Published On:
Posted by gossip lanka live

pidurangala Srilanka

නිල්වන් වනපෙතක් දෙස බලද්දී, කොන්ක්‍රීට් වන පෙතක් දෙස බලනවාට වඩා ඔබේ දෑස සිසිලසින් සැනසෙනවාට කිසිදු සැකයක් නැත. කොන්ක්‍රීට් වනාන්තරයක් දෙස බලද්දී ඔබේ දෑස දැඩි පීඩාවට පත්වෙනවා නොඅනුමානය. එබැවින් ඔබේ දෙනෙත නිතර ඉල්ලන්නේ නිල්වන් වනපෙත්, හරිත වර්ණ සොබා සොඳුරු ස්ථාන බවට කිසිදු සැකයක් නැත.
අවාසනාවට මෙන් මෙවන් නිල්වන් වනපෙත් රක්ෂිත භූමි භාග ආදිය අද ඉතිරිව පවතින්නේ ස්වල්පයක් පමණි. ඒවා අතරින් ද පෞරාණික වෙහෙර විහාර ආශ්‍රිතව පිහිටා ඇති වනපෙත් පිළිබඳ විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. ඒවායේ වාසය කරන ස්වාමීන් වහන්සේලා නිසා අවට රක්ෂිත වනය මැනවින් ආරක්ෂිතව පවතී. එසේ නොවන්නට ඒවා ද කැලෑ පාලුවන්ගේ පොරෝ පහර වැදී විනාශ මුඛයට පත්වෙනවාට කිසිදු සැකයක් නැත.
ශාන්ත, සුන්දර තුරු වදුළු අතර භාවනානුයෝගීව වාසය කරන ස්වාමීන් වහන්සේලාට බවුන් වැඩීමට එම වනපෙත් කොතෙක් දුරට රුකුලක් වන්නට ඇද්ද? වනයේ සරන පක්ෂීන්ගෙන් මෙන්ම සතා-සීපාවන්ගෙන් ද ස්වාමීන් වහන්සේලාට අවහිරයක් කරදරයක් නොවන්නට ඇත්තේ ස්වාමීන් වහන්සේලාගෙන් ද වනසතුන්ට හිංසාවක්, පීඩාවක් සිදු නොවූ නිසාම වන්නට ඇත.
ඔබගේ ජීවිත කාලයේදී ඔබ සීගිරිය නැරැඹීමට කී වතාවක් නම් යන්නට ඇද්ද? කී වතාවක් ඔබ සීගිරි පව්ව තරණය කරන්නට ඇද්ද? යන යන හැමවරම ඔබට යන්නට සිදුවූයේ එකම මඟකය. එබැවින් ඔබ සීගිරි පර්වතය දුටුවේ එකම දෘෂ්ටිකෝණයකින් පමණි. එසේ වුවද එම දර්ශනයේ එපාවීමක් නම් ඇත්තේම නැත.

පුරාණයේ දී එනම් සීගිරි කාශ්‍යප රජතුමා සීගිරියට එන්නට කලින් සීගිරි ගල හා ඒ ආසන්න භූමිභාගය කෙසේ පවතින්නට ඇතැයි ඔබට සිතා ගත හැකිද? සීගිරිය රාජධානී නගරයක් බවට පත්වූයේ කාශ්‍යප රජතුමා එහි පැමිණීමෙන් පසුය. ඊට පෙර එහි ගොඩනැඟිලි කිසිවක් නොවීය.
කාශ්‍යප රජතුමා සීගිරි රාජධානිය පිහිටුවා ගැනීමත් සමඟම එහි රජ මැදුරු, වෙනත් ගොඩනැඟිලි, පවුරු, දිය අගල් ආදී රාජධානියකට අවශ්‍ය සියලු ආකාරයේ ගොඩනැඟිලිවලින් එය පිරෙන්නට ඇත.
එහෙත් ඊට පෙර? ඊට පෙර සීගිරිය භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළ තපෝ වනයකි. සීගිරි ගල මුදුනට නැඟි විට පෙනෙන ආකාරයේ නිල්වන් වනපෙතින් පර්වතය වටා සියලු භූමි භාගයක්ම වැසී තිබූ බව කියනු ලැබේ.
සීගිරි ගල අද්දර තැනින් තැන තැනුණු කුඩා කුටිය. වනපියසේ නිහඬ බව, සිසිලස, කුරුලු කූජනය ආදී සැමෙකක්ම එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලාට භාවනාව කරගෙන යාමට දිරියක්ම වූවා නිසැකය.
කාශ්‍යප රජතුමා සීගිරියට පැමිණීමත් එහි රාජධානියක් ඉදිකිරීමට වීමත් සමඟම එය කර්මාන්ත පුරයක් බවට පත්වූවා නිසැකය. ගල්කඩන, ගස් කපන, පොළව බිඳින ආදී විවිධාකාර සද්ද-බද්ද අස්සේ භාවනානුයෝගීව විසීමට නොහැකි බැවින් එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා ඉන් ඉවත්ව නිස්කලංක පරිසරයක් සොයාගෙන ගියා හෝ එවන් පරිසරයක් ස්වාමීන් වහන්සේලාට කාශ්‍යප රජතුමාම සොයා දුන්නා හෝ විය හැකිය.
සීගිරියට ඇතුළුවන දොරටුවේ දකුණු පසින් පිදුරංගල විහාරයට මාර්ගය පෙන්වන නාම පුවරුව දුටුවත් ඔබ ඒ කෙරෙහි එතරම් තැකීමක් කළේ නැහැ නේද? සීගිරි පව්ව වටා පිහිටි දිය අගල දිගේ කිලෝ මීටර් දෙකක් දුර උතුරු දෙසට යාමේදී ඔබට පිදුරංගල වන රක්ෂිතයේ පිහිටි පිදුරංගල රජමහා විහාරය හමුවෙයි.

