දැනෙනවා.
ඇයි ඔබ එහෙම කියන්නෙ?
සංසාරේ අපි අරගෙන එන දේවල් තියෙනවා. ඒකට හොඳම උදාහරණය මම රංගන ශිල්පිනියක් වීම. මේ අදහස මගේ සිහිනයකවත් තිබුණේ නැහැ. ඒ සිහිනය දැක්කේ මගේ තාත්තා. පාසල් යන කාලේ අඩුම තරමේ මම වේදිකාවකටවත් ගොඩවෙලා නැහැ. නමුත් අද මම රංගන ශිල්පිනියක් වෙලා.
මගේ ආසාව තිබුණේ ගුරුවරියක් වෙන්න. ඒත් සසරේ අපි අරගෙන එන දේවල් එක්ක ජීවිතේ ගොඩනැගෙන්න ගන්නවා. ලෝකයේ හොඳම රංගන ශිල්පින්ගේ ලැයිස්තුවක් කවදාහරි හැදුවොත් එහි මගේ නම තියෙන්න ඕන කියලයි තාත්තා මට කිව්වේ. අද මම විෂය දැනුම හොයාගෙන මේ ගමනේ නිරත වෙලා ඉන්නවා කියලයි මට හිතෙන්නෙ.
අවසන් වශයෙන් ඒ ගමන්මඟේ විවාහය කියන සංධිස්ථානය දැන් සමීප වෙලා ඇති කියල හිතෙන්නේ නැද්ද?.
අපි අරගෙන ආව දෙයක් තියෙනවා. විවාහය කියන දේ ජීවිතයට ඉතාම වැදගත්. ඒත් එය එක එක්කෙනාට බලපාලා තියෙන විදිහ වෙනස්. විවාහ වෙන්නේ නෑ කියන තීරණේ මම නැහැ. ඒ වගේ සුන්දර ආදරයක් මම දැක්කේ මගේ අම්මගෙයි තාත්තගෙයි. මේ ලෝකෙට අපි එන්නේ සංසාරයේ යම් යම් දේවල් අරගෙන. ඒ නිසා ඒ සසරේ මා සමඟ ආව කෙනා කොහේ හෝ ඇති. ඔහු හමුවූ දාට හැමෝටම කියන්නම්.