Published On:
Posted by gossip lanka live

Chat With Dilshan munaweera



 විස්සයි විස්ස පිටියේ අලුත්ම කසකාරයා

ඩිල්ෂාන් මුණවීර



තව හරියටම දින නවයකින් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයෙන් ඇරැඹෙයි
පළමු වරට සත්කාරකත්වය දරමින් ශ්‍රී ලංකාව මෙවර විස්සයි 20 කිරුළ දිනාගන්නට ප්‍රබල සටනක් දෙන්නට සූදානමින් සිටියි.
ඉන්දියාවේ පවත්වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියෙන් එරට දක්ෂතා ඇති තරුණ නවකයින්ට ඉදිරියට එන්නට හොඳ අවස්ථාවක් ලැබෙන බව පැහැදිලි වීමත් සමඟ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ද එවැනි පි‍්‍රමියර් ලීග් තරගමාලා සංවිධානය කිරීමට උත්සුක විය.
ඒ අනුව ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් (SLPL) පළමු තරගාවලිය පසුගිය දා නිමාවට පත්විය. නරඹන්නන් සහභාගි නොවී, එතරම් උණුසුමකින් තොරව පැවැත්වුණු මෙහි ශූරතාව තිළිණ කණ්ඩම්බි නායකත්වය දුන් ඌව නෙක්ස්ට් පිල දිනාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩයමේ උපනායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දුන් නැගෙනහිර නාගාස් කණ්ඩායම අනුශූරයෝ වූහ.
අවසන් තරගයේ වීරයා වෙමින් ඌව කණ්ඩායම ජය මාවතට ගෙනා ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අතර තරගාවලිය පුරාම දැක්වූ දක්ෂතා හේතුවෙන් මේ වන විට ඔහු එළඹෙන ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් කර ඇත.
ලොව මෙතෙක් බිහිවූ ආරම්භක පිතිකරුවන් අතර අපේ සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට හිමි වන්නේ ප්‍රබල, ප්‍රමුඛ තැනක්. ඉතා දැඩිව එහෙත් විශ්වාසවන්ත ලෙස පන්දුවට පහර දෙමින් වේගවත්ව ලකුණු රැස් කිරීමට සමත් වූ ඔහු එක්දින, ටෙස්ට් පමණක් නොව විස්සයි 20 තරගවලදී ද අමතක නොවන ඉනිම් ක්‍රීඩාකොට තිබේ.
විස්සයි 20 තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ගණනක වාර්තාව මෙන්ම වැඩිම ලකුණු ගණනකින් ජය ගත් කණ්ඩායමේ වාර්තාව තවමත් තිබෙන්නේ ශ්‍රී ලංකා නාමය ඉදිරියෙනි.
2007 සැප්තැම්බර් 14 වැනිදා කෙන්යාවට එරෙහිව කඩුලු 6 කට ලබාගත් ලකුණු 260 යි. එම තරගයේ දී ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 172 ක වාර්තාගත ප්‍රමාණයකිනි. මෙම වාර්තාගත ජයග්‍රහණයේ නියමුවා වූයේ සනත් ජයසූරියයි. ඔහු හතරේ පහර 11 ක්, හයේ පහර 4 ක් සමඟ පන්දු 44 කදී ලකුණු 88 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජයසූරියගෙන් පසු ප්‍රවේගකාරී ස්ථාවර ආරම්භක පිතිකරුවකුගේ අඩුව දැනි තිබුණි.
ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් කුසලාන තරගමාලාව හරහා සොයා ගත් ඩිල්ෂාන් මුණවීර මේ සඳහා හොඳ ආදේශයක් වනු ඇති බව බොහෝ දෙනකුගේ බලාපොරොත්තුවයි.
1989 අප්‍රෙල් 24 වැනිදා කොළඹ දී උපත ලබා ඇති මුණවීරට මේ වන විට වයස අවුරුදු 23 කි. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් බිහිවූ ක්‍රිකට් තරුවක් ලෙසින් බ්ලූම්ෆීල්ඩ් සහ සෙබස්තිනයිට් ක්‍රීඩා සමාජයන්ට ක්‍රීඩා කරමින් දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගත් ඔහු ශ්‍රී ලංකා 19 න් පහළ ජාතික කණ්ඩායම, 21 න් පහළ කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන පිල, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඇතුළත්ව සිටියේය.