කාශ්‍යප රජතුමා සීගිරියට පැමිණීමත් සමඟම එහි විසූ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා සීගිරියෙන් ඉවත්ව වාසය සඳහා වැඩම කළේ ඓතිහාසික නටබුන් පිහිටි පිදුරංගල වන පියසටය.
පිදුරංගල සීගිරි රජමහා විහාරය වෙත ඕනෑම ප්‍රමාණයේ සහ ඕනෑම තරාතිරමක වාහනයකින් පැමිණිය හැකිය.
එදා ස්වාමීන් වහන්සේලාට වැඩවාසය කිරීමට තරම් පිදුරංගල මොනතරම් ගන වනාන්තරයක් වූවා විය හැකිද? පිදුරංගල තැනිබිමේ සිට කඳු මුදුනට නඟිත්ම හමුවන්නේ සුවිශාල ගල් පර්වතයකි.
ගල් පර්වතයේ උස මුහුදු මට්ටමේ සිට අඩි 400ක් පමණ වෙතැයි කියනු ලැබේ. අති දුෂ්කර ගමනකින් පසු පිදුරංගල මුදුනට නැඟී අතේ දුරින් පිහිටි සීගිරි පව්ව දෙස බලන්න. අමුතු කෝණයකින් දිස්වන සීගිරි පව්වේ අති චමත්කාරජනක දර්ශනයෙන් ඔබ මුසපත් වනු නිසැකය.
එකල විසූ රජතුමා සහ බැතිමතුන් විහාරස්ථානයේ අභිවෘද්ධිය පතා පරිත්‍යාග කළ රන්, රිදී, මුතු, මැණික් ආදී වස්තුව මෙම ගල් පව්ව මුදුනේ වූ චෛත්‍ය දෙකක් තුළ තැන්පත් කරන්නට යෙදුණ අතර එසේ විහාරස්ථානයේ අභිවෘද්ධිය පතා පිදූ රන් තැන්පත් ගල පිදුරංගල නම් වූවා නිසැකය.
කන්ද පාමුල සිට පර්වත මුදුන දක්වාම විහිදී ඇත්තේ ඒකාකාරී එකම වනාන්තරයකි. හරිත වර්ණයෙන් බබළන වන තුරු මුදුන් දැඩි හිරු කිරණ වළකා පලසක් වෙමින් වන්නාතරයේ සෞම්‍ය සිසිලස රැකගැනීමට ඇප-කැප වී සිටී.