සරසන්ස් සහ සෙබස්තිනයිට් ක්‍රීඩා තරග අතර 2008 නොවැම්බර් 21 සිට 23 දක්වා පැවැති තරගයට ආරම්භක පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසින් ක්‍රීඩා කරමින් පළමු පෙළ වරම් ලබාගත් මුණවීර දකුණත් පිතිකරුවකු වන අතර දකුණතින් පිට දඟ පන්දු යවයි.
මේ දක්වා පළමු පෙළ තරග 36 ක් ක්‍රීඩා කරමින් ලකුණු 1964 ක් රැස්කරගෙන ඇති ඩිල්ෂාන් ශතක තුනක් සමඟ අර්ධ ශතක 15 කට හිමිකම් කියයි. වැඩිම ලකුණු ලබාගත් ඉනිම ලකුණු 153 ක් වන අතර ලකුණු ලබා ගැනීමේ වේගය 90.67 ක් තරම් ඉහළ අගයකි.
කණ්ඩායමේ තරග 30 කට සහභාගි වී ශතකයක් සහ අර්ධ ශතක 4 ක් සමඟ ලකුණු 703 ක් රැස්කරගෙන තිබේ.
දේශීය විස්සයි 20 තරග 18 කට ක්‍රීඩා කර නොදැවීම් 3 ක් සමඟ ලකුණු 461 ක් රැස්කරගෙන ඇති ඔහු අර්ධ ශතක 2 ක් ලබා තිබේ. හොඳම ඉනිම වන්නේ නොදැවී ලබාගත් ලකුණු 77 යි. 30.73 ක සාමාන්‍යයක් සහ 128.41 ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගනිමින් ආරම්භක පිතිකරුවකු ලෙස දස්කම් පෙන්වූ ඔහු පසුගියදා නිමාවුණු ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ආරම්භක පිතිකරුවකු ලෙස සුවිශේෂී දස්කම් දැක්වීය.
එම තරගාවලියේ තරග 7 කට සහභාගි වූ ඔහු සෑම තරගයකදීම ඉතා ඉහළ ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගැනීමට සමත් විය.
අගෝස්තු 08 වැනිදා බස්නාහිර සමඟ පැවැති තරගයේ පන්දු 14 කදී ලකුණු 21 (4x2, 6x1) ලබාගත් අතර ප්‍රහාරාත්මක වේගය 150.00 කි. අගෝ. 17 වැනිදා වයඹ කණ්ඩායම සමඟ තරගයේ දී පන්දු 19 කදී ලකුණු 26 ක් (4x3, 6x1 ප්‍රහාරාත්මක වේගය 136.84), අගෝ. 19 වැනිදා උතුර සමඟ තරගයේ දී පන්දු 25 කදී ලකුණු 36 ක් (4x6, 6x1 ප්‍ර. වේ. 144.00), අගෝ. 21 වැනිදා රුහුණු කණ්ඩායම සමඟ තරගයේ දී පන්දු 14 කදී ලකුණු 17 ක් (4x2, 6x1 ප්‍ර. වේගය 121.42), අගෝ. 27 නැගෙනහිර කණ්ඩායම සමඟ තරගයේ දී පන්දු 35 කදී ලකුණු 45 ක් (4x2, 6x3 ප්‍ර. වේගය 128.57), අගෝ. 28 වැනිදා වයඹ කණ්ඩායම සමඟ තරගයේ දී පන්දු 17 කදී ලකුණු 23 ක්(4x5 ප්‍ර. වේගය 135.29) සහ අවසන් මහා තරගයේ දී නැගෙනහිර නාගාස් කණ්ඩායමට එරෙහිව පන්දු 23 කදී නොදැවී ලකුණු 44 ක් (4x2, 6x5, ප්‍ර. වේගය 191.30) ලබා ගත්තේය.
ඔහුගේ මෙම ඉනිම ඌව නෙක්ස්ට් පිලට මංගල SLPL කිරුළ හිමිකර දීමට ඉවහල් වූ අතර තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිකර දීමට සමත් විය.
කෙසේ වෙතත් විස්සයි 20 තරග රටාවේ පෙරළිකාර පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සමඟ එළඹෙන ලෝක කුසලාන තරගමාලාවේ දී ඩිල්ෂාන් මුණවීර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන එන තෙක් ක්‍රීඩා ලෝලීහු බලාපොරොත්තු දල්වාගෙන සිටිති.

About the Author

Posted by gossip lanka live on 4:11 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:11 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Dilshan munaweera"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.