දණහිස් දෙක රිදවමින් එක පිම්මේ කඳු මුදුනට නඟින්නට උත්සාහ නොකොට විවේකීව දසතටම ඇස යොමු කරමින්, පරිසර අසිරිය විඳිමින් හිමින් සීරුවේ කන්ද තරණය කරන්න. එවිට ඔබට ගල් අල්ලා ඉදිකළ පැරැණි පඩිපෙළ, ගලින් ගල නැඟී යන අයුරු තැනූ අඩි පාර මෙන්ම තැනින් තැන ඉදිකර ඇති කුඩා කුටි ද දැකගත හැකි වනු ඇත.
පිදුරංගල වන පියස පුරා ඇති කුටි ගණන විස්සකට අධික වෙතැයි කියනු ලැබේ. විමසිල්ලෙන් බැලුවොත් එම ලෙන් සමහරක සෙල් ලිපි ද තිබෙනු දැකගත හැකිය. ලෙන සෑදූ පුද්ගලයාගේ නමත් ලෙන පිදුම් ලද භික්ෂූන් වහන්සේගේ නමත් හැර එම සෙල් ලිපිවල වැඩි විස්තරයක් නොමති බව කියනු ලැබේ.
ඔසොවන පියවරක් පාසා ආරණ්‍ය සේනාසනයකට මෙම භූමිය කොතරම් යෝග්‍යදැයි සිතා බලන්න. කන්ද පාමුල ඇති ආවාස ගෙයි වසන ස්වාමීන් වහන්සේලා කිහිප දෙනා හැරෙන්නට වන පියසේ පිහිටි කුටිවල එක භික්ෂූන් වහන්සේ නමක්වත් වාසය නොකරන නිසාම ඒවා හද්දා පාළුවට ඇරී විනාශ මුඛයට විවෘතව පවතී.
භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලාට භාවනා වැඩීමට උචිත නිහඬ බවින් පිරුණ වනාන්තරයේ පිහිටි කුටි කීපය පිළිසකර කර වාසයට යොදා ගතහොත් මේ බුද්ධෝත්පාද කාලයේදීම මාර්ගඵල ලාභී භික්ෂූන් වහන්සේලා කිහිප නමක්වත් පහළ වෙතැයි නොඅනුමානවම කිව හැකිය. වන අරණයේ සක්මන් මළු සඳහා උචිත බිම් අනන්තය.
පිදුරංගල වන අරණේ විහාරස්ථාන දෙකක් පවත්නා අතර දැනට ප්‍රකෘතිමත්ව පවතින්නේ කන්ද පාමුල පිහිටි මෑතකදී ඉදි කළ විහාරය පමණි.

කන්ද නැඟ යන විට හමුවන සුවිශාල ගල් පියස්සක ඉදිකළ විහාරය දර්ශනීයත්වයෙන් අගතැන්පත්ය. එහි පුරාණයේ ඉදිකළ දහඅට රියන් පමණ වූ සැතපෙන බුදු පිළිමය විනාශ වී ගොස්ය. ඒ දෙපසින් යෝගාවචර භික්ෂූන් සඳහා ඉදි කළ ගල්ලෙන් කීපයක් පවත්නා අතර ඒවා ද ජරාවාස වී ගොස්ය.
පැරැණි මෙන්ම නූතනයේ ඉදි වූ චෛත්‍ය, පෞරාණික බෝධීන් මෙන්ම සැතපෙන බුදුපිළිමය සහිත විහාරය ආදී වටිනා විහාරාංගයන්ගෙන් සමන්විත ආවාස ගේ සහිත කඳු පාමුල පෞරාණික නටබුන්වලින් ද අඩුවක් නැත.
දුරාතීතයේ පිදුරංගල නිස්කලංක වන පියසේ භාවනානුයෝගීව විසූ භික්ෂූන් වහන්සේලා කොතෙක් නම් මාර්ගඵල ලාභී වී සසර කෙටිකර ගන්නට ඇද්ද? ඒ සඳහා උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය උපකාරී වූවා නිසැකය.
ඒ හැරෙන්නට වනාන්තරය තුළ වූ ළදරු තුරු-ලතා තරුණ ගස්, මලින්- පලින් බර වූ රුක් ගොමු, මෝරා වැඩුණු ගස්, වැඩීම නැවතී ඇති තුරුලතා මැරුණු ගස්, පොළව මත පතිතව දිරාපත් වූ තුරුලතා පමණක් නොව ළා දල්ලේ පටන් වේළුණ කොළය දක්වා සිදු වූ පරිවර්තනයෙන් පසු පොළවට පතිතව දිරාපත්වන කොළ, මල්, ඵල ආදිය පෙන්වා දෙන්නේ ලොව පවතින සියලු දේ අනිත්‍ය බවයි.
ජීවිතයත් එබඳුම නොවේද? මේ සත්‍යය අවබෝධ කරගෙන අනන්ත සසර ගමන කෙටිකර ගන්නට මෙහි එකල වැඩ විසූ භික්ෂූන් වහන්සේලා සමත් වන්නට ඇත.
සටහන හා ඡායාරූප
සිරිසේන දේවප්‍රිය

පිදුරංගලට පෙනෙන සීගිරිය
ලෙන් විහාරයේ සැතපෙන බුදු පිළිමය
පිදුරංගල පර්වතය
පිදුරංගල වනපියස
පෞරාණික චෛත්‍යයක්


About the Author

Posted by gossip lanka live on 4:16 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:16 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "pidurangala Srilanka"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